A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 5

නික්මයාම 21:1-36
1. “තවද, නුඹ පහත දක්වන නියෝග ද සෙනඟ ඉදිරියෙහි තැබිය යුතු ය.
2. නුඹ හෙබ්‍රෙව් ජාතික දාසයෙකු මිලයට ගත් විට, ඔහු අවුරුදු හයක් සේවය කොට, හත් වන අවුරුද්දේ දී කිසි වන්දි ගෙවීමක් නොමැති ව ඔහුට නිදහස් ව යන්නට ඉඩ දිය යුතු ය.
3. ඔහු තනියම පැමිණියේ නම්, ඔහු තනියම පිට වී යා යුතු ය. ඔහු විවාහ වී පැමිණියේ නම් ඔහුගේ බිරිඳ ද ඔහු සමඟ පිට වී යා යුතු ය.
4. ඔහුගේ ස්වාමියා ඔහුට භාර්යාවක පාවා දුන්නේ නම්, තවද ඈ ඔහුගෙන් දරුදැරියන් ලැබුවා නම්, භාර්යාවත්, ඇගේ දරුවනුත් ස්වාමියාට අයිති වනු ඇත. එබැවින් ඔහු තනියම පිට වී යා යුතු ය.
5. එහෙත්, දාසයා, ‘මම මාගේ ස්වාමියාට ද මාගේ භාර්යාවට ද මාගේ දරුවන්ට ද ප්‍රේම කරමි. මට නිදහස උවමනා නැතැ’යි කියා ප්‍රකාශ කරන්නේ නම්,
6. ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන් වහන්සේ වෙතට ගෙන යා යුතු ය. දොර හෝ උළුවහු කණුව හෝ ළඟට ඔහු ගෙන ගොස්, ස්වාමියා ඔහුගේ කන උල් කටුවකින් විද්ද යුතුයි. ඉන්පසු ඔහු සදහට ම ස්වාමියාට සේවය කළ යුතු වේ.
7. “යම් මිනිසෙකු දාසියක ලෙස තම දුව විකුණුවහොත් ඈ දාසයෙකු නිදහස ලබන පරිදි තම නිදහස නොලබන්නී ය.
8. භාර්යාවක වශයෙන් තමා පාවාගත් ස්වාමියාට ඈ ප්‍රිය මනාප නොවන්නී නම්, ඈ ආපසු මිල දී ගැනීමට අවසර දිය යුතු ය. එහෙත්, ඔහුට ඇය විදේශිකයෙකුට විකිණීමට බලයක් නොමැත. මන්ද, එසේ කිරීම ඇයට කරන අසාධාරණයක් බැවිනි.
9. ස්වාමියා ඇය තම පුතුට දෙන්න අදහස් කරන්නේ නම්, ඔහු තම දූවරුන්ට මෙන් ඇයට ද සංග්‍රහ කළ යුතු ය.
10. එහෙත්, ඔහු අන් භාර්යාවක පාවාගන්නේ නම්, පළමු භාර්යාවට දෙන ආහාර, වස්ත්‍ර, භාර්යාවක වශයෙන් ඈ කෙරෙහි ඇති යුතුකම්, අඩු නොකළ යුතුයි.
11. එහෙත්, ඔහු ඇයට මේ තුන් වැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිට වී යාමට අවසර දිය යුතු ය.”
12. “යමෙක් මිනිසෙකුට පහර දී ඔහු මරන්නේ නම් ඒ තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.
13. එහෙත්, මැරීමේ අදහසක් නැති ව හදිසි අනතුරකින් මරණය සිදු වී නම් ඒ තැනැත්තා පලා යා යුතු ස්ථානයක් මම නුඹට නියම කරමි.
14. එහෙත් යම් මිනිසෙක් ඕනෑකමින් තම අසල්වැසියා වෙත පැමිණ ඔහු ප්‍රයෝගයෙන් මරන්නේ නම්, ඒ තැනැත්තා මරාදමන පිණිස මාගේ පූජාසනය වෙතින් පවා ඔහු ගෙන යා හැකි ය.
15. “තම පියාට හෝ මවට හෝ පහර දෙන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.
16. මිනිසෙකු බලයෙන් පැහැරගෙන, විකුණන හෝ තමා ළඟ තබාගන්න හෝ තැනැත්තා මරනු ලැබිය යුතුම ය.
17. තම පියාට හෝ මවට හෝ සාප කරන තැනැත්තා මරනු ලැබිය යුතු ම ය.
18. මිනිසුන් දබර කොට ඔවුන්ගෙන් එකෙකු අනෙකාට ගලකින් හෝ අත මිට මොලවා හෝ පහර දුන් නමුත් ඔහු නොමැරී, ඇඳට වී සිට,
19. යළි නැඟිට, සැරයටියක වාරුවෙන් ගෙයින් පිටත ඇවිදින්නේ නම්, එවිට පහර දුන් තැනැත්තාට දඬුවම් නොදිය යුතු ය. එහෙත්, ඔහු අනිත් තැනැත්තාගේ වැඩ නැති කාලය සඳහා වන්දියක් ගෙවිය යුතු අතර, ඔහු සම්පූර්ණයෙන් ම සුව වන තුරු බලාගත යුතු ය.
20. “යමෙකු තම දාසයාට හෝ දාසියට හෝ කෝටුවකින් පහර දී එවැන්නෙක් එතැන ම මළේ නම්, ඒ තැනැත්තා දඬුවම් ලැබිය යුතු ම ය.
