Instagram
English
A A A A A
වීරාවලිය 3:1-31
1. කානාන්හි ඇති වූ සියලු යුද්ධ සම්බන්ධයෙන් අත්දැකීමක් නොලැබූ සකල ඉශ්රායෙල්වරු සෝදිසි කරන පිණිස සමිඳාණන් වහන්සේ ඉතිරි කළ ජාතීහු මොවුහු ය.
2. උන් වහන්සේ එසේ කෙළේ, ඉශ්රායෙල් ජනයාගේ පරම්පරාවලින් මීට පෙර යුද්ධ කරන්නට දැනගෙන නොසිටිය අයට එය ඉගැන්වීමට ය.
3. ඒ ජාතීහු නම්, පිලිස්තිවරුන්ගේ අධිපතිවරු පස්දෙනාත්, කානානිවරු සියලුදෙනාත්, සීදොන්වරුත්, බාල්-හෙර්මොන් කන්දේ පටන් හමාත්ට ඇතුළු වන තැන දක්වා ලෙබනොන් කඳුකරයේ වාසය කළ හිවීවරුත් වෙති.
4. ඔවුන් ඉතිරි කෙළේ, සමිඳාණන් වහන්සේ මෝසෙස් ලවා ඉශ්රායෙල්වරුන්ගේ පියවරුන්ට අණ කර වදාළ උන් වහන්සේගේ ආඥාවලට ඔව්හු කීකරු වෙත් දැ යි ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල්වරුන් සෝදිසි කරන පිණිස ය.
5. ඉශ්රායෙල් සෙනඟ කානානිවරුන් ද හිත්තීවරුන් ද අමෝරිවරුන් ද පෙරිස්සිවරුන් ද හිවීවරුන් ද ජෙබුසිවරුන් ද අතරෙහි වාසය කළහ.
6. ඔව්හු ඔවුන්ගේ දූවරුන් සරණ පාවාගෙන, තමන්ගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දී ඔවුන්ගේ දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය.
7. ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අමතක කොට බාල් දේවතාවුන්ටත්, අෂෙර් දේවතාවියටත් වැඳුම්පිදුම් කළහ.
8. එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළ, මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් අතට උන් වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල් සෙනඟ කුෂාන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙවර කළහ.
9. ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ගැළවුම්කාරයෙකු එවා වදාළ සේක. ඔහු වූ කලී කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් ය.
10. සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු කෙරෙහි පැමිණියෙන්, ඔහු ඉශ්රායෙල්වරුන්ගේ වීර පුරුෂයා වී යුද්ධයට පිටත් ව ගියේ ය. සමිඳාණන් වහන්සේ මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් ඔහු අතට පාවා දුන් සේක. ඔහු කුෂාන්-රිෂාතයිම් පරදවා ජය ගත්තේ ය.
11. එවිට හතළිස් අවුරුද්දක් දේශයේ සාමය පැවතුණේ ය. ඉන්පසු කෙනස්ගේ පුත් ඔත්නියෙල් මැරුණේ ය.
12. ඉශ්රායෙල් සෙනඟ යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. ඔවුන් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළ නිසා උන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව මෝවබ්හි රජ වූ එග්ලොන් බලවත් කළ සේක.
13. ඔහු අම්මොන් සහ අමලෙක් සෙනඟ රැස් කරවාගෙන ගොස් ඉශ්රායෙල්වරුන්ට පහර දී, ඉඳි ගස් නුවර ද හිමි කරගත්තේ ය.
14. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට දසඅට අවුරුද්දක් මෙහෙවර කළෝ ය.
15. එහෙත්, ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසූ කල සමිඳාණන් වහන්සේ ගැළවුම්කාරයෙකු ඔවුන්ට එවා වදාළ සේක. ඔහු වූ කලී බෙන්ජමින්ගේ ගෝත්‍රයට අයිති ගේරාගේ පුත් ඒහුද් ය. ඔහු වමත හුරු මිනිසෙක් විය. ඉශ්රායෙල් සෙනඟ මෝවබ්හි රජ වූ එග්ලොන්ට ඒහුද් අත කප්පම් යැවූ හ.
16. ඔහු රියනක් දිග දෙමුවහත් කඩුවක් සාදාගෙන එය තමාගේ දකුණු කලවයෙහි ඇඳුම් යට බැඳගෙන ගොස්
17. මෝවබ්ගේ රජ වූ එග්ලොන්ට ඒ කප්පම පිරිනැමී ය. එග්ලොන් වනාහි ඉතා තර මිනිසෙකි.
