A A A A A
අවුරුද්දකින් බයිබලය
මාර්තු 24

ද්විතීය නීති සංග්‍රහය 9:1-29
1. “ඉශ්රායෙල්වරුනි, සවන් දෙන්න. ඔබ අද දින ජොර්දාන් ගඟින් එතෙර වී යා යුතු ය. ඔබ යා යුත්තේ, ගණනින් ඔබට වඩා විශාල වූ ද බලසම්පන්න වූ ද ජාතීන්ගේ රටවල් හා අහස් කුස දක්වා නඟින පවුරුවලින් වට වූ විශාල නගර ආක්‍රමණය කරනු පිණිස ය.
2. ඒවායේ ඇත්තේ, අනාක්වරුන්ගේ පෙළපතට අයිති ගණනින් විශාල සෙනඟකි. ඔව්හු ඉතා උස මහත මිනිස්සු ය. ඔවුන් ගැන ඔබ දන්නහු ය. ‘අනාක්ගේ සෙනඟට විරුද්ධ ව නැඟිට සිටින්නට හැක්කේ කාට දැ’යි යන කීම ද ඔබ අසා ඇත.
3. එබැවින් අද දින ඔබ මෙය වටහාගත යුතු ය. ඔබට පෙරටුවෙන් වඩින තැනැන් වහන්සේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ය. බුර බුරා නඟින ගින්නකින් මෙන් උන් වහන්සේ ඔවුන් වනසාලනු ඇත. ඔබ බලා සිටිය දී ම උන් වහන්සේ ඔවුන්ගේ බලය බිඳිනු ඇත. එවිට උන් වහන්සේ වදාළ පරිදි ඔබ ඔවුන් පන්නාදමා, විගස වනසාදමනු ඇත.
4. “ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් නෙරපා දැමූ පසු, ‘සමිඳාණන් වහන්සේ මේ රට මට අයිති කර දීමට මා ගෙනාවේ මාගේ දැහැමිකම නිසා ය’යි නොසිතන්න. එසේ නොව ඔබ ඉදිරියට යන විට උන් වහන්සේ ඔවුන් පන්නා දැමුවේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය.
5. ඔවුන්ගේ රට ඔබ අයිති කරගන්නට යනුයේ ඔබේ දැහැමිකම නිසා වත්, ඔබේ සිත්හි අවංකකම නිසා වත්, නො වේ. එසේ නොව, ඔබ යන විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔවුන් පන්නා දමනුයේ මේ ජාතීන්ගේ දුෂ්ටකම නිසා ය. මෙසේ කිරීමෙන් ඔබේ පියවරුන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට සමිඳාණන් වහන්සේ දිවුළ වචනය ඉටු කරන සේක.
6. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ මේ සාර භූමිය ඔබට අයිති කර දෙනුයේ ඔබේ දැහැමිකම නිසා නොවන බව තේරුම්ගන්න. මන්ද, ඔබ වනාහි මුරණ්ඩු සෙනඟකි.”
7. “පාළුකරයේ දී ඔබ දෙවි සමිඳාණන් වහන්සේ කුපිත කළ අන්දම අමතක නොකොට සිතේ තබාගන්න. මිසර දේශයෙන් පිටත් වූ දා සිට මෙතැනට එන තෙක් ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.
8. හොරෙබ් කන්දේ දී පවා ඔබ උන් වහන්සේ කුපිත කළහු ය. එවිට ඔබ වනසාලන තරමට පවා උන් වහන්සේ ඔබ සමඟ කිපුණ සේක.
9. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ පිහිටෙවූ ගිවිසුම සටහන් කළ ගල් පුවරු ලබාගැනීම සඳහා මම කන්දට නැඟ එහි දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් නැවතී සිටියෙමි. එකල මම කිසිත් නොකා නොබී සිටියෙමි.
10. එවිට දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් පුවරු දෙක සමිඳාණන් වහන්සේ මට භාර දුන් සේක. ජනතාව රැස් කළ දිනයෙහි ගින්න මැද සිට සමිඳාණන් වහන්සේ කන්දේ දී ඔබ සමඟ කතා කළ සියල්ල ම එහි සටහන් කර තිබිණි.