21. එහෙත්, එවැන්නෙක් ජීවත් වන්නේ දවසක් දෙකක් නම් එවිට ඔහුගේ ස්වාමියාට දඬුවම් කරනු නොලැබේ. මන්ද, ඔහු ඒ තැනැත්තා මිල දී ගත් හෙයිනි.
22. මිනිසුන් දබර කොට, ගැබ්ගත් ස්ත්‍රියකට පහර දී, ඈ ගබ්සා වූ නමුත් ඇයට අනතුරක් නුවූවත් ස්ත්‍රියගේ සැමියා ඉල්ලන ප්‍රකාර ඒ තැනැත්තාට දඬුවම් දිය යුතු ම ය. තවද, විනිසකරුවන්ගේ තීරණය පරිදි ඔහු වන්දි ද ගෙවිය යුතුයි.
23. එහෙත්, අනතුරක් වුවහොත් පණට පණ ද,
24. ඇසට ඇස ද, දතට දත ද, අතට අත ද, පයට පය ද,
25. දැවීමට දැවීම ද, තුවාළයට තුවාළය ද, පහරට පහර ද දිය යුතු ය.
26. “යමෙක් තම දාසයාගේ හෝ දාසියගේ හෝ ඇසට පහර දී එය අන්ධ කරන්නේ නම් නැති වූ ඇසට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.
27. යමෙකු තම දාසයාගේ හෝ දාසියගේ හෝ දත් ගැලවී යන්න ගැසුවහොත්, දතට වන්දියක් වශයෙන් ඒ අය නිදහස් කර හැරිය යුතු ය.”
28. “ගොනෙක් පුරුෂයෙකුට හෝ ස්ත්‍රියකට හෝ ඇන මරන්නේ නම්, ඒ ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ මස් ද නොකෑ යුතු ය. එහෙත්, ගොනා අයිතිකරුට දඬුවම් කරනු නොලැබේ.
29. එහෙත්, ගොනා කලින් පවා අනින්ට පුරුදු එකෙක් නම්, තවද ඒ බව උගේ අයිතිකරුට දන්වා තිබුණ නමුත් ඔහු ඌ කොටු කර නොතැබීම නිසා යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ මැරුවේ නම් ගොනාට ගල් ගසා මැරිය යුතු ය. උගේ අයිතිකරු ද මරනු ලැබිය යුතු ය.
30. එහෙත්, ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරාගැන්ම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතු ය.
31. ගොනා පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට හෝ ඇන මැරුවහොත් මේ නියමය අනුව ම එය ද විසඳනු ලැබිය යුතු ය.
32. ගොනා දාසයෙකුට හෝ දාසියකට හෝ ඇන මැරුවහොත්, ඌ අයිතිකරු ඔවුන්ගේ ස්වාමියාට රිදී කාසි තිහක් දිය යුතු අතර ගොනාට ද ගල් ගසා මරාදැමිය යුතු ය.
33. “යමෙක් වළක වැස්ම හැර තබන්නේ නම්, නොහොත් වළක් කැණ එය නොවසා තබන්නේ නම්, ගවයෙකු හෝ කොටළුවෙකු හෝ ඊට වැටුණොත්,
34. වළ අයිතිකරු අලාභය ගෙවමින් උන්ගේ අයිතිකරුට මුදල් දිය යුතු ය. එහෙත් මළ සතා ඔහුට අයිති වෙත්.
35. යමෙකුගේ ගොනෙකු වෙන අයෙකුගේ ගොනෙකුට ඇන මැරුවහොත්, පණ පිටින් සිටින ගොනා විකුණා ඒ මුදල ඔවුන් තමන් අතර බෙදාගත යුතු ය. මළ සතාගේ මස් ද බෙදාගත යුතු ය.
36. එහෙත්, කලින් පවා ඒ ගොනා අනින්න පුරුදු එකෙක් නම්, ඌ අයිතිකරු ගොනා කොටු නොකර තැබුවේ නම්, ඔහු වන්දි වශයෙන් ගොනා වෙනුවට ගොනෙකු දිය යුතුයි. එහෙත්, මළ සතා ඔහුට අයිති වේ.”

නික්මයාම 22:1-29
1. “යමෙක් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ සොරකම් කොට ඌ මරන්නේ ද නැත්නම් ඌ විකුණන්නේ ද එවිට ඔහු ගොනෙකු වෙනුවට ගොනුන් පස්දෙනෙකු බැගින් ද, බැටළුවෙකු වෙනුවට බැටළුවන් හතරදෙනෙකු බැගින් ද වන්දි ගෙවිය යුතු ය.
2. සොරාගත් සතා ඔහු ළඟ පණපිටින් ම සිට සම්බ වුණොත් ඌ ගොනෙක් වේ වා, කොටළුවෙක් වේ වා, බැටළුවෙක් වේ වා, ඔහු දෙගුණයක් ගෙවිය යුතු ය. ඔහු සම්පූර්ණ වන්දිය ම ගෙවිය යුතු වේ. එහෙත්, ඔහුට වත්කමක් නැත්නම් සොරකමේ වටිනාකම ගෙවීමට ඔහු විකුණනු ලැබිය යුතු ය. ගෙයක් බිඳින සොරෙකුට පහර දී ඔහු මළොත්, පහර දුන් තැනැත්තා වරදකරුවෙක් නොවේ. එහෙත්, ඉර උදා වූ පසු එය, කෙළේ නම් පහර දුන් තැනැත්තා වරදකