A A A A A
අවුරුද්දකින් බයිබලය
අප්රේල් 18

වීරාවලිය 1:1-36
1. ජෝෂුවාගේ මරණයෙන් පසු ඉශ්රායෙල් ජනයා, “කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස පළමු කොට අප අතරෙන් යා යුතු ගෝත්‍රය කුමක් දැ”යි සමිඳාණන් වහන්සේගෙන් ඇසූ හ.
2. සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “ජුදාගේ ගෝත්‍රය පළමු කොට යා යුතු ය; මම ඔවුන්ගේ අතට දේශය දිනිමි”යි වදාළ සේක.
3. ජුදාගේ ගෝත්‍රය සිමියො‍න් නම් තම සහෝදර ගෝත්‍රයට කතා කොට, “අප කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස අපට හිමි උරුම කොටසට ඔබත් අප සමඟ එන්න; අපිත් ඔබේ උරුම කොටසට ඔබ සමඟ එන්නෙමු”යි කී හ. මෙසේ සිමියො‍න්ගේ ගෝත්‍රය ජුදාගේ ගෝත්‍රය සමඟ ගියහ.
4. ජුදා ගෝත්‍රය එසේ නැඟී ගිය කල, සමිඳාණන් වහන්සේ කානානිවරුන් ද පෙරිස්සිවරුන් ද ඔවුන්ගේ අතට පාවා දුන් සේක. ඔව්හු බෙශෙක්හි දී මිනිසුන් දසදහසකට පහර දුන්නෝ ය.
5. බෙශෙක්හි දී අදොනි-බෙශෙක් ඔවුන්ට හමු විය. ඔව්හු ඔහුට විරුද්ධ ව යුද්ධ කොට කානානිවරුන්ටත්, පෙරිස්සිවරුන්ටත් පහර දුන්නෝ ය.
6. එහෙත්, අදොනි-බෙශෙක් පලා ගියේ ය. ඔව්හු ඔහු ලුහුබැඳ ගොස්, ඔහු අල්ලාගෙන ඔහුගේ අත්පාවල මාපටැඟිලි කපාදැමූ හ.
7. අදොනි-බෙශෙක් කතා කොට, “අත්පාවල මාපටැඟිලි කපාදමන ලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසයෙන් වැටෙන කෑම ඇහිඳ ගත්තෝ ය; මා ඔවුන්ට කළ ලෙස දෙවියන් වහන්සේ මට ප්‍රතිවිපාක දුන් සේකැ”යි කීවේ ය. ඔව්හු ඔහු ජෙරුසලමට ගෙන ගියො‍‍් ය. ඔහු එහි දී මළේ ය.
8. ජුදා සෙනඟ ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කොට, එය අල්ලාගෙන, ඊට කඩුවෙන් පහර දී නුවර ගිනි ලෑවෝ ය.
9. ඉන්පසු ජුදා සෙනඟ කඳු රටේ ද දකුණු දිශාවේ ද පහත රටේ ද විසූ කානානිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට බැස ගියෝ ය.
10. එසේ ජුදා සෙනඟ කලින් කිරියත්-අර්බා යන නම තිබූ හෙබ්‍රොන්හි වාසය කළ කානානිවරුන්ට විරුද්ධ ව ගොස්, ෂේෂයිට ද අහීමාන්ට ද තල්මයිට ද පහර දුන්නෝ ය.
11. ඔව්හු එතැනින් දෙබීර් වැසියන්ට විරුද්ධ ව ගියෝ ය. කලින් දෙබීර්ට තිබුණු නම කිරියත්-සේපෙර් ය.
12. කාලෙබ් කතා කොට, “කිරියත්-සේපෙර්ට පහර දී එය අල්ලාගන්න තැනැත්තාට මාගේ දුව වන අක්සා බිරිඳ කොට පාවා දෙන්නෙමි”යි කීවේ ය.
13. කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත් ඔත්නියෙල් එය අල්ලාගත්තේ ය. කාලෙබ් තමාගේ දුව වන අක්සා ඔහුට බිරිඳ කොට විවාහ කර දුන්නේ ය.
14. ඈ ඔහු වෙත පැමිණි කල ඇගේ පියාගෙන් කෙතක් ඉල්ලන්නට ඔහු ඈට පෙරැත්ත කෙළේ ය. ඈ කොටළුවා පිටින් බැස්සා ය. එවිට කාලෙබ් ඈට කතා කොට, “ඔබට ඕනෑ කුමක් දැ”යි ඇගෙන් ඇසී ය.
15. ඈ ද, “මට වරයක් දුන මැනවි. ඔබ වියළි පෙදෙසක් වන දකුණු දිශාව මට දී තිබෙන බැවින් දිය උල්පත් ද මට දුන මැනවැ”යි කීවා ය. එවිට කාලෙබ් ඉහළ උල්පත් ද පහළ උල්පත් ද ඈට දුන්නේ ය.
16. කේනීය ජාතිකයෙකු වූ මෝසෙස්ගේ මාමණ්ඩියගේ පරම්පරාව ජුදා සෙනඟ සමඟ ඉඳි ගස් නම් නුවර සිට අවුත්, අරාද්ට දකුණෙන් තිබෙන ජුදා පාළුකරයට ගොස් අමලෙක්වරුන් සමඟ වාසය කළෝ ය.
17. ජුදා සෙනඟ තමන් සහෝදර සිමියො‍න් සෙනඟ සමඟ ගොස්, ශෙපත්හි විසූ කානානිවරුන්ට පහර දී ඒ නගරය සහමුලින් ම විනාශ කර දැමුවෝ ය. එබැවින් ඒ නගරයට හොර්මා යන නම තබන ලදී.
18. ජුදා සෙනඟ ගාසා, අෂ්කෙලොන් සහ එක්‍රොන් යන නගර ද ඒවාට අයත් පළාත් ද අල්ලාගත්හ.
19. සමිඳාණන් වහන්සේ ජුදා සෙනඟ සමඟ සිටි සේක; ඔව්හු ද කඳු රටේ වැසියන් පන්නා දැමූ හ. එහෙත්, මිටියාවතේ වැසියන්ට යකඩ රථ තිබුණ බැවින් ඔවුන් පන්නා දමන්නට ඔවුන්ට නොහැකි විය.
20. මෝසෙස් කී ලෙස ඔව්හු කාලෙබ්ට හෙබ්‍රොන් නගරය දුන්නෝ ය. ඔහු එතැනින් අනාක්ගේ පුත්‍රයන් තිදෙනා පන්නා දැමී ය.
21. බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
22. ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල්ට විරුද්ධ ව ගියෝ ය. සමිඳාණන් වහන්සේ ඔවුන් සමඟ සිටි සේක.
23. ජෝසෙප්ගේ ගෝත්‍ර බෙතෙල් ගැන ඔත්තු සොයන පිණිස චර පුරුෂයන් යැව්වෝ ය. කලින් ඒ නගරයේ නම ලූස් ය.
24. ඒ චර පුරුෂයෝ මිනිසෙකු නගරයෙන් එනු දැක, “නගරයට ඇතුළු වන මාර්ගය අපට පෙන්වන්න, එවිට අපි ඔබට කරුණාව දක්වන්නෙමු”යි කීවෝ ය.
25. නගරයට ඇතුළු වන මාර්ගය ඔහු ඔවුන්ට පෙන්නුවේ ය. ඔව්හු නගරයට කඩුවෙන් පහර දුන්නෝ ය. එහෙත්, ඔව්හු ඒ මිනිසාත්, ඔහුගේ මුළු පවුලත් බේරා හැරියෝ ය.
