A A A A A
අවුරුද්දකින් බයිබලය
මාර්තු 20

ද්විතීය නීති සංග්‍රහය 1:1-27
1. ජොර්දාන් ගඟින් මෙගොඩ පාළුකරයේ දී මෝසෙස් සියලු ඉශ්රායෙල් ජනයා අමතා කී වචන මේ ය. මොවුන් සිටියේ සූප් නම් ස්ථානය ඉදිරිපිට, පාරාන් ද තොපෙල් ද ලාබාආන් ද හශේරොත් සහ දී-සාහාබ් ද යන නගරවලට මැදි වූ මිටියාවතෙහි ය.
2. හොරෙබ් සිට කාදෙෂ්-බර්නේයට සේයිර් කඳුකර මාර්ගය ඔස්සේ ගමන් කිරීමට එකොළොස් දවසක් ගත වේ.
3. සෙනඟට දැන්වීමට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ සියල්ල, ඔහු හතළිස් වන අවුරුද්දේ එකොළොස් වන මාසයේ පළමු වන දින ඉශ්රායෙල් ජනයාට කීවේ ය.
4. මෙය වූයේ ඔහු හෙශ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජ වූ සීහොන් ද එද්රෙය අසල අෂ්තාරොත්හි විසූ බාෂාන්හි රජ වූ ඕග් ද පරාජය කළ පසු ය.
5. ජොර්දාන් ගඟෙන් මෙගොඩ මෝවබ් දේශයේ දී මෝසෙස් දේව ආඥා පහදා දීම මෙසේ ඇරඹී ය.
6. “අපේ දෙවි සමිඳාණන් වහන්සේ හොරෙබ් කන්දේ දී අපට මෙසේ කතා කළ සේක: ‘නුඹලා මේ කන්ද මත මෙතෙක් කල් විසුවා ඇත.
7. කඳවුර ගලවා, ගමන අරඹා අමෝරිවරුන්ගේ කඳුකරයට ද ඊට යාබද ව අසල්වැසියන් වසන මිටියාවතට සහ කඳුකරයට ද තැනිතලාවට සහ දකුණු දිශාවට ද මුහුදුබඩට හා කානානිවරුන්ගේ දේශයට ද ලෙබනොන් රටට සහ මහා ගංගාව වන යුප්‍රටීස් ගංගාව දක්වා ද යන්න.
8. බලන්න, මේ දේශය නුඹලා ඉදිරියෙහි ඇත. සමිඳාණන් වහන්සේ නුඹලාගේ ආදි පියවරුන් වූ ආබ්‍රහම්ට, ඊසාක්ට සහ ජාකොබ්ට ද ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ පෙළපතට ද දෙන්නට පොරොන්දු වී දිවුළ දේශයට ඇතුළු වී එය හිමි කරගන්න.’ “
9. “එකල මම ඔබට කතා කොට, ‘ඔබ පිළිබඳ වගකීම මට තනි ව දැරිය නොහැකි ය.
10. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම වැඩි වර්ධනය කළ සේක. පුදුමයකි! අද දින ඔබ හැම ගණනින් අහසේ තරු හා සමාන ය.
11. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ හැම තවත් දහස් ගුණයකින් වැඩි වෙන්නට සලසා, උන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔබට ආශීර්වාද කරන සේක.
12. ඔබ හැම පිළිබඳ වගකීම, කරදර හිරිහැර, වාද විවාද මා තනි ව කෙසේ දරන්නට ද?
13. එබැවින් නැණවත්, කාරණා කාරණා දන්න, අත්දැකීම් ඇති අය ඔබගේ ගෝත්‍රවලින් තෝරාගන්න; ඔබ පාලනය කරන පිණිස මම ඔවුන් පත් කරන්නෙමි’යි කීවෙමි.
14. ඔබ හැම ද මට පිළිතුරු දෙමින්, ‘ඔබ කී දේ අපට වැඩදායක යැ’යි පැවසූ හ.
15. එවිට මම ඔබේ ගෝත්‍ර නායකයන් අතර නැණවත්, කාරණා කාරණා දන්න අයවලුන් ඔබ හැමගේ ප්‍රධානීන් වශයෙන් පත් කෙළෙමි; සමහරෙක් සහශ්‍රාධිපතීහු ද සමහරෙක් ශතාධිපතීහු ද සමහරෙක් පණසාධිපතීහු ද තවත් සමහරෙක් දශාධිපතීහු ද වූ හ. තවද, ගෝත්‍රයක් පාසා නිලධාරීන් ද පත් කෙළෙමි.
