Instagram
English
A A A A A
ද්විතීය නීති සංග්‍රහය 25:1-19
1. “මිනිසුන් අතර ආරාවුලක් හටගෙන, උසාවියට ගිය විට, විනිශ්චයකරුවන් ආරාවුල් විසඳමින්, නිවැරදිකරු නිදොස් කොට, වරදකරුට දඬුවම් දිය යුතු ය.
2. වරදකරු පහර ලැබීමට සුදුසු නම්, විනිශ්චයකරු ඔහු බිම බාවා, වරදේ බරපතලකම හැටියට, තමා ඉදිරිපිට දී නියමිත පහර ගණන ඔහුට දෙන්නට සැලැස්විය යුතු ය.
3. ඔහුට කස පහර සතළිසක් දෙත හැක. ඊට වඩා නොදිය යුතු ය. ඊට වැඩි ගණනක් දුන්නොත්, ඔබ ඔබේ සහෝදරයාට ප්‍රසිද්ධියේ අවමානයක් කරන්නෙහි ය.
4. “ගොයම් පාගන ගවයාගේ කට නොබැඳිය යුතු ය.”
5. “එකට වාසය කරන සහෝදරයන් අතරෙන් එක් කෙනෙකු පුතෙකු නැතුව මළොත්, මියගිය තැනැත්තාගේ බිරිඳ, පිට පවුලක කෙනෙකු සමඟ විවාහ නොවිය යුතු ය. ඇගේ සැමියාගේ සහෝදරයා ඇය සරණ පාවාගෙන, ඇය වෙත පිවිස, සැමියාගේ සහෝදරයෙකු විසින් ඈ කෙරෙහි කළ යුතු යුතුකම ඔහු ඉටු කළ යුතු ය.
6. තවද, මියගිය සහෝදරයාගේ නම ඉශ්රායෙල් ජනයා අතර නොමැකී පවතින පිණිස ඈට උපදින කුලුඳුලා මියගිය සහෝදරයාගේ නම ගත යුතු ය.
7. එහෙත්, ඒ තැනැත්තා මියගිය තම සහෝදරයාගේ බිරිඳ පාවා ගන්නට අකමැති නම්, ඈ වාසල් දොරකඩ සිටින ප්‍රජා මූලිකයන් වෙත ගොස්, ‘මාගේ සැමියාගේ සහෝදරයා, ඔහුගේ මියගිය සහෝදරයාට ඉශ්රායෙල් ජනයා අතර නාමයක් රඳවාගැනීම ප්‍රතික්ෂේප කරයි. මාගේ සැමියාගේ සහෝදරයාට පැවරෙන යුතුකම් ඔහු ඉටු කරන්නේ නැතැ’යි කිව යුතු ය.
8. එවිට නුවර ප්‍රජා මූලිකයන් ඔහු කැඳවා, ඔහුට කතා කළ යුතු ය. ‘මම ඇය සරණ පාවාගන්නට අකමැත්තෙමි’යි ඔහු තදින් කියා සිටින්නේ නම්,
9. ඔහුගේ සහෝදරයාගේ බිරිඳ ප්‍රජා මූලිකයන් බලා සිටිය දී ම ඔහු වෙත පැමිණ ඔහුගේ පාදයෙන් සෙරෙප්පුවක් ගලවා, ඔහුගේ මුහුණට කෙළ ගසා, ‘තම සහෝදරයාට පෙළපතක් ඇති නොකරන මිනිසාට මෙසේ කළ යුතු ය’යි කිව යුතු ය.
10. ‘සෙරෙප්පුව ගලවන ලද තැනැත්තාගේ පවුල’ කියා ඉශ්රායෙල් ජනතාව අතර ඔහුගේ පවුල නම් කළ යුතු වේ.”
11. “මිනිසුන් දෙදෙනෙකු තමන් අතර දබර කරන කල එක් කෙනෙකුගේ බිරිඳ, තම සැමියාට පහර දෙන අනික් තැනැත්තාගෙන් ඔහු බේරාගැනීමට ළං වී අත දිගු කොට ඒ තැනැත්තාගේ රහසඟ ඇල්ලුවොත්,
12. ඇගේ අත කපාදැමිය යුතු ය. ඔබ ඇයට අනුකම්පා නොකළ යුතු ය.
13. “බර එකක් සහ සැහැල්ලු එකක් වශයෙන් විවිධ හොර කිරුම් පඩි ඔබේ මල්ලේ තබා නොගත යුතු ය.