11. තවද, දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් ගෙවී ගිය පසු සමිඳාණන් වහන්සේ ගිවිසුම ලියා තිබූ ගල් පුවරු දෙක මට දුන් සේක.
12. “එවිට සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘නැඟිට, ඉක්මනට කන්දෙන් බැස යන්න. නුඹ මිසර දේශයෙන් පිටතට ගෙනා නුඹේ සෙනඟ තමන් ම දූෂ්‍ය කරගෙන ඇත. මා ඔවුන්ට අණ කළ මාර්ගයෙන් ඔවුන් විගස අන් අතකට හැරී ගොස්, තමන්ට ම වාත්තු කළ පිළිමයක් සාදාගෙන ඇතැ’යි වදාළ සේක.
13. “උන් වහන්සේ තවදුරටත් මට කතා කොට, ‘මම මේ සෙනඟ දැන අඳුනමි. ඔවුන් මුරණ්ඩු සෙනඟක් බව මට පෙනේ.
14. මිහි පිටින් ඔවුන්ගේ නම මකා දමා, ඔවුන් වනසාලනු පිණිස මට ඉඩ හරින්න. එහෙත්, මම නුඹගෙන්, ඔවුන්ට වඩා බලසම්පන්න, ගණනින් විශාල ජාතියක් පිහිටුවමි’යි වදාළ සේක.
15. “මම ද ආපසු හැරී කන්දෙන් බැස ආවෙමි. කන්ද ගින්නෙන් දැවි දැවී තිබිණි. ගිවිසුමේ ගල් පුවරු දෙක ද මා දෑතෙහි විය.
16. මම ද බලන විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ පව් කර තිබෙන බවත්, ඔබට ම වාත්තු කළ පිළිමයක් තනාගෙන තිබෙන බවත් දිටිමි. සමිඳාණන් වහන්සේ ඔබට අණ කළ මාර්ගයෙන් ඔබ විගස අන් අතකට හැරී තිබිණි.
17. ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි.
18. එවිට මම කලින් කළාක් මෙන්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තළා වැඳ වැටී කිසිත් නොකා නොබී සිටියෙමි. මා එසේ කෙළේ ඔබ බොහෝ සේ පව් කොට, උන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ට ලෙස හැසිරෙමින්, උන් වහන්සේ කුපිත කළ බැවිනි.
19. ඔබ වනසාලනු පිණිස උන් වහන්සේ උදහස් වීම ගැනත්, ඔබ කෙරෙහි වූ තද අප්‍රසන්න ගතිය සහ කෝප වීම ගැනත් මම බිය වුණෙමි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඒ අවස්ථාවේ දී පවා මට සවන්දුන් සේක.
20. සමිඳාණන් වහන්සේ ආරොන් ද විනාශ කරන පිණිස ඔහුට විරුද්ධ ව ඉතා උදහස් ව සිටි සේක. මම ඒ අවස්ථාවේ දී ඔහු උදෙසාත් යාච්ඤා කෙළෙමි.
21. මම ද ඔබේ පාපිෂ්ට දේ වන ඔබ සැදූ වස්සා ගෙන, ගින්නෙන් දවා පුළුස්සා, කොටා, දූවිලි හා සමාන කුඩක් වන තෙක් ඌ හොඳට අඹරා, ඒ දූවිලි කන්දෙන් ගලා ගිය දිය පාරට දැමීමි.
22. “තවද, ඔබ තාබෙරා, මස්සා සහ කිබ්‍රොත්-හත්තාවා යන ස්ථානවල දී සමිඳාණන් වහන්සේ කුපිත කළහු ය.
23. සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.
24. මා ඔබ දැනගත් දා සිට ම ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසුවහු ය.
25. “ ‘සමිඳාණන් වහන්සේ වන මම ඔබ වනසමි’යි වදාළ බැවින් මම උන් වහන්සේ ඉදිරියෙහි දාවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් මුණින්තලා වැටී සිටියෙමි.
