A A A A A
අවුරුද්දකින් බයිබලය
මාර්තු 15

ගණන් කථාව 27:1-23
1. ඒ සමයෙහි ජෝසෙප්ගේ පුත්‍රයා වන මනස්සේගේ පරපුරෙන් පැවති මාකීර්ගේ පුත්‍රයා වන ගිලියද්ගේ පුත්‍ර වූ හේපෙර්ගේ පුත්‍රයා වන ශෙලෝපෙහාද්ගේ දූවරු නම් මාලා, නෝවා, හොග්ලා, මිල්කා සහ තිර්ශා ය.
2. ඔව්හු මෝසෙස් ද පූජක එලෙයාසර් ද ප්‍රජා මූලිකයන් හා මුළු ජනතාව ද ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ළඟ සිටගෙන,
3. “අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.
4. ඔහුට පුතෙකු නැති බැවින් අප පියාගේ නම ඔහුගේ පරපුරෙන් මැකී යා යුත්තේ මන් ද? එබැවින් අප පියාගේ සොහොයුරන් අතරෙන් කොටසක් උරුම වශයෙන් අපට දෙන්නැ”යි ඉල්ලූ හ.
5. මෝසෙස් ද ඔවුන්ගේ මේ කරුණ සමිඳාණන් වහන්සේට ඉදිරිපත් කෙළේ ය.
6. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
7. “ශෙලෝපෙහාද්ගේ දූවරුන්ගේ ඉල්ලීම සාධාරණ ය. නුඹ ඔවුන්ගේ පියාගේ සොහොයුරන්ට හිමි කොටස ඔවුන්ට උරුම කොට දිය යුතු ය. මෙලෙස නුඹ ඔවුන්ගේ පියාගේ උරුමය ඔවුන්ට අයිති වීමට සැලසිය යුතු ය.
8. නුඹ ද ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්න: ‘යම් මිනිසෙකු පුතෙකු නොලැබ මියගියොත්, ඔහුගේ උරුමය ඔහුගේ දුවට අයිති වීමට සැලසිය යුතු ය.
9. ඔහුට දුවක් නැති නම්, ඒ උරුමය ඔහුගේ සහෝදරයන්ට දිය යුතු ය.
10. සහෝදරයෝ නැති නම්, ඔහුගේ පියාගේ සොහොයුරන්ට නුඹ ඒ උරුමය දිය යුතු ය.
11. ඔහුගේ පියාට සොහොයුරන් ද නැති නම් ඔහුගේ පියාගේ පවුලේ කිට්ටු ම නෑයෙකුට එය දිය යුතු ය. ඒ නෑයාට එය සින්නක්කරේට අයිති වනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම මෝසෙස් වන නුඹට අණ කළ පරිදි මේ ය. ඉශ්රායෙල් ජනයා කෙරෙහි මෙය සදහට ම වලංගු නීතියක් විය යුතු ය”යි වදාළ සේක.
12. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ මේ අබාරීම් කන්දට නැඟ මා ඉශ්රායෙල් ජනයාට දුන් දේශය නරඹන්න.
13. නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.
14. මන්ද, නුඹලා දෙදෙන ශීන් නම් පාළුකරයේ දී මගේ අණට විරුද්ධ ව කැරලි ගැසුවහු ය. මෙරිබාහී දී මුළු ජනතාව මැසිවිලි කියද්දී නුඹලා දෙදෙන ඔවුන් ඉදිරියෙහි මාගේ බල මහිමය පිළිගැනීමට අකමැති වූවාහු ය”යි වදාළ සේක. (මෙරිබා වනාහි ශීන් පාළුකරයේ කාදේශ්හි ඇති උල්පතකි.)
15. මෝසෙස් උන් වහන්සේට කතා කොට,
16. “එසේ නම්, සව් සතට ජීවය දෙන දෙවි සමිඳාණන් වහන්සේ සෙනඟ පාලනය කිරීමට කෙනෙකු පත් කරන සේක් වා!