16. “මම එකල ඔබේ විනිසකරුවන් අමතමින්, ‘ඔබේ සෙනඟ අතර නඩු අසන ලෙස ද යමෙකු සහ ඔහුගේ අසල්වැසියා අතරත්, ඔහු සමඟ වසන විදේශිකයා අතරත් යුක්තිය අනුව තීන්දුව දෙන්නට ද
17. විනිශ්චය කරද්දී, මිනිසුන්ගේ තරාතිරම් නොබලා, ලොකු කුඩා අයට එක සේ කන් දී, තීන්දුව දෙවියන් වහන්සේගෙන් එන බැවින් මිනිසුන්ට බිය නොවිය යුතු යයි ද දුෂ්කර නඩුවක් ඇත්නම් මා එය අසන පිණිස මා වෙත එය ගෙනෙන්නට ඕනෑ බව ද කීවෙමි.
18. මම ඔබ කළ යුතු සියල්ල ගැන ඔබට උපදෙස් දුනිමි.’ “
19. “සමිඳාණන් වහන්සේ අපට වදාළ ලෙස අපි ඉටු කෙළෙමු. අපි හොරෙබ් කන්දෙන් නික්ම අමෝරිවරුන්ගේ කඳුකරයට යන මඟ ඔබ දුටු මහා, රුදුරු පාළුකරය ඔස්සේ ගොස් කාදෙෂ්-බර්නේය නම් ස්ථානයට පැමිණියෙමු.
20. මම ද ඔබ අමතා, ‘අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන අමෝරිවරුන්ගේ කඳුකරයට ඔබ ආවහු ය.
21. මෙන්න, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට දෙන්නට යන දේශය ඔබ ඉදිරිපිට ඇත. ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට කී පරිදි බිය නොවී, අධෛර්ය නොවී ගොස් එය උරුම කරගන්නැ’යි ද කීවෙමි.
22. “එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය.
23. මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.
24. ඔව්හු ද හැරී කඳුකරයට නැඟී, එෂ්කොල් මිටියාවත දක්වා ගොස් එහි ඔත්තු බැලූ හ.
25. ඒ රටේ පලතුරුවලින් ද සමහරක් අප වෙත ගෙනවුත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන දේශය සාරවත් රටක් බව ද අපට සැළ කළ හ.
26. “එහෙත් ඔබ, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව කැරලි ගසමින් එහි යාමට කැමැත්ත නොදැක්වූ හ.
27. ඔබ ද කූඩාරම්වලට වී කොඳුරමින්, ‘සමිඳාණන් වහන්සේ අපට ද්වේෂ කරන බැවින්, අමෝරිවරුන්ගේ බලයට අප පාවා දී අප මරනු පිණිස මිසර දේශයෙන් අප පිටතට ගෙනා සේක.

ද්විතීය නීති සංග්‍රහය 2:1-37
1. “ඉන්පසු සමිඳාණන් වහන්සේ මට කී පරිදි, අපි හැරී රතු මුහුදට යන පාර වැටී ඇති පාළුකරය ඔස්සේ ගමන් කෙළෙමු. සේයිර් කඳුකරයෙහි අප බොහෝ කලක් සංචාරය කළ පසු
2. සමිඳාණන් වහන්සේ මට කතා කොට,
3. ‘නුඹලා බොහෝ කලක් මේ කඳුකරයෙහි සංචාරය කළහු ය. දැන් උතුරු දිශාවට හැරෙන්න.
4. නුඹ ද සෙනඟට අණ කරමින් මෙසේ කියන්න: ඔබේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි වී සිටින සේයිර් නම් දේශය ඔස්සේ ඔබ යා යුතු ය. ඔවුන් ඔබට බිය වනු ඇත. එබැවින් ප්‍රවේසම් වන්න.
5. ඔවුන් කුපිත නොකරන්න. ඔවුන්ගේ දේශයෙන් අඟලක්වත් මම ඔබට නොදෙන්නෙමි. මන්ද, සේයිර් කඳුකරය මා ඒසව් සන්තක කොට දුන් බැවිනි.