14. ලොකු එකක් සහ කුඩා එකක් වශයෙන් විවිධ හොර මිමි ඔබේ ගෙදර තබා නොගත යුතු ය.
15. හරි කිරුම් පඩි ද හරි මනින මිමි ද ඔබ ළඟ තබාගත යුතු ය. මෙසේ කළහොත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන දේශයේ දී ඔබට දීර්ඝායුෂ ලැබෙන්නේ ය.
16. මෙවැනි වංචනික දේවල් සහ අසාධාරණ දේවල් කරන්නෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි.”
17. “මිසර දේශයෙන් ඔබ නික්ම එන විට මාර්ගයේ දී අමලෙක්වරුන් ඔබට කළ දේ සිහි කරන්න.
18. ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය නොපෙන්වූ බැවින්, මාර්ගයේ දී ඔවුන් ඔබට හමු වී, ඔබ ක්ලාන්ත ව වෙහෙස මහන්සි වී සිටිය දී, ඔබට පිටුපසින් පැමිණ දුබල අයට ඔවුන් පහර දුන් හැටි සිහි කරන්න.
19. එබැවින් දෙවි සමිඳාණන් වහන්සේ ඔබට උරුමයක් වශයෙන් අයිති කර දෙන්නට යන දේශයෙහි ඔබ අවටින් සිටින සියලු සතුරන්ගෙන් ඔබට විවේකය දුන් පසු අමලෙක්වරුන් සිහි කිරීම පවා මිහි පිටින් මකාදැමිය යුතු ය. මෙය අමතක නොකරන්න.”

ද්විතීය නීති සංග්‍රහය 26:1-19
1. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ උරුමයක් වශයෙන් ඔබට අයිති කර දෙන්නට යන දේශයට ඔබ පැමිණ, එහි පදිංචි වූ පසු,
2. උන් වහන්සේ දුන් දේශයෙහි පොළොවේ සෑම පලදාවකින් නාඹුල් පල ගෙන, ඒවා පැසක දමා උන් වහන්සේ සිය නාමය පිහිටුවීමට තෝරාගන්න ස්ථානයට යා යුතු ය.
3. ඔබ එකල සිටින පූජකවරයා වෙත ගොස් මෙසේ කිව යුතු ය: ‘අපට දෙනු සඳහා සමිඳාණන් වහන්සේ අපේ පියවරුන්ට පොරොන්දු වූ රටට මා පැමිණි බව මම අද දින දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රකාශ කරමි.’
4. පූජකවරයා ද පැස ඔබේ අතින් ගෙන දෙවි සමිඳාණන් වහන්සේගේ පූජාසනය ඉදිරිපිට එය තැබිය යුතු ය.
5. “ඉන්පසු ඔබ දෙවි සමිඳාණන් වහන්සේ ඉදිරිපිට මෙසේ කිව යුතු ය: ‘මාගේ ආදි පියා තැනින් තැන සංචාරය කළ අරමීය ජාතිකයෙකි. ඔහු කුඩා පිරිසක් කැටුව මිසරයට ගොස්, එහි කලකට පදිංචි වී මහත් බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් විය.
6. මිසරවාසීහු ද නපුරු ලෙස ක්‍රියා කරමින්, අපට හිංසා පීඩා කොට අප දැඩි වහල්කමට පත් කළහ.
7. අපේ ආදි පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට අප මොරගැසූ විට සමිඳාණන් වහන්සේ අපට සවන් දී අපේ දුක් කරදර ද හිංසා පීඩා ද වෙහෙස මහන්සි ද දෙස බැලූ සේක.
8. සමිඳාණන් වහන්සේ සිය හස්තය දිගු කොට, බාහු බලය පා, බියජනක අරුමපුදුම දේවලින් සහ හාස්කම්වලින් මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.
9. උන් වහන්සේ අප මෙහි ගෙනවුත්, කිරෙන් සහ මී පැණියෙන් ඉතිරෙන මේ දේශය අපට දුන් සේක.
10. සමිඳුනි, දැන් බලනු මැනව; ඔබ මට දුන් දේශයේ නාඹුල් පල මම ගෙනැවිත් සිටිමි.’ මෙසේ කියා දෙවි සමිඳාණන් ඉදිරියෙහි එය තබා උන් වහන්සේට නමස්කාර කළ යුතු ය.
11. දෙවි සමිඳාණන් වහන්සේ ඔබටත්, ඔබේ පවුලටත් දානය කළ සියලු යහපත් දේවල් ගැන ඔබත්, ලෙවීවරුත්, ඔබ සමඟ වසන විදේශිකයනුත් ප්‍රීති ප්‍රමෝද විය යුතු ය.
12. “දසයෙන් කොටස දෙන අවුරුද්ද වන තෙ වන අවුරුද්දේ දී, ඔබේ අස්වනු සියල්ලෙන් දසයෙන් කොටස වෙන් කොට, ලෙවීවරයා ද විදේශිකයා ද අනාථයා ද වැන්දඹුව ද ඔබේ නගරය තුළ එය අනුභව කොට තෘප්තිමත් වූ පසු
13. දෙවි සමිඳාණන් වහන්සේට මෙසේ කිව යුතු ය: ‘ඔබ මට දුන් සියලු ආඥා ප්‍රකාර, කැප කළ දේ සියල්ල මම ගෙදරින් ගෙනවුත්, ලෙවීවරයාට ද විදේශිකයාට ද අනාථයාට ද වැන්දඹුවට ද දුනිමි. ඔබේ ආඥා මම කඩ නොකෙළෙමි. ඒවා අමතක නොකෙළෙමි.
14. මා වැලපෙන සමයේ ද මම එයින් කිසිවක් නොකෑවෙමි. අපවිත්‍ර ව සිටි විට එයින් කිසිවක් ඉවත් නොකෙළෙමි. එයින් කිසිවක් මළවුන්ට ඔප්පු නොකෙළෙමි. මම මාගේ දෙවි සමිඳාණන් වහන්සේට කීකරු වී, ඔබ වහන්සේ මට අණ කළ සියල්ල ප්‍රකාර කෙළෙමි.
15. ඔබේ ශුද්ධස්ථානය වන ස්වර්ගයේ සිට බලා, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාවට ද ඔබ අපේ පියවරුන්ට දිවුළ ප්‍රකාර, අපට දුන්, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන මේ දේශයට ද ආශීර්වාද කරනු මැනව.’ “
16. “මෙදින දෙවි සමිඳාණන් වහන්සේ මේ නීති හා නියෝග පිළිපැදීමට ඔබට අණ කරන සේක. එබැවින් ඔබ, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද ඒවාට අවනත වී පිළිපැදිය යුතු ය.
17. ඔබ, සමිඳාණන් වහන්සේ ඔබේ දෙවියන් වහන්සේ බව අද පිළිගෙන, දෙවි මඟ යාමටත්, උන් වහන්සේගේ නීති, නියෝග සහ අණපණත් පිළිපැදීමටත්, උන් වහන්සේට කීකරුවීමටත් පොරොන්දු විය යුතු ය.
18. ඔබ උන් වහන්සේගේ අණපණත් සියල්ල පිළිපදින්නහු නම්, උන් වහන්සේ පොරොන්දු වූ ප්‍රකාර, ඔබ තමන් වහන්සේගේ විශේෂ සෙනඟක් මෙන් අද දින පිළිගන්න බව ප්‍රකාශ කරන සේක.
19. තවද, දෙවි සමිඳාණන් වහන්සේ වදාළ ප්‍රකාර, ඔබ උන් වහන්සේට කැප වූ ජනතාවක් වන පිණිස, තමන් මැවූ අන් සියලු ජාතීන්ට වඩා කීර්තියෙන් ද මහිමයෙන් ද ගෞරවයෙන් ද ඔබ උසස් කරන සේක.”

ගීතාවලිය 39:7-11
7. සමිඳුනි, මට කවර බලාපොරොත්තුවක් ඇද් ද? මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි ය.
8. මාගේ සියලු පවින් මා මිදුව මැනව. අනුවණයෝ මට සමච්චල් නොකරත් වා.
9. ඔබ මට මෙසේ දුක් දුන් නිසා මම නිහඬ වීමි; කට පියාගෙන සිටියෙමි.
10. ඔබ මට තවත් දඬුවම් නොකළ මැනව. ඔබ දුන් පහරවලින් මා මැරෙන්න ආසන්න ය.
11. ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය.

හිතෝපදේශ 13:4-6
4. අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.
5. දැහැමියා මුසාවාද පිළිකුල් කරයි; දුදන බස තුච්ඡ ය, වංචනික ය.
6. දමිටුකම සුදනන්ට ආරක්ෂාව දෙයි; අදමිටුකම දුදනන් ප්‍රපාතයට හෙළයි.

ශුද්ධවර ලූක් 6:1-26
1. එක් සබත් දිනක ජේසුස් වහන්සේ කෙත් යායක් මැදින් ගමන් කරන විට උන් වහන්සේගේ ශ්‍රාවකයෝ කරල් කඩා අතින් පොඩි කර කෑ හ.
2. එවිට පරිසිවරුන්ගෙන් සමහරෙක්, “සබත් දිනයේ දී නොකටයුත්තක් ඔබ කරන්නේ මන්දැ”යි ඇසූ හ.
3. ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “දාවිත් රජු තමන්ට ද සිය පිරිවරට ද බඩගිනි වූ විට කළ දේ,
4. එනම්, දෙවියන් වහන්සේගේ ගෘහයට ඇතුළු ව, පූජකයන් මිස අන් කෙනෙකුන් අනුභව නොකළ යුතු, පිදූ රොටි කා, සිය පිරිවරටත් දුන් පුවත ඔබ කියවා නැද්දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක.
5. උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ සබත් දිනට පවා අධිපතියාණෝ ය”යි ඔවුන්ට වදාළ සේක.
6. තවත් සබත් දිනෙක උන් වහන්සේ ධර්මශාලාවට ඇතුළු ව ඉගැන්වූ සේක. දකුණු අත පණ නැති මිනිසෙක් එහි විය.
7. එවිට විනයධරයෝ ද පරිසිවරු ද උන් වහන්සේට විරුද්ධ ව චෝදනාවක් එල්ල කරන අටියෙන් උන් වහන්සේ සබත් දිනයේ දී සුව කරනු ඇද්දැ යි බලමින් සිටියහ.
8. එහෙත්, උන් වහන්සේ ඔවුන්ගේ සිතිවිලි දැන, “නැඟිට මෙ‍හි මැද සිටින්නැ”යි අත පණ නැති මිනිසාට වදාළ සේක. ඔහු එහි නැඟිට සිටියේ ය.
9. එකල ජේසුස් වහන්සේ, “සබත් දිනයේ දී අප කළ යුත්තේ යහපත ද නොහොත් අයහපත ද, ප්‍රාණයක් ගැළවීම ද නොහොත් නැසීම ද යන ප්‍රශ්නය මම ඔබෙන් අසමි”යි වදාළ සේක.
10. උන් වහන්සේ ඔවුන් සියල්ලන් දෙස වටේට බලා, “ඔබේ අත දිගහරින්නැ”යි ඔහුට වදාළ සේක. ඔහු එසේ කෙළේ ය; අත සුව විය.
11. එවිට ඔව්හු කෝපයෙන් උමතු වී, “ජේසුස් වහන්සේට කුමක් කරමු දැ”යි තම තමන් අතර කතා කරගන්නට වූ හ.
12. තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක.
13. පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක.
14. ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද
15. මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද
16. ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව දෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය.
17. උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ.
18. අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ.
19. උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ.
20. එකල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් දෙස බලා මෙ‍සේ වදාළ සේක: “දිළිඳු වූ ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ඔබගේ ය.
21. දැන් සාගිනි ඇති ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ තෘප්තිමත් වනු ඇත. දැන් කඳුළු හෙළන ඔබ භාග්‍යවන්තයෝ ය; මන්ද, ඔබ සිනාසෙනු ඇත.
22. මනුෂ්‍ය-පුත්‍රයාණන් නිසා මිනිසුන් ඔබට වෛර බැඳ, ඔබ ප්‍රතික්ෂේප කොට, ඔබට නින්දා කොට, ඔබේ නාමය හෙළා දකින කල ඔබ භාග්‍යවන්තයෝ ය.
23. ඒ දවස්වල දී ප්‍රමෝද වන්න, ප්‍රීතියෙන් නටන්න; මක්නිසා ද යත්, ස්වර්ගයෙහි ඔබගේ පල විපාක ඉමහත් වනු ඇත; ඔවුන්ගේ පියවරු දිවැසිවරයන්ට ද එසේ ම කළහ.
24. අහෝ, ධනවත් ඔබට වන විපතක මහත! ඔබේ සැපවත් ජීවිතය ඔබ විඳ හමාර ය.
25. අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත.
26. අහෝ, මිනිසුන් ඔබ පසසන විට ඔබට වන විපතක මහත! ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරයන්ටත් කෙළේ එය ම ය.”