17. එවිට සමිඳාණන් වහන්සේගේ ජනතාව, එඬේරෙකු නැති බැටළු රැළක් නොවනු පිණිස, ඒ තැනැත්තාට ඔවුන් ඉදිරියෙහි යාමටත්, ඔවුන් පසුපස යාමටත්, ඔවුන් පිටතට ගෙන යාමටත්, ඇතුළට ආපසු ගෙන ඒමටත් හැකි වනු ඇතැ”යි කී ය.
18. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට මෙසේ වදාළ සේක: “නූන්ගේ පුත්‍ර වූ, දක්ෂ කෙනෙකු වන ජෝෂුවා කැඳවා, ඔහු මත නුඹේ අත් තබන්න.
19. ඉන්පසු පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරිපිට ඔහු සිටුවා, ඔවුන් බලාගෙන සිටිය දී ඔහුට වගකීම පවරන්න.
20. මුළු ඉශ්රායෙල් ජනතාව ඔහුට කීකරු වන පිණිස නුඹේ ආණ්ඩු බලයෙන් කොටසක් ඔහුට දෙන්න.
21. ඔහු එලෙයාසර් පූජකවරයා ඉදිරියෙහි පෙනී සිටිය යුතු ය. මේ පූජකවරයා මා ඉදිරියෙහි උරීම් කැට භාවිත කිරීමෙන් ඔහු විමසනු ඇත. මෙසේ පූජකවරයා විධාන කිරීමෙන් ඔහුට ද මුළු ඉශ්රායෙල් ජනතාවට ද මඟපෙන්වනු ඇත.”
22. සමිඳාණන් වහන්සේ වදාළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. ඔහු ජෝෂුවා කැඳවා පූජක එලෙයාසර් සහ මුළු ජනතාව ඉදිරියෙහි සිටුවා,
23. ඔහු මත තම අත් තබා උන් වහන්සේ අණ කළ පරිදි ඔහුට වගකීම පැවරී ය.

ගණන් කථාව 28:1-31
1. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
2. “ඉශ්රායෙල් ජනයාට මෙසේ අණ කරන්න: ‘සුමිහිරි සුවඳක් මෙන් මට ප්‍රසන්න, ගින්නෙන් දවා මට පුදන ආහාර පඬුරු නියමිත කාලයේ දී ඔප්පු කළ යුතු ය.’ ”
3. “නුඹ ඔවුන්ට මෙය කිව යුතු ය: ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර නම්, අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකි. මෙය දිනපතා ම දවන යාග පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය.
4. එක බැටළු පැටවකු උදය ද, අනිකා සවස ද ඔප්පු කළ යුතු ය.
5. සිහින් පිටි කිලෝග්‍රෑම් එකක් ධාන්‍ය පූජාවක් වශයෙන් ගෙන, ඊට ඉස්තරම් තෙල් ලීටර් එකක් මිශ්‍ර කර එක එක බැටළු පැටවා සමඟ ඔප්පු කළ යුතු වේ.
6. මෙය වනාහි සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේට ප්‍රසන්න, ගින්නෙන් දවා සීනයි කන්දේ දී පිදීමට නියම, සදහට ම වලංගු, දවන යාග පූජාවකි.
7. ඒ බැටළු පැටවා සමඟ පානීය පූජාව වශයෙන්, ශුද්ධස්ථානය තුළ සමිඳාණන් වහන්සේගේ මහිමය සඳහා, සැර මිදියුස ලීටර් එකක් වත් කොට පිදිය යුතු ය.
8. අනික් බැටළු පැටවා සවස ඔප්පු කළ යුතු ය. උදය පිදූ ධාන්‍ය පූජාව සහ පානීය පූජාව පරිදි සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් මෙන්, එය ගින්නෙන් දවා ඔප්පු කළ යුතු ය.”
9. “අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවුන් දෙදෙනෙකු ද, ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර එය ද, පානීය පූජාව ද, සබත් දින ඔප්පු කළ යුතු ය.
10. නිරන්තර දවන යාග පූජාව සහ ඊට අදාළ පානීය පූජාවට අමතර ව, ඒ ඒ සබත් දින පුද කළ යුතු දවන යාග පූජාව මෙය වේ.”
11. “මාසය ආරම්භයේ දී නුඹලා සමිඳාණන් වහන්සේට දවන යාග පූජාවක් ඔප්පු කළ යුතු වේ. එය නම්, ගොන් වස්සන් දෙදෙනෙක් ද, බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති කැළැල් නැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
12. එක එක ගොන් වස්සෙකු සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් සමඟ තෙල් මිශ්‍ර කර, එක එක බැටළු වස්සා සමඟ ධාන්‍ය පූජාවක් වශයෙන් සිහින් පිටි කිලෝග්‍රෑම් දෙකකට තෙල් මිශ්‍ර කර,
13. එක එක බැටළු පැටවා සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් එකකට තෙල් මිශ්‍ර කර, ඒවා ද ඔප්පු කළ යුතු ය. මේවා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින ගින්නෙන් දවා උන් වහන්සේට පිදූ දවන යාග පූජාවකි.
14. පිදිය යුතු පානීය පූජාව නම් එක එක ගොන් වස්සෙකු සමඟ මිදියුස ලීටර් දෙකකි, බැටළු වස්සා සමඟ මිදියුස ලීටර් එකහමාරකි, එක එක බැටළු පැටියා සමඟ මිදියුස ලීටර් එකකි. අවුරුද්දේ සෑම මාසයක ම මේ දවන යාග පූජාව පිදිය යුතු ය.
15. මේ නිරන්තර දවන යාග පූජාව සහ පානීය පූජාවට අමතර ව, පාප පූජාවක් වශයෙන් එළුවෙකු ද සමිඳාණන් වහන්සේට ඔප්පු කළ යුතු ය.”
16. “පළමු වන මාසයේ දහහතර වන දින සමිඳාණන් වහන්සේගේ පාස්කුව ය.
17. ඒ මාසයේ පසළොස් වන දින මංගල්‍ය පටන්ගනු ලැබේ. දින හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතු ය.
18. පළමු වන දින ශුද්ධ නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු ය.
19. නුඹලා සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා දවන යාග පූජාවක් පිදිය යුතු ය. එය නම්, කැළැල් නැති ගොන් වස්සන් දෙන්නෙක්, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
20. ධාන්‍ය පූජාව වශයෙන් තෙල් මිශ්‍ර කළ සිහින් පිටි ද පිදිය යුතු ය. ගොන් වස්සෙකු සඳහා සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද බැටළු වස්සෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් දෙකක් ද,
21. එක එක බැටළු පැටියෙකු සඳහා පිටි කිලෝග්‍රෑම් එකක් ද, ඔප්පු කළ යුතු ය.
22. නුඹලා පව් කමාව ලබාගැනීම සඳහා, පාප පූජාවක් වශයෙන් එක එළුවෙකු ඔප්පු කළ යුතු ය.
23. සෑම දින ම උදය පුදන දවන යාග පූජාවට අමතර ව, නුඹලා මේවා පිදිය යුතු වේ.
24. මෙලෙස දවස් හතක් තුළ හැම දා ම ඔප්පු කළ යුතු ය. ගින්නෙන් දවා පුදන මේ ධාන්‍ය පූජා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේට ප්‍රසන්න ය. නිරන්තර දවන යාග පූජාවට හා ඊට අදාළ පානීය පූජාවට අමතර ව එය ඔප්පු කළ යුතු ය.
25. හත් වන දින නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.”
26. “සති මංගල්‍යයේ දී, අස්වැන්න මංගල්‍යයේ පළමු වන දින නුඹලා සමිඳාණන් වහන්සේට අලුත් ධාන්‍ය පූජාව ඔප්පු කරන විට නමස්කාරය සඳහා රැස්වීමක් පැවැත්විය යුතු ය. එදින කිසි ම බර වැඩක් නොකළ යුතු වේ.
27. එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.
28. මේවා සමඟ පිදිය යුතු තෙල් ඇනූ ධාන්‍ය පූජා නම්, එක එක ගොන් වස්සෙකු සමඟ සිහින් පිටි කිලෝග්‍රෑම් තුනකි, එක බැටළු වස්සෙකු සමඟ පිටි කිලෝග්‍රෑම් දෙකක් ද
29. එක එක බැටළු පැටවා සමඟ පිටි කිලෝග්‍රෑම් එක බැගින් ද වේ.
30. නුඹලාට පව් කමාව ලබාගැනීම සඳහා එක එළුවෙකු ද පිදිය යුතු ය.
31. නිරන්තර දවන යාග පූජාවට ද කැළැල් නැති සතුන් විය යුතු ය. පුදන ධාන්‍ය පූජාවට අමතර ව පානීය පූජාව ද ඉහත කී පූජා ද ඔප්පු කළ යුතු ය.

ගීතාවලිය 34:8-14
8. හිමි තුමන් ගුණවත් බව ඔබ ම අත්දැකීමෙන් දැනගන්න; එතුමන්ගේ රැකවරණය ලබන තැනැත්තේ ආසිරි ලබයි.
9. එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.
10. ධනපතීහු පවා කෑම නැති ව සාගින්නෙන් පෙළෙති; එහෙත්, හිමි තුමන් සරණ යන අයට යහපත් දෙයින් කිසි අඩුවක් නැත.
11. දරුවෙනි, මට සවන් දෙන්න. සමිඳුන්ට ගරු කිරීමට මම ඔබට උගන්වන්නෙමි.
12. සැප ජීවිතය භුක්ති විඳීමට යම් කෙනෙක් කැමැති ද? දිගායු වළඳා සුව සම්පත් රස විඳීමට කැමැති ද?
13. එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.
14. නපුර හැර දමා යහපත කරන්න; සාමය සොයා ඒ අනුව යන්න.

හිතෝපදේශ 11:29-29
29. සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.

ශුද්ධවර මාක් 14:1-26
1. පාස්කුවට ද නුමුහුන් රොටි මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.
2. “එහෙත්, සෙනඟ අතර කලකෝලාහල ඇති නොවන පිණිස මංගල්‍යයේ දී එය සිදු නොකරමු”යි ඔව්හු කී හ.
3. උන් වහන්සේ බෙතානියෙහි ලාදුරු රෝගී සීමොන්ගේ ගෙදර කෑමට හිඳගෙන සිටිය දී, එක් ස්ත්‍රියක් ඉතා අගනා සුපිරිසිදු සුවඳ විලවුන් පිරුණු කිරිගල් කරඬුවක් ගෙන’වුත්, එය බිඳ උන් වහන්සේගේ හිස මත ඒ සුවඳ විලවුන් වත් කළා ය.
4. එහෙත් එහි සිටි ඇතැමෙක් කෝප වී, “මේ විලේපනය නාස්ති කෙළේ කුමට ද?
5. මේ විලේපනය රිදී කාසි තුන්සියයකට වැඩියෙන් විකුණා, ඒ මුදල දිළිඳුන්ට දිය හැකි ව තිබුණේ ය”යි තම තමන් අතර කියාගනිමින් ඈට බැණ වැදුණෝ ය.
6. එහෙත් ජේසුස් වහන්සේ කතා කොට, “ඈට නිකම් ඉන්න දෙන්න, ඈට කරදර කරන්නේ මන් ද? ඈ මා හට කෙළේ මනහර දෙයකි.
7. දුගීහු ඔබ සමඟ හැම දා ම සිටිති. ඔබ කැමැති හැම විටක ම ඔවුන්ට යහපත කරන්න ඔබට පුළුවන. එහෙත්, මම හැම දා ම ඔබ සමඟ නොසිටිමි.
8. ඇයට හැකි දෙය ඈ කළා ය. තැන්පත් කිරීම සඳහා, කල්තියා, ඈ මාගේ සිරුර ආලේප කර ඇත.
9. සැබැවින් ම මම ඔබට කියමි, සුබ අස්න ලොව පුරා දේශනා කරනු ලබන හැම තැන්හි ම මේ ස්ත්‍රියගේ මේ ක්‍රියාව ද ඇය ගැන සැමරුමක් වශයෙන් කියනු ලැබේ ය”යි වදාළ සේක.
10. දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය.
11. ඔව්හු එපවත් අසා තුටුපහටු වී ඔහුට මුදල් දෙන්නට පොරොන්දු දුන්හ. එවිට ඔහු උන් වහන්සේ පාවා දෙන්න සුදුසු අවස්ථාවක් සෙවී ය.
12. පාස්කු බැටළු පෝතකයා පූජා කරනු ලබන, නුමුහුන් රොටි මංගල්‍යයේ පළමු වන දින උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, “පාස්කු භෝජනය වළඳන පිණිස අප ගොස් කොතැන පිළියෙළ කරනවාට ඔබ කැමැති සේක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ.
13. එවිට උන් වහන්සේ තම ශ්‍රාවකයන් දෙදෙනෙකු යවමින්, “නුවරට යන්න; ගිය විට, වතුර කළයක් ගෙන යන මිනිසෙක් ඔබට හමු වන්නේ ය; ඔහු පස්සේ යන්න.
14. ඔහු යම් ගෙදරකට ඇතුළු වන්නේ ද ඒ ගෙහිමියාට කතා කොට, ‘මාගේ ශ්‍රාවකයන් සමඟ පාස්කු භෝජනය වළඳන පිණිස මට වෙන් කළ කාමරය කොයි ද කියා සමිඳාණන් වහන්සේ අසන සේකැ’යි කියන්න.
15. එවිට සකස් කොට සූදානම් ව ඇති ලොකු උඩුමහල් කාමරයක් ඔහු ඔබට පෙන්වනු ඇත. එහි අපට පාස්කු භෝජනය පිළියෙළ කරන්නැ”යි ඔවුන්ට වදාළ සේක.
16. ශ්‍රාවකයෝ පිටත් ව නුවරට ගියහ. උන් වහන්සේ ඔවුන්ට කී ලෙස සියල්ල ම සම්බ විය; ඔව්හු ද පාස්කු භෝජනය පිළියෙළ කළහ.
17. සවස් වූ කල උන් වහන්සේ දොළොස් දෙනා කැටුව වැඩිය සේක.
18. ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.
19. ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ.
20. උන් වහන්සේ ද පිළිතුරු දෙමින්, “ඒ තැනැත්තා දොළොස් දෙනාගෙන් එක් කෙනෙක් ය; මා සමඟ එක පාත්‍රයෙහි අත ලන තැනැත්තේ ය.
21. ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන ලියා තිබෙන ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය; එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන යම් මිනිසෙක් වේ ද ඔහුට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නේ නම් වඩා හොඳ ය”යි වදාළ සේක.
22. ඔවුන් ආහාර වළඳමින් සිටිය දී උන් වහන්සේ රොටි ගෙන, ආශීර්වාදය පවසා, ඒවා කඩා ඔවුන්ට දී, “ගන්න, මේ මාගේ ශරීරය ය”යි වදාළ සේක.
23. උන් වහන්සේ කුසලානක් ද ගෙන, තුති පුදා, ඔවුන්ට දුන් සේක. සියල්ලෝම එයින් පානය කළහ.
24. තවද උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “මෙය බොහෝ දෙනා වෙනුවෙන් වගුරුවනු ලබන මාගේ ගිවිසුම්-රුධිරය වේ.
25. සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක.
26. ඔව්හු ගීතයක් ගයා ඔලීව කන්දට නික්ම ගියහ.