26. ඒ මිනිසා හිත්තීවරුන්ගේ දේශයට ගොස්, එහි නගරයක් ගොඩනඟා, ඊට ලූස් යන නාමය තැබුවේ ය. අද දවස දක්වා එහි නම එය ම ය.
27. මනස්සේගේ ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙයාන් හා ඊට අයිති නගරවල වැසියන් වත්, තයනාක් හා ඊට අයිති නගරවල වැසියන් වත්, දෝර් සහ ඊට අයිති නගරවල වැසියන් වත්, ඉබ්ලෙයාම් හා ඊට අයිති නගරවල වැසියන් වත්, මෙගිද්දෝ හා ඊට අයිති නගරවල වැසියන් වත් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඒ රටේ ම වාසය කළෝ ය.
28. ඉශ්රායෙල්වරුන් බලවත් වූ කල ඔව්හු කානානිවරුන් බර වැඩට යෙදෙව්වෝ ය. එහෙත් ඔවුන් සහමුලින් ම පන්නා නොදැමුවෝ ය.
29. එප්‍රායිම්ගේ ගෝත්‍රයේ සෙනඟ ගෙශෙර්හි විසූ කානානිවරුන් පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කළෝ ය.
30. සාබුලොන්ගේ ගෝත්‍රයේ සෙනඟ කිත්‍රොන් වැසියන් ද නහලොල් වැසියන් ද පන්නා නොදැමුවෝ ය. කානානිවරු ඔවුන් අතර වාසය කරමින් බර වැඩට යටත් වූ හ.
31. ආෂෙර් ගෝත්‍රයේ වැසියෝ අක්කෝහිත්, සීදොන්හිත්, අහ්ලාබ්හිත්, අක්ශිබ්හිත්, හෙල්බාහිත්, අපෙක්හිත්, රෙහොබ්හිත් වැසියන් පන්නා නොදැමුවෝ ය.
32. ආෂෙර්වරු ඒ දේශවාසි වූ කානානිවරුන් සමඟ වාසය කළෝ ය. ඔව්හු ඔවුන් පන්නා නොදැමුවෝ ය.
33. නප්තලී ගෝත්‍රයේ සෙනඟ බෙත්-ෂෙමෙෂ්හි වැසියන් වත්, බෙත්-අනාත්හි වැසියන් වත් පන්නා නොදමා, රටේ වැසියන් වූ කානානිවරුන් අතරේ වාසය කළෝ ය. එසේ වුවත්, බෙත්-ෂෙමෙෂ්හි ද බෙත්-අනාත්හි ද වැසියෝ බර වැඩ පිණිස ඔවුන්ට යටත් වුණෝ ය.
34. අමෝරිවරු දාන්ගේ ගෝත්‍රයේ සෙනඟට මිටියාවතට බසින්නට නොදී කඳු රටට ඔවුන් නෙරපා හැරියෝ ය.
35. අමෝරිවරු හෙරෙස් කන්දේ ද අයාලෝන්හි ද ෂාල්බිම්හි ද වාසය කළෝ ය. එසේ වුවත්, ජෝසෙප්ගේ ගෝත්‍ර බලවත් වූ පසු අමෝරිවරු බර වැඩට යටත් වුණෝ ය.
36. අමෝරිවරුන්ගේ දේශ සීමාව අක්‍රබ්බිම් නැඟුමේ පටන් පර්වතයේ ඉහළට පිහිටියේ ය.

වීරාවලිය 2:1-23
1. සමිඳාණන් වහන්සේගේ දූතයා ගිල්ගාල්හි සිට බෝකීම්ට අවුත් ඉශ්රායෙල්වරුන්ට මෙසේ කීවේ ය: “මම නුඹලා මිසරයෙන් පිටතට පමුණුවා, නුඹලාගේ පියවරුන්ට පොරොන්දු වූ දේශයට නුඹලා ගෙනාවෙමි. ‘නුඹලා සමඟ මාගේ ගිවිසුම කිසි කලක කඩ නොකරන්නෙමි’යි කීවෙමි.
2. ‘එසේ ම මේ දේශයේ වැසියන් සමඟ කිසි ගිවිසුමක් නොකොට, ඔවුන්ගේ පූජාසන කඩා දමන්නැ’යි ද කීවෙමි. එහෙත්, නුඹලා මාගේ හඬට සවන් නුදුන්නහු ය. නුඹලා මෙසේ කෙළේ මන් ද?
3. එබැවින් මම නුඹලා ඉදිරියෙන් ඔවුන් පන්නා නොදමන්නෙමි; ඔව්හු නුඹලාගේ සතුරෝ වන්නෝ ය; ඔවුන්ගේ දෙවි දේවතාවෝ නුඹලාට මලපතක් මෙන් වන්නෝ ය.”
4. සමිඳාණන් වහන්සේගේ දූතයා සකල ඉශ්රායෙල් ජනයාට මේ වචන කී විට ඔව්හු ශබ්ද නඟා හැඬුවෝ ය.
5. ඔව්හු ඒ ස්ථානයට බෝකීම් යැයි නම් තබා එහි දී සමිඳාණන් වහන්සේට පූජා ඔප්පු කළෝ ය.
6. ජෝෂුවා සෙනඟ පිටත් කර යැවූ කල, ඉශ්රායෙල් සෙනඟ දේශය හිමි කරගනු පිණිස තම තමන්ට නියම උරුම ප්‍රදේශවලට ගියෝ ය.
7. ඉශ්රායෙල් සෙනඟ ජෝෂුවා ජීවත් ව සිටි මුළු කාලය තුළ දී ද, ජෝෂුවාට පසුව ජීවත් ව සිටි, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් උදෙසා කළ, උන් වහන්සේගේ සකල බලවත් ක්‍රියා දුටු, ප්‍රජා මූලිකයන් ජීවත් ව සිටි කාලය තුළ දී ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කළෝ ය.
8. සමිඳාණන් වහන්සේගේ සේවක නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය.
9. ඔව්හු එප්‍රායිම් කඳු රටේ ගායෂ් කන්දට උතුරෙන් තිබෙන තිම්නාත්-හෙරෙස් නම් ඔහුගේ උරුම පළාතෙහි දී ඔහු තැන්පත් කළෝ ය.
10. ඒ මුළු පරම්පරාව ද මියගොස් ඔවුන්ගේ පියවරුන්ගේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබූ හ. ඔවුන්ට පසු නැඟී ආ පරම්පරාව සමිඳාණන් වහන්සේ වත්, ඉශ්රායෙල් උදෙසා උන් වහන්සේ කළ ක්‍රියා වත් නොදත්තෝ ය.
11. ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.
12. ඔව්හු තමන්ගේ පියවරුන් මිසර දේශයෙන් පිටතට ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අතහැර, අන් දෙවිවරුන් එනම්, තමන් අවට සිටි මනුෂ්‍ය ජාතීන්ගේ දෙවිවරුන් අනුව ගොස් ඔවුන්ට නමස්කාර කළෝ ය. එසේ කිරීමෙන් ඔව්හු සමිඳාණන් වහන්සේ කෝප කළෝ ය.
13. ඔව්හු සමිඳාණන් වහන්සේ අත්හැර බාල් දේවතාවාටත්, අෂ්ටාරොත් දේවතාවියටත් වැඳුම්පිදුම් කළෝ ය.
14. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.
15. සමිඳාණන් වහන්සේ කී ප්‍රකාරයටත්, ඔවුන්ට දිවුළ හැටියටත් ඔවුන් යුද්ධයට ගිය හැම අවස්ථාවක දී ම උන් වහන්සේගේ හස්තය ඔවුන්ට විරුද්ධ ව තිබුණේ ය. ඔව්හු ද තද අමාරුවට පත් වුණෝ ය.
16. එවිට ඉශ්රායෙල් සෙනඟ කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස සමිඳාණන් වහන්සේ වීර නායකයන් පත් කළ සේක.