18. ඒහුද් කප්පම පිරිනමා නිම වූ කල කප්පම ගෙන ගිය මිනිසුන් පිටත් කර හැරියේ ය.
19. එහෙත්, ඔහු ගිල්ගාල් ළඟ කැපූ ගල් තිබෙන තැන සිට හැරී ගොස්, “රජතුමනි, ඔබට කියන්න රහස් පණිවුඩයක් මට ඇතැ”යි කීවේ ය. රජ තෙමේ, “නිශ්ශබ්දවන්න” කියා, ඔහු වෙත සිටි සේවකයන් ඔහු කෙරෙන් පිටතට ඇරියේ ය.
20. ඒහුද් රජතුමා වෙත පැමිණියේ ය. ඔහු තමාගේ උඩුමහල් තලෙහි තනියම ඉඳගෙන සිටියේ ය. ඒහුද් ඔහු අමතා, “ඔබට දෙවියන් වහන්සේගේ පණිවුඩයක් දන්වන්න මට ඇතැ”යි කී ය. ඔහු හුනස්නෙන් නැඟිට්ටේ ය.
21. ඒහුද් තමාගේ වමත දිගු කොට දකුණු කලවයෙන් කඩුව ඇදගෙන රජුගේ බඩට ඇන්නේ ය.
22. තලය සමඟ මිටත් බඩ ඇතුළට ගියේ ය. රජුගේ බඩෙන් ඒහුද් කඩුව ඇද නොගත් නිසා, තලය මාංසයෙන් වැසී ගොස් පිටුපසින් එළියට නෙරා ආයේ ය.
23. ඒහුද් පිටත ශාලාවට ගොස්, උඩුමහලේ දොරවල් වසා තබා, අගුලු දමා ගියේ ය.
24. ඔහු පිටත් ව ගිය කල රජුගේ මෙහෙකරුවෝ අවුත් බැලූ හ. ඔව්හු උඩුමහලේ දොරවල් අගුලු දමා තිබෙනවා දැක, රජ තෙම, ‘උඩුමහල් තලයේ රහස් කාමරයේ ශරීරකෘත්‍යය කරනු ඇතැ’යි සිතූ හ.
25. ඔව්හු තුෂ්ණිම්භූත ව බලා සිටියෝ ය. ඔහු උඩුමහලෙහි දොරවල් නොහැරිය බැවින්, ඔව්හු යතුර ගෙන ඒවා ඇරිය කල, ඔවුන්ගේ ස්වාමියා බිම වැටී, මැරී සිටිනු දුටුවෝ ය.
26. ඔවුන් ප්‍රමාදවෙමින් සිටිය දී, ඒහුද් කැපූ ගල් ඇති ස්ථානය පසු කර සෙයිරාට ගැළවී ගියේ ය.
27. ඔහු අවුත් එප්‍රායිම් කඳු රටේ දී හොරණෑවක් පිම්බේ ය. එවිට ඉශ්රායෙල් ජනයා ඔහු සමඟ කඳු රටෙන් බැස ගියෝ ය. ඔහු ඔවුන්ට පෙරටුවෙන් ගොස්,
28. ඔවුන්ට කතා කොට, “මා පස්සේ එන්න; මන්ද, සමිඳාණන් වහන්සේ ඔබේ සතුරන් වන මෝවබ්වරුන් ඔබේ අතට පාවා දී ඇතැ”යි කීවේ ය. ඔව්හු ඔහු පස්සේ ගොස්, මෝවබ් ළඟ තිබෙන ජොර්දාන්හි තොටුපොළවල් අල්ලාගෙන කිසිවෙකුට එයින් එගොඩ වන්නට ඉඩ නොදුන්නෝ ය.
29. ඔව්හු ඒ අවස්ථාවේ දී මෝවබ්වරුන් දසදහසක් පමණ මැරුවෝ ය. ඒ මෝවබ්වරු සියලු දෙන ශක්තිසම්පන්න බලවන්ත අය වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ගැළවුණේ නැත.
30. ඒ දවසේ දී මෝවබ්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. ඉන්පසු අසූ අවුරුද්දක් තුළ දේශයේ සාමය පැවැතුණේ ය.
31. ඒහුද්ට පසුව පැමිණියේ අනාත්ගේ පුත් ෂම්ගර් ය. ඔහු පිලිස්තිවරුන්ගෙන් මිනිසුන් හයසියයක් හරක් අංකුසයකින් මැරී ය. ඔහු ද ඉශ්රායෙල් ගැළෙවුවේ ය.

වීරාවලිය 4:1-24
1. ඒහුද්ගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා යළිත් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය.
2. සමිඳාණන් වහන්සේ ද හාශොර්හි රජකම් කළ කානාන්හි රජ වූ ජාබින් අතට ඔවුන් පාවා දුන් සේක. ඔහුගේ සේනාවේ අධිපතියාගේ නම සිසෙරා ය. ඔහු හරොෂෙත්-ගොයිම් වැසියෙකි.
3. ඔහුට යකඩ රථ නවසියයක් තිබිණි. ඔහු ඉශ්රායෙල් සෙනඟට විසි අවුරුද්දක් තුළ බලවත් ලෙස පීඩා කෙළේ ය. එබැවින් ඉශ්රායෙල් සෙනඟ සමිඳාණන් වහන්සේට මොරගැසුවෝ ය.
4. ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය.
5. එප්‍රායිම් කඳු රටේ රාමාටත්, බෙතෙල්ටත් අතර තිබෙන දෙබොරාගේ ඉඳි ගස යට අසුන් ගැනීම ඇගේ සිරිත විය. ඉශ්රායෙල් සෙනඟ විනිශ්චය ලබන පිණිස ඈ වෙත පැමිණියෝ ය.
6. ඈ කෙදෙෂ්-නප්තලීයෙන් අබිනොවම්ගේ පුත් බාරාක් කැඳවා ඔහු අමතා, “ඉශ්රායෙල් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට මෙසේ අණ කර ඇත: ‘නුඹ ගොස් නප්තලීගේ ගෝත්‍රයෙන් ද සාබුලොන්ගේ ගෝත්‍රයෙන් ද මිනිසුන් දසදහසක් රැස්කරගෙන තාබෝර් කන්දට යන්න;
7. මම ජාබින්ගේ සේනාවේ අධිපති සිසෙරා ද ඔහුගේ රථ ද ඔහුගේ හමුදාව ද කීෂොන් ඔය ළඟ නුඹ වෙත රැස් කර ඔහු නුඹේ අතට පාවා දෙන්නෙමි’ “යි කීවා ය.
8. බාරාක් ඈට පිළිතුරු දෙමින්, “ඔබ මා සමඟ යන්නෙහි නම් මමත් යන්නෙමි; ඔබ මා සමඟ නොයන්නෙහි නම් මමත් නොයන්නෙමි”යි කී ය.
9. ඈ පිළිතුරු දෙමින්, “සැබැවින් මම ඔබ සමඟ යන්නෙමි. එසේ වී නමුත්, ඔබ යන ගමන ඔබේ ගෞරවය පිණිස නොවන්නේ ය. මන්ද, සමිඳාණන් වහන්සේ ස්ත්‍රියකගේ අතට සිසෙරා පාවා දෙනු ඇතැ”යි කීවා ය. එවිට දෙබොරා තොමෝ බාරාක් සමඟ කෙදෙෂ්ට ගියා ය.
10. බාරාක් සාබුලොන්වරුන් ද නප්තලීවරුන් ද කෙදෙෂ්ට කැඳවා ගත්තේ ය; මිනිස්සු දසදහසක් ඔහු කැටුව ගියෝ ය. දෙබොරාත් ඔහු සමඟ ගියා ය.
11. එකල කේනීය ජාතික හෙබෙර්, මෝසෙස්ගේ මාමණ්ඩි වන හොබාබ්ගේ පුත්‍රයන් වූ කේනිවරුන්ගෙන් වෙන් වී කෙදෙෂ් ළඟ තිබෙන ශයනන්නීම්හි ආලෝන වෘක්ෂය ළඟ තමාගේ කූඩාරම පිහිටුවාගෙන සිටියේ ය.
12. එවිට, අබිනොවම්ගේ පුත් බාරාක් තාබෝර් කන්දට ගිය බව සිසෙරාට දන්වන ලද්දේ ය.
13. සිසෙරා තමාගේ සියලු රථ එනම්, යකඩ රථ නවසියයක් ද තමා සමඟ සිටි මුළු සෙනඟ ද හරොෂෙත්-ගොයිම් සිට කීෂොන් ඔය ළඟට කැඳවාගත්තේ ය.
14. එවිට දෙබොරා බාරාක් අමතා, “නැඟිටින්න, මන්ද, සමිඳාණන් වහන්සේ සිසෙරා ඔබ අතට පාවා දෙන දවස මේ ය: සමිඳාණන් වහන්සේ ඔබට පෙරටුව යන සේකැ”යි කීවා ය. එහෙයින්, බාරාක් ද ඔහු අනුව මිනිස්සු දසදහසක් ද තාබෝර් කන්දෙන් බැස ගියෝ ය.
15. එවිට සමිඳාණන් වහන්සේ සිසෙරා හා ඔහුගේ සියලු රථ ද ඔහුගේ මුළු සේනාව ද බාරාක් ඉදිරියෙහි කඩුව ලෙලවා, ඔවුන් කලඹා විසුරුවාදැමූ සේක. සිසෙරා තමන්ගේ රථයෙන් බැස පයින් පලා ගියේ ය.
16. එහෙත්, බාරාක් රථ හා සේනාව පසුපස හරොෂෙත්-ගොයිම් දක්වා ලුහුබැඳ ගියේ ය. සිසෙරාගේ මුළු සේනාව කඩුවෙන් මරනු ලැබූ හ. එක් කෙනෙක් වත් ඉතුරු නො වී ය.
17. එහෙත්, හාශොර්හි රජ වූ ජාබින් හා කේනීය ජාතික හෙබෙර්ගේ වංශය අතරේ සාමය තිබුණු බැවින්, සිසෙරා කේනීය ජාතික හෙබෙර්ගේ භාර්යාව වූ ජායෙල්ගේ කූඩාරමට පයින් පලා ගියේ ය.
18. ජායෙල්, සිසෙරාගේ පෙරමඟට ගොස්, “මාගේ ස්වාමීනි, ඇතුළට අව මැනව; බිය නොවී මා ළඟට ඇතුළට අව මැනවැ”යි කීවා ය. ඔහු ඈ සමඟ කූඩාරමට ගියේ ය, ඈ පලස් රෙද්දකින් ඔහු වැසුවා ය.
19. ඔහු ද, “කරුණාකර වතුර ටිකක් බොන්නට දෙන්න, මට පිපාසා යැ”යි කීවේ ය. ඈ කිරි භාජනයක් ඇර ඔහුට බොන්නට දී ඔහු යළිත් වසා තැබුවා ය.
20. ඔහු ඈට කතා කොට, “ඔබ කූඩාරමේ දොරකඩ ළඟ සිට, යම් කෙනෙකු අවුත්, ‘මෙහි කවුරු වත් සිටින්නේ දැ’යි ඇසුවොත්, ‘නැතැ’යි කියන්නැ”යි ඈට කීවේ ය.
21. සිසෙරා බොහෝ තෙහෙට්ටු වී සිටි බැවින් තද නින්දට වැටී සිටියේ ය. එවිට හෙබෙර්ගේ බිරිඳ වූ ජායෙල් කූඩාරමේ ඇණය හා අතකොලුවක් රැගෙන නිශ්ශබ්ද ව ඔහු ළඟට ගොස් ඔහුගේ නළල් කෙළවරට ඒ ඇණය පොළොවට යන තෙක් ගසා හිස පසාරු කළා ය. මෙසේ ඔහු මළේ ය.
22. බාරාක් සිසෙරා ලුහුබැඳ ආ කල, ජායෙල් ඔහුගේ පෙරමඟට ගොස්, “එන්න, ඔබ සොයන මිනිසා පෙන්වමි”යි ඔහුට කීවා ය. ඔහු ඈ සමඟ ඇතුළට ගිය කල, සිසෙරා වැටී මැරී සිටිනවාත්, ඇණය ඔහුගේ නළල පසාරු කර ඇති බවත් දුටුවේ ය.
23. මෙසේ දෙවියන් වහන්සේ ඒ දවසේ දී කානානිය රජ වූ ජාබින් ඉශ්රායෙල් සෙනඟ ඉදිරියෙහි යටත් කළ සේක.
24. කානාන්හි රජ වූ ජාබින් සහමුලින් ම විනාශ කර දමන තුරු ඉශ්රායෙල් සෙනඟ ඔහුට විරුද්ධ ව වඩ වඩා බලවත් ලෙස පහර දුන්නෝ ය.

ගීතාවලිය 48:9-14
9. දෙවිඳුනි, ඔබ මැදුරෙහි ඔබේ තිර පෙම්කඳ අපි සිහි කෙළෙමු.
10. දෙවිඳුනි, ඔබට හිමි ගරු පැසසුම් දස දෙසින් ඔබ වෙත නැඟී එයි. ඔබේ කිතු ගොස පොළොව පුරා පැතිර ඇත. ඔබ සාධාරණ ලෙස රජ කරන සේක.
11. ඔබේ සාධාරණ විනිසයන් නිසා සියොන් කන්දේ වැසියෝ සතුටින් පිනා යත් වා! ජුදාහි නුවරවල ප්‍රීති ගීත ඇසේ වා!
12. මතු පරම්පරාවලට කරුණු කියන පිණිස සියොන් පව්ව වටේ ඇවිද බලන්න;
13. එහි කොටු පවුරු හොඳින් බලා ගණන් කරන්න; මාලිගා සෝදිසි කරන්න.
14. මේ දෙවිඳාණෝ සදහට ම අපේ දෙවිඳාණෝ ය; “ඉර හඳ පවතින තුරු එතුමාණෝ අපට මඟපෙන්වන සේකැ”යි කියන්න.

හිතෝපදේශ 14:18-19
18. අනුවණයන්ට මෝඩකමේ පල විපාක උරුම වෙයි; එහෙත් නුවණැත්තෝ දැනුම නමැති කිරුළ පැළඳගනිති.
19. නපුරෝ යහපතුන් අබිමුව වැඳ වැටෙති; දුදනෝ දැහැමියන්ගේ දොරටු ළඟ වැඳ වැටෙති.

ශුද්ධවර ලූක් 14:25-35
25. තවද මහා ජනකායක් ජේසුස් වහන්සේ සමඟ ගමන් ගත්හ. උන් වහන්සේ හැරී ඔවුන්ට මෙ‍සේ වදාළ සේක:
26. “මා වෙත එන තැනැත්තේ මට වඩා තම පියාට ද මවට ද භාර්යාවට ද දරුවන්ට ද සහෝදරයන්ට ද සහෝදරියන්ට ද තමාගේ ම ජීවිතයට වුව ද ප්‍රේම කරන්නේ නම්, ඔහුට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.
27. කුරුසිය දරා ගෙන, මා අනුව නොඑන තැනැත්තාට මාගේ ශ්‍රාවකයෙකු විය නොහැකි ය.
28. ඔබ අතුරෙන් යමෙක් මුර අටල්ලක් ගොඩනැඟීමට අදහස් කරයි නම්, එය නිම කරලීමට කොතරම් වියහියදම් ඇද්දැ යි පළමුකොට හිඳ ගණන් නො බලන්නේ ද?
29. එසේ නොකළොත්, අත්තිවාරම දමා ඒ අටල්ල නිමකරන්නට නොහැකි වූ විට, එය දකින සියල්ලන්,
30. ‘මේ මිනිසා ගොඩනඟන්නට පටන්ගත් නමුත් නිම කරන්නට ඔහුට බැරි වී යයි කියා සරදම් කරනු ඇත.
31. තවද, තමන්ට විරුද්ධ ව විසි දහසක් රැගෙන යුද පිණිස එන රජෙකුට මුහුණ පෑමට දස දහසක් රැගෙන යා හැකි දැ යි පළමුකොට හිඳ නොවිමසන කිසි යම් රජෙක් ඇද් ද?
32. එසේ කළ නොහැකි නම්, ඔහු ඒ රජ දුර සිටිය දී ම, රාජ දූතයන් යවා, සාම ගිවිසුමක් ඉල්ලා සිටිනු ඇත.
33. එමෙ‍න් ම ඔබ අතුරෙන් තමන් සතු සියල්ල අත් නොහරින කිසිවෙකුට මාගේ ශ්‍රාවකයෙකු වන්නට බැරි ය.”
34. “ලුණු හොඳ දෙයකි; එහෙත් ලුණෙහි වුව ද, ලුණු ගතිය නැති වුවහොත්, එයට ලුණු රස කවන්නේ කුමකින් ද?
35. පසට වත්, කසළ ගොඩට වත් එයින් වැඩක් නැත; මිනිස්සු ඒවා ඉවත දමති. සවන් ඇත්තෝ සවන් දෙත්වා!”