6. ඔබට කෑම පිණිස මුදල් ගෙවා ආහාර ද බීම පිණිස මුදල් ගෙවා වතුර ද ඔවුන්ගෙන් ගත හැකි ය’යි වදාළ සේක.
7. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ කළ සියල්ලෙහි දී ඔබට ආශීර්වාද කළ සේක. මේ මහා පාළුකරය මැදින් ඔබ ගිය ගමන උන් වහන්සේ දන්නා සේක. මේ අවුරුදු හතළිහ ම උන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටිය බැවින් ඔබට කිසි ම අග හිඟයක් නො වී ය.
8. “අපි ද අපගේ ඥාතීන් වූ ඒසව්ගේ පෙළපත පදිංචි සේයිර් කඳුකරය පසු කොට, ඒලත් සහ එශියොන්-ගෙබෙර් නම් ස්ථානවලින් මිටියාවත ඔස්සේ ගොස්, යළි හැරී මෝවබ්හි පාළුකරය මැදින් ගියෙමු.
9. “සමිඳාණන් වහන්සේ මා අමතා, ‘මෝවබ්වරුන්ට හිරිහැර නොකරන්න, සටනට ඔවුන් නොපොළඹවන්න. මා ආර් නම් දේශය ලොත්ගේ පෙළපතට සතු කොට දෙන බැවින්, ඔවුන්ගේ රටින් කිසිවක් මම නුඹට අයිති කොට නොදෙන්නෙමි’යි වදාළ සේක.
10. “අනාක්වරුන් හා සමාන, බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වන ඒමිවරු පෙර කාලයේ දී එහි විසූ හ.
11. අනාක්වරුන් මෙන් ඔව්හු ද රෙපායිම් යෝධයෝ යයි හඳුන්වනු ලැබූ හ. එහෙත් මෝවබ්වරුන් ඔවුන්ට කීවේ ඒමිවරු කියා ය.
12. සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.
13. “උන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘දැන් නැඟිට, ශෙරෙද් නම් නදියෙන් එතෙර වන්නැ’යි වදාළ සේක. අපි ද එම නදියෙන් එගොඩ වූයෙමු.
14. කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් නික්මුණු දා සිට ශෙරෙද් නම් නදියෙන් එගොඩ වන තෙක් ගත වූ කාලය අවුරුදු තිස්අටකි. සමිඳාණන් වහන්සේ දිවුළ පරිදි ඒ කාලය තුළ ඒ පෙළපතට අයත් මුළු භට හමුදාව නැසී ගියේ ය.
15. ඔවුන් නැත්තට ම නැති වන තෙක් හමුදාවෙන් ඔවුන් වනසාලීම පිණිස සමිඳාණන් වහන්සේ ඔවුන්ට විරුද්ධ ව නැඟී සිටිය සේක.
16. “මෙලෙස සෙනඟ අතරෙන් මුළු භට හමුදාවේ සියල්ලන් නැති නාස්ති වී වැනසී ගිය පසු,
17. සමිඳාණන් වහන්සේ මට කතා කොට,
18. ‘අද නුඹ ආර් නම් පෙදෙස ඔස්සේ මෝවබ් දේශය මැදින් යා යුතු ය.
19. නුඹ අම්මොන්ගේ පරපුරට අයිති අයගේ දේශය සමීපයට පැමිණි කල ඔවුන්ට හිරිහැර නොකරන්න, ඔවුන් කුපිත නොකරන්න. මා ඔවුන්ගේ රට ලොත්ගේ පෙළපතට අයිති කොට දී තිබෙන බැවින් මම ඔවුන්ගේ රටින් අඟලක්වත් නුඹට නොදෙන්නෙමි’යි වදාළ සේක.
20. “එය ද රෙපායිම්වරුන්ගේ රට මෙන් ගණන් ගැණිනි. පෙර කාලවල දී රෙපායිම් යෝධයෝ එහි විසූ හ. අම්මොන්වරු ඔවුන්ට සම්සුම්මිවරු යයි නම් කළහ.
21. අනාක්වරුන් මෙන් ඔව්හු ද බලසම්පන්න, ගණනින් බොහෝ වූ, උස මහත සෙනඟක් වූ හ. එහෙත්, සමිඳාණන් වහන්සේ ඔවුන් වනසා ලූ නිසා, අම්මොන්වරු එම රට අල්ලාගෙන එහි පදිංචි වූ හ.
22. සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.
23. ක්‍රීට් දූපතේ සිට පැමිණි වාසීහු ද, දකුණු දිග පිහිටි ගාසා දක්වා විසූ අව්විවරුන් වනසා, එම රටේ පදිංචි වූ හ.
24. “සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.
25. මම අද දින මුළු පොළෝ තලයෙහි සිටින සියලු ජාතීන් තුළ නුඹ නිසා තැති ගැන්ම සහ භීතිය ඇති කරමි. නුඹ ගැන ඇසූ විට, ඔව්හු බියෙන් ඇළලී කැළඹෙන්නෝ ය’යි වදාළ සේක.”
26. “මම ද කෙදෙමොත් පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජ වූ සීහොන් වෙත සාමකාමී වචන සහිත ව පණිවුඩකාරයන් යවමින්,
27. ‘ඔබේ දේශය මැදින් මට යන්නට අවසර දුන මැනව. මම මහ මාවත ඔස්සේ යමින් දකුණට හෝ වමට හෝ නොහැරෙන්නෙමි.
28. කන්නට ආහාර ද බොන්නට වතුර ද මුදලට දුන මැනව. මම දේශය මැදින් පයින් ම යමින්,
29. අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට දෙන්නට යන රටට, ජොර්දාන් ගඟෙන් එතෙර වන්නෙමි. සේයිර්හි පදිංචි ඒසව්ගේ පෙළපත ද ආර්හි පදිංචි මෝවබ්වරු ද අපට එසේ යන්නට අවසර දුන්නෝ ය’යි කීවෙමි.
30. “එහෙත් හෙෂ්බොන්හි රජ වූ සීහොන් අපට දේශය මැදින් යන්නට අවසර නුදුන්නේ ය. එසේ නුදුන්නේ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔහු ඔබේ බලයට පාවා දෙනු පිණිස, උන් වහන්සේ ඔහුගේ සිත දැඩි ලෙස මුරණ්ඩු කළ නිසා විය හැක.
31. “එවිට සමිඳාණන් වහන්සේ මා අමතා ‘මෙන්න, සීහොන් රජු සහ ඔහුගේ දේශය මම නුඹට දෙන්නට පටන්ගතිමි. එම දේශය අල්ලාගෙන, උරුම කරගන්නැ’යි වදාළ සේක.
32. සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය.
33. දෙවි සමිඳාණන් වහන්සේ ඔහු අපට පාවා දුන් සේක. අපි ද ඔහුටත්, ඔහුගේ දරුවන්ටත්, සියලු සෙනඟටත් පහර දුන්නෙමු.
34. ඒ දවස්හි අපි ඔහුගේ සියලු නගර අල්ලාගෙන, ඒවා සියල්ලෙහි ම විසූ ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ද සිඟිති දරුවන් ද සම්පූර්ණයෙන් ම වනසා දැම්මෙමු. ඔවුන්ගෙන් එක් කෙනෙකු වත් ඉතුරු නොකෙළෙමු.
35. අපගේ ම ප්‍රයෝජනයට අපි ගවමහිෂයන් පැහැරගෙන, අල්ලාගත් නගරවලින් වස්තුව කොල්ලකෑවෙමු.
36. අර්ණොන් ගං තෙර පිහිටි අරෝයෙර් පටන් ගිලියද් දක්වා ගඟ අද්දර වූ නගරය ඇතුළු සියලු ම නුවරවල් අල්ලාගැනීමට අපේ දෙවි සමිඳාණන් වහන්සේ සැලැසූ සේක. අපට අල්ලාගන්නට නොහැකි තරම් උස් වූ එක ම නගරයක් වත් නො වී ය.
37. එහෙත්, අම්මොන්ගේ පෙළපත පදිංචි දේශයට වත්, ජබ්බොක් ගඟ අසබඩ කිසි ම ස්ථානයකට වත්, කඳුකරයේ කිසි ම නුවරකට වත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ තහනම් කළ කිසි ම තැනකට වත් අපි නොගියෙමු.”

ගීතාවලිය 36:1-6
1. සමිඳාණන් වහන්සේගේ සේවක දාවිත්ගේ ගීතයකි. දුදනාගේ හද පත්ලෙහි පවට පෙළඹීම ඇත; ඔහු තුළ දේව ගරුබිය නැත.