17. එහෙත්, ඔව්හු ඒ වීර නායකයන්ට වත් සවන් නොදී උන් වහන්සේට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගෙන ඔවුන්ට නමස්කාර කළෝ ය. සමිඳාණන් වහන්සේගේ ආඥාවලට කීකරු ව සිටි ඔවුන්ගේ පියවරුන් මෙන් ඔව්හු ක්‍රියා නොකොට, ඔවුන් ගිය මාර්ගයෙන් වහා ම ඉවත් ව ගියෝ ය.
18. සමිඳාණන් වහන්සේ ඔවුන්ට වීර නායකයන් පත් කර දුන් විට උන් වහන්සේ වීර නායකයන් සමඟ සිට, ඔවුන්ගේ මුළු ජීවිත කාලය තුළ ඉශ්රායෙල්වරුන් සතුරන්ගේ අතින් ගැළෙවු සේක. ඔවුන්ට පීඩා කළාවූ ද ඔවුන් පොඩි කළාවූ ද අය කරණකොටගෙන හටගත් ඔවුන්ගේ කෙඳිරිගෑම නිසා සමිඳාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පා කළ සේක.
19. එහෙත්, වීර පුරුෂයෙකු මැරුණු කල, ඔව්හු හැරී අන් දෙවිවරුන් අනුව ගොස්, ඔවුන්ට වැඳුම්පිදුම් හා නමස්කාර කරමින්, තමන්ගේ පියවරුන්ටත් වඩා දූෂ්‍යකම් කළහ. ඔව්හු ඔවුන්ගේ ක්‍රියාවලින් වත්, මුරණ්ඩුකම්වලින් වත් කිසිවක් අත්නෑරියෝ ය.
20. සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළුණේ ය. එවිට උන් වහන්සේ මෙසේ වදාළ සේක: “මේ ජාතිය මාගේ හඬට සවන් නොදී, මා ඔවුන්ගේ පියවරුන්ට අණ කළ මාගේ ගිවිසුම කඩ කළ බැවින්,
21. මම ජෝෂුවා නසින විට ඉතිරි ව සිටි ජාතීන්ගෙන් එක් කෙනෙකු වත් ඉශ්රායෙල් ජනයා ඉදිරියෙන් මින්පසු පන්නා නොදමන්නෙමි.
22. මෙසේ කරන්නේ, ඔවුන්ගේ පියවරුන් මාගේ මාර්ගය රක්ෂා කළ පරිදි, ඔව්හු ද ඒ මාර්ගයේ හැසිරෙන ලෙස එය රක්ෂා කරත් ද නැද්ද යනු ඒ ජාතීන් කරණකොටගෙන ඉශ්රායෙල් ජනයා සෝදිසිකර බලන පිණිස ය.”
23. එබැවින් සමිඳාණන් වහන්සේ ඒ ජාතීන් ජෝෂුවා අතට පාවා නොදී, ඔවුන් ඉක්මනින් පන්නා නොදමා එහි විසීමට ඉඩ දුන් සේක.

ගීතාවලිය 48:1-8
1. ගීතයකි. කෝරාගේ පුත්‍රයන්ට ගීතයකි. අප දෙව් නුවර වන එතුමන්ගේ ශුද්ධ කන්දෙහි හිමි තුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
2. උතුරු දෙසින් වන, මහ රජුගේ නුවර වූ සියොන් කන්ද උස මහතින් මනරම් ය; මුළු පොළොවට පියකරු ය.
3. නුවර බලකොටු ඇතුළෙහි සුරැකි ව විසිය හැකි බව, දෙවි තුමන් පෙන්වා දී ඇත.
4. රජවරුන් රාශිභූත ව, නුවරට එරෙහි ව සටනට යන හැටි නරඹන්න;
5. ඔව්හු එනුවර නරඹා විස්මිත වූ හ; බියෙන් තැති ගෙන පලා ගියහ;
6. ඔව්හු බියෙන් හා සන්තාපයෙන් ඇලළී, ප්‍රසූතියට ළං වූ කතුන් මෙන් වූ හ;
7. තද කුණාටුවට අසු වී, සැලෙන, පෙරළෙන මහ නැව් මෙන් වූ හ.
8. අප පෙර කල ඇසූ විලස, සව් බලැති සමිඳාණන් සිය නුවරෙහි සිදු කළ දෙය අපේ ම දෙනෙතින් දුටිමු. එතුමාණෝ එනුවර සදහට ම රක්නා සේක.

හිතෝපදේශ 14:15-17
15. නූගතා තමාට ඇසෙන සැම දෙය ම විශ්වාස කරයි; උගතා තම පියවර හොඳින් විමසා බලයි.
16. ප්‍රඥාවන්තයා නපුරට බිය වී ඉන් ප්‍රවේසම් වෙයි; අඥානයා උඩඟු වී දුර දිග නොබලා, ක්‍රියා කරයි.
17. වහා කිපෙන්නා අනුවණ ලෙස ක්‍රියා කරයි. එහෙත් නුවණැතියා ශාන්ත ව සිටියි.

ශුද්ධවර ලූක් 14:1-24
1. සබත් දිනක උන් වහන්සේ නායක පරිසිවරයෙකුගේ ගෙදරට කෑම පිණිස වැඩිය සේක. හැම දෙන ම උන් වහන්සේ දෙස සෝදිසියෙන් බලා සිටියහ.
2. දිය උදර රෝගයෙන් පෙළෙන මිනිසෙක් උන් වහන්සේ ඉදිරියෙහි සිටියේ ය.
3. ජේසුස් වහන්සේ කතා කරමින්, “සබත් දිනයේ දී සුව කිරීම යුතු ද අයුතු දැ”යි විනයධරයන් හා පරිසිවරුන්ගෙන් ප්‍රශ්න කළ සේක.
4. ඔව්හු නිහඬ ව සිටියහ. උන් වහන්සේ රෝගියා අතින් ගෙන ඔහුට සුවය දී යන්නට හැරිය සේක.
5. පසුව උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, “යමෙකුට අයත් කොටළුවෙකු හෝ ගොනෙකු හෝ සබත් දවසේ දී ළිඳේ වැටුණොත් එවේලේ ම ඌ ගොඩට අදින්නේ නැද්දැ”යි ඇසූ සේක.
6. පිළිතුරක් දෙන්නට ඔව්හු අපොහොසත් වූ හ.
7. ආරාධනා ලත් අය ප්‍රධාන ආසන ලබාගන්නට සොයන බව දැක, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව කියමින්,
8. “යමෙකුගේ විවාහ මඟුලකට කැඳවීමක් ඔබට ලැබුණොත් ප්‍රධාන ආසනයේ හිඳ නොගන්න.
9. යම් හෙයකින් ඔබට වඩා උසස් කෙනෙකු ද කැඳවනු ලැබුවොත්, ඔබ දෙදෙනා ම කැඳවූ තැනැත්තා අවුත්, ‘ඔය ස්ථානය මොහුට දෙන්නැ’යි ඔබට කීවොත්, ලජ්ජාවෙන් යුක්ත ව පහත් ම ස්ථානයට යන්නට සිදු වේ.
10. එහෙත්, ඔබ කැඳවනු ලැබූ කල ගොස් පහත් ම ස්ථානයෙහි හිඳගන්න; එවිට ඔබ කැඳවූ තැනැත්තේ අවුත්, ‘මිත්‍රය, ඉහළ තැනකට එන්නැ’යි ඔබට කීවොත් ඔබ සමඟ කෑමට හිඳින සියල්ලන් ඉදිරියෙහි ඔබ ගෞරව ලබන්නෙහි ය.
11. තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.
12. උන් වහන්සේ තමන්ට ආරාධනා කළ තැනැත්තාට කතා කොට, “ඔබ රෑ කෑමක් හෝ දවල් කෑමක් හෝ පිළියෙළ කරන කල, ඔබේ මිතුරන්, සහෝදරයන්, නෑයන් හෝ පොහොසත් අසල්වාසීන් හෝ නොකැඳවන්න; එසේ කළොත් ඔවුන් ද එසේ ම ඔබත් කැඳවනු ඇත. එයින් ඔබට එහි විපාකය ලැබෙයි.
13. එහෙත් ඔබ භෝජන සංග්‍රහයක් පිළියෙළ කරන කල, දිළිඳුන් ද අබ්බගාතයන් ද කොරුන් ද අන්ධයන් ද කැඳවන්න.
14. ඔබට ප්‍රතිවිපාකයක් දෙන්නට ඔවුන්ට නොහැකි බැවින් ඔබ භාග්‍යවන්ත වන්නෙහි ය. ධර්මිෂ්ඨයන්ගේ පුනරුජ්ජීවනයේ දී ඔබට ප්‍රතිවිපාකයක් ලැබෙන්නේ ය”යි වදාළ සේක.
15. එහි සිටි අයගෙන් කෙනෙක් එවදන් අසා, “දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී ආහාර වළඳන තැනැත්තේ භාග්‍යවන්තයෙකැ”යි ජේසුස් වහන්සේට කී ය.
16. එහෙත් උන් වහන්සේ කතා කරමින් මෙ‍සේ වදාළ සේක: “එක් මිනිසෙක් මහා මංගල භෝජනයක් පිළියෙළ කොට බොහෝ දෙනෙකු කැඳැවී ය.
17. භෝජන වේලාව පැමිණෙත් ම, ‘එන්න, දැන් සියල්ල සූදානම් ව ඇතැ’යි කැඳවනු ලැබූවන්ට කියනු පිණිස ඔහු සිය දාසයා යැවී ය.
18. එහෙත්, ඔව්හු සියල්ලෝ ම නෑවිත් සිටීමට එකහෙළා කරුණු කියන්නට පටන් ගත්හ. පළමුවැන්නා, ‘මම කෙතක් මිළ දී ගතිමි, එය බලන්නට යාම අවශ්‍ය ම ය. මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.
19. තව කෙනෙක්, ‘මම ගොන් පස් බානක් මිළ දී ගතිමි; ඔවුන් වැඩට හොඳ ද කියා අත්හදා බලන්න යමි; මට කමා වන මෙ‍න් ඉල්ලමි’යි ඔහුට කී ය.
20. තවත් කෙනෙක්, ‘මම ස්ත්‍රියක විවාහ කර ගතිමි; එබැවින් එන්න නොහැකි ය’යි කී ය.
21. ඒ දාසයා පෙරළා පැමිණ සිය ස්වාමියාට එපවත් දැන්වී ය. එවිට ගෘහපතියා කෝප ව, ‘වහා ම නුවර වීදිවලට ද පටු මාවත්වලට ද යව, දිළිඳුන් ද අබ්බගාතයන් ද අන්ධයන් ද කොරුන් ද මෙ‍හි ගෙනෙව’යි සිය දාසයාට කී ය.
22. දාසයා ද, ‘ස්වාමීනි ඔබ අණ කළ ලෙස කෙළෙමි. එහෙත් තවත් ඉඩකඩ ඇතැ’යි කී ය.
23. එවිට ස්වාමියා දාසයාට කතා කොට, ‘මහ මාවත්වලට ද දෙවටවලට ද යව, මාගේ ගෙය පිරී යන තරම් සෙනඟට එන්නට බල කරව, ‘යි කී ය.
24. මම ඔබට කියමි, ආරාධිතයන් අතුරෙන් එකෙක් වත් මාගේ මංගල භෝජනයේ රස නොබලන්නේ ය.”