26. මම ද සමිඳාණන් වහන්සේට යාච්ඤා කරමින්, ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්ස, ඔබ බාහු බලය පාමින් මිසරයෙන් පිටතට ගෙනා, ඔබේ බලසම්පන්න භාවය පෙන්වා ඔබ මුදාගත්, ඔබේ උරුමයත්, සෙනඟත් විනාශ නොකළ මැනව.
27. ඔබේ දාසයන් වන ආබ්‍රහම් ද ඊසාක් ද ජාකොබ් ද සිහි කළ මැනව. මේ සෙනඟගේ මුරණ්ඩුකම හෝ ඔවුන්ගේ දුෂ්ටකම හෝ පාප හෝ ඔබ නොසැලකුව මැනව.
28. එසේ නැත්නම්, සමිඳාණන් වහන්සේ වන ඔබ ඔවුන්ට පොරොන්දු වූ දේශයට ඔවුන් ගෙන ඊමට ඔබට නොහැකි වූ නිසාත්, ඔබ ඔවුන්ට වෛර කළ නිසාත්, ඔවුන් මරා දමනු පිණිස මේ පාළුකරයට ගෙනා සේකැ යි, මිසර වාසීන් කියනු ඇත.
29. මේ සෙනඟ වනාහි, ඔබ මහා බලය පාමින් ඔබේ දිගු කළ හස්තයෙන් ඔබ මිසර දේශයෙන් පිටතට ගෙනා ඔබේ උරුමය සහ ඔබේ ම සෙනඟ ය’යි කීවෙමි.”

ද්විතීය නීති සංග්‍රහය 10:1-22
1. “එකල සමිඳාණන් වහන්සේ මට කතා කොට, ‘කලින් තිබුණු ගල් පුවරු මෙන් ගල් පුවරු දෙකක් කපාගෙන මා වෙත කන්ද මුදුනට අවුත් ලීයෙන් කරඬුවක් සාදන්න,
2. නුඹ බිඳ දැමූ පළමු පුවරුවල තිබූ වචන මේ පුවරුවල නැවත මම ලියන්නෙමි. නුඹ ඒවා කරඬුව තුළ දැමිය යුතු ය’යි වදාළ සේක.
3. “මම ද ෂිටිම් ලීයෙන් කරඬුවක් සාදා, කලින් තිබූ පුවරු හා සමාන ගල් පුවරු දෙකක් කපාගෙන ඒ පුවරු දෙක අතට ගෙන කන්දට නැංගෙමි.
4. එවිට උන් වහන්සේ රැස්වීම පැවැත්වූ දින ගින්න මැද සිට කන්දේ දී ඔබට සමිඳාණන් වහන්සේ වදාළ දස පණත කලින් ලියූ පරිදි ගල් පුවරු මත ලියූ සේක. මෙසේ ලියා මට දුන් පසු
5. මම ආපසු හැරී, කන්දෙන් බැස අවුත් මා සැදූ කරඬුව තුළ ඒවා දැමුවෙමි. උන් වහන්සේ මට අණ කළ පරිදි ඒවා අද දක්වා එහි ඇත.
6. “ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.
7. එතැනින් ඔව්හු ගුද්ගොදා නම් ස්ථානයට ද මෙතැනින් ජලය බහුල ව තිබූ ජොත්බාතා නම් රටට ද පිටත් ව ගියහ.
8. එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.
9. එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක.
10. “මම පළමුවෙන් කළාක් මෙන් දවල් සතළිසක් සහ රාත්‍රි සතළිසක් කන්ද මත නැවතී සිටියෙමි. එවිට පවා උන් වහන්සේ මට සවන් දී ඔබ විනාශ නොකිරීමට එකඟ වූ සේක.
11. උන් වහන්සේ මා අමතා, ‘නුඹේ පියවරුන්ට දෙන්නට දිවුළ දේශයට ඇතුළු වී එය අයිති කරගනු පිණිස, නැඟිට සෙනඟට පෙරටුවෙන් යන්නැ’යි වදාළ සේක.”
12. “දැන් ඉතින් ඉශ්රායෙල් ජනයෙනි, දෙවි සමිඳාණන් වහන්සේට ඔබෙන් උවමනා වී ඇත්තේ කුමක් ද? උවමනා වී ඇත්තේ දෙවි සමිඳාණන් වහන්සේට ගරුබිය පෑමත්, උන් වහන්සේගේ සියලු මාර්ගවල යෑමත්, උන් වහන්සේට ප්‍රේම කිරීමත්, ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු සිතින් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමත්,
13. මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය.
14. බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.
15. එහෙත්, උන් වහන්සේ ඔබේ පියවරුන්ට ඉමහත් ප්‍රේමයක් දක්වමින් ඔවුන්ගෙන් පසු, අද පවතින පරිදි, ඔවුන්ගේ පෙළපත වන ඔබ ද අන් සියලු ජාතීන් අතරින් තෝරාගත් සේක.
16. එබැවින් ඔබේ සිත් සතන්හි පාප මල කපා හැර, මින්පසු මුරණ්ඩු නොවන්න.
17. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ දේවාතිදේව ය. ස්වාමිවරුන්ගේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ මහා බලසම්පන්න, බිය උපදවන සුලු, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, අල්ලස් නොගන්න දෙවියන් වහන්සේ ය.
18. උන් වහන්සේ අනාථ වූවන්ට සහ වැන්දඹුවන්ට යුක්තිය ඉටු කරන සේක. ආගන්තුකයන් හට කෑම, ඇඳීම දෙමින් ප්‍රේමය දක්වන සේක.
19. බැවින්, ඔබ ද මිසර දේශයෙහි ආගන්තුකයන් ව සිටි බැවින්, මොවුන්ට ප්‍රේමය දක්වන්න.
20. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට පමණක් ඔබ ගරුබිය දක්වමින් උන් වහන්සේට පමණක් වැඳුම්පිදුම් කළ යුතු ය. උන් වහන්සේට පමණක් ඇළුම් ව සිටිය යුතු ය. උන් වහන්සේගේ නාමයෙන් පමණක් දිවුරුම් දිය යුතු ය.
21. ඔබ ප්‍රශංසා කළ යුත්තේ, බල බලා සිටිය දී ම මේ මහා භයානක දේවල් ඔබ උදෙසා ඉටු කළ, ඔබේ දෙවියන් වහන්සේට ය.
22. ඔබේ පියවරුන් මිසර දේශයට යන විට සිටියේ හැත්තෑදෙනෙකි. එහෙත්, දැන් නම් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අහසේ තරු මෙන් ගණනින් ඔබ වැඩි වර්ධනය කර ඇත.”

ගීතාවලිය 37:12-17
12. දුදනා සුදනාට එරෙහි ව උපා යොදයි; ඔහුට විරුද්ධ ව දත්මිටි කයි.
13. සමිඳාණෝ ඔහු ගැන සිනාසෙන සේක; ඔහුගේ අවසානය ළඟ බව දන්න සේක.
14. දුගී දුප්පතුන් හෙළා දමන පිණිස ද අවංක අය වනසන පිණිස ද දුදනෝ කඩුව ඇද, දුන්න තැත් කවාගෙන සිටිති.
15. එහෙත්, ඔවුන්ගේ කඩුපත ඔවුන්ගේ ම හදවත තුවාළ කරයි; ඔවුන්ගේ දුන්න බිඳ දමනු ලැබේ.
16. දුදනන් සතු වස්තු රැසකට වඩා සුදනා සතු වස්තු බිඳක් යහපත.
17. දුදනන්ගේ බාහු බලය බිඳ දමනු ඇත. එහෙත් හිමි තුමන් සුදනන් හට පිහිට වනු ඇත.

හිතෝපදේශ 12:11-11
11. වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි.

ශුද්ධවර ලූක් 1:57-80
57. නියම කාලය පැමිණි විට එලිසබෙත් තොමෝ පුත්‍රයෙකු ලැබුවා ය.
58. ඇගේ අසල්වැසියෝ ද නෑයෝ ද සමිඳාණන් වහන්සේ ඈ කෙරෙහි මහා දයානුකම්පාවක් දැක්වූ බැව් අසා ඇය සමඟ ප්‍රීති වූ හ.
59. තවද, අට වන දා චර්මඡේදන පිළිවෙත පිණිස ඔව්හු දරුවා ගෙනැවිත් සිය පියාගේ නාමය අනුව ඔහුට සෙකරියස් යයි නම් තබන්නට සැරසුණහ.
60. එහෙත්, ඔහුගේ මව කතා කරමින්, “එසේ නොවේ; ඔහුට ජොහන් යන නාමය තැබිය යුතු ය”යි කීවා ය.
61. “ඔබේ නෑයන් අතර ඒ නාමය ඇත්තෙක් නැතැ”යි ඔව්හු ඈට කී හ.
62. ඔහුගේ පියා ඔහුට කුමන නමක් තබන්න කැමැති දැ යි දැනගන්නා පිණිස ඔව්හු ඔහුට සංඥා කළහ.
63. ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, “ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ.
64. එකෙණෙහි ම ඔහුගේ කතා ශක්තිය ලැබිණි; ඔහු දෙවියන් වහන්සේ පසසමින් කතා කෙළේ ය.
65. අසල්වැසි සියල්ලන් කෙරෙහි බිය පැමිණියේ ය. මෙ‍පවත් සියල්ල ජුදයේ කඳු රට පුරා පතළ විය.
66. ඒ ඇසූ හැම දෙන ම ඒ සියල්ල සිය සිත්හි තබාගෙන, “ඉතින් මේ දරුවා කෙබඳු කෙනෙක් වන්නේ දැ”යි ඇසූ හ. මක්නිසා ද, සමිඳාණන් වහන්සේගේ හස්තය ඔහු කෙරෙහි විය.
67. ජොහන්ගේ පිය වූ සෙකරියස් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ව දිවැස් වැකි පවසමින් මෙ‍සේ කී ය:
68. “ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන්, සිය සෙනඟ වෙත බලා කරුණාවෙන්, විමුක්තිය සලසා දුන් බැවින්, එතුමන් හට තුති පැසසුම් වේ වා!
69. සිය දාසයා වූ දාවිත්ගේ වංශයෙන් අප හට, බලවත් මිදුම්කාරයෙකු එතුමාණෝ එවූ සේක.
70. එසේ වූයේ, පෙර ශුද්ධ දිවැසිවරුන්ගේ මුවින් පැවසූ ලෙස ය.
71. රුපුන්ගෙන් හා අපට වෙර බැන්දවුන්ගෙන්, අප මුදාලන පිණිස, එතුමාණෝ එය කළ සේක;
72. මෙ‍සේ, අප පියවරුන්ට කළ දයා-පොරොන්දුව ඉටු කර, සිය ශුද්ධ ගිවිසුම සිහි කළ සේක.
73. එය, අප පිය ආබ්‍රහම්ට එතුමන් දිවුළ දිවුරුම ය.
74. මෙ‍සේ කෙළේ, අප සතුරන්ගෙන් මිදීම ලබමින්, නොබිය ව එතුමන්ගේ සේවයේ යෙදෙමින්,
75. එතුමන් අබිමුවෙහි බැතියෙන් හා දැහැමින්, දිවි ඇති තෙක් විසීමට ය.
76. ළදරුව, ඔබ සමිඳුන්ට පෙරටුව යමින්, එතුමන් මඟ පිළියෙළ කරන බැවින්, ‘මෙ‍හෙසුරු දිවැසිවර’ යන නම ඔබට දෙනු ඇත.
77. එතුමන්ගේ සෙනඟට පව් කමාවෙන් ලැබෙන ගැළවීම, ඔබ ඔවුන්ට දන්වන්නෙහි ය.
78. අප දෙවිඳාණෝ මෘදු ය, දයාවන්ත ය. අප කෙරෙහි අහසින් ළහිරු රැස් උදා කරවන සේක.
79. අඳුරේ හා මරණ සෙවණේ සිටින්නවුන් කෙරෙහි, එලෙසින් එළිය උදා කරවමින් සෙත් මඟ යාමට අපට මඟපෙන්වන සේක.”
80. දරුවා වැඩී, ආත්මානුභාවයෙන් බලවත් ව තමන් ඉශ්රායෙල්ට ප්‍රකාශවන දිනය දක්වා පාළුකරයෙහි සිටියේ ය.