2. සිය අයුතුකම් හෙළි වී පිළිකුල් කරනු නොලබන්නේ යැයි ඔහු තමා ම පාරට්ටු කරගනියි.
3. ඔහුගේ මුඛය අයුතුකම හා වංචාවෙන් පිරී ඇත; ඔහු ප්‍රඥාවට පිටුපා යහපත නොකරයි.
4. ඔහු යහනේ සිටින විට පවා මැරවරකම් යෝජනා කරයි; අයහපත් මඟක ම හැසිරෙයි; නපුරු කිසිවකට පිළිකුල් නොකරයි.
5. සමිඳුනි, ඔබේ නොනස්නා පෙම්කඳ අහස දක්වා නඟියි; ඔබේ විශ්වාසවන්තකම වලාකුළු ඉක්මවා යයි.
6. ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.

හිතෝපදේශ 12:4-6
4. ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි.
5. දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය.
6. දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි; එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි.

ශුද්ධවර මාක් 16:1-20
1. සබත් දින ගෙවුණු පසු මග්දලායේ මරියා ද ජාකොබ්ගේ මව වූ මරියා ද සලෝමි ද ගොස්, උන් වහන්සේ ආලේප කරන පිණිස සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ.
2. ඔව්හු සතියේ පළමු වන දා පාන්දර, හිරු උදා වූ විගස ම, සොහොන් ගේ ළඟට ආහ.
3. ඔව්හු, “අපට සොහොන් ගෙයි දොරකඩින් ගල ඉවතට පෙරළා දෙන්නේ කවරෙක් දැ”යි ඔවුනොවුන් අතර විමසූ හ.
4. හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය.
5. එකල ඔව්හු සොහොන් ගෙට පිවිස, සුදු සළුවක් හැඳගත් තරුණයෙකු දකුණු පස ඉඳගෙන සිටිනු දැක භීත වූ හ.
6. ඔහු ඔවුන් අමතා, “බිය නොවන්න; ඔබ සොයන්නේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය; උන් වහන්සේ උත්ථාන වූ සේක; උන් වහන්සේ මෙහි නැත; මේ බලන්න, ඔවුන් උන් වහන්සේ තැන්පත් කළ ස්ථානය;
7. යන්න, ඔබට කී ලෙස ම උන් වහන්සේ ඔබට කලින් ගලීලයට වඩිනා බවත්, එහි දී ඔබ උන් වහන්සේ දක්නා බවත්, ශ්‍රාවකයන්ට ද පේදුරුට ද දන්වන්නැ”යි කී ය.
8. ඔව්හු කම්පිත ව, විස්මිත ව සොහොන් ගෙයින් පිට වී පලා ගියහ. තවද, ඔව්හු භීත ව සිටි බැවින්, කිසිවෙකුට කිසිවක් නොකී හ.
9. සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක.
10. ඈ ගොස්, අඬමින් වැලපෙමින් සිටි උන් වහන්සේගේ හිතවතුන්ට එපවත් සැළ කළා ය.
11. එහෙත්, උන් වහන්සේ ජීවමාන ව සිටින බව ද ඇයට දර්ශනය වූ බව ද ඇසූ විට ඔව්හු එය විශ්වාස නො කළහ.
12. ඉක්බිති ඔවුන්ගෙන් දෙදෙනෙකු පිටිසරට යන කල උන් වහන්සේ අන් විලසකින් ඔවුන්ට දර්ශනය වූ සේක.
13. ඒ දෙදෙන ආපසු ගොස් අනික් අයට එපවත් දැන්වූ හ. ඔව්හු ඔවුන් කී දෙය ද විශ්වාස නො කළහ.
14. පසුව ජේසුස් වහන්සේ, එකොළොස් දෙනා ආහාර වළඳමින් සිටිය දී ඔවුන්ට ද දර්ශනය වී, උන් වහන්සේ උත්ථාන වූ පසු තමන් වහන්සේ දුටුවන් කීදේ ඔවුන් නොඇදහූ නිසා, ඔවුන්ගේ අවිශ්වාසය හා සිත් දැඩි කම ගැන ඔවුන්ට දොස් පැවරූ සේක.
15. උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16. අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.
17. අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;
18. සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.
19. මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
20. ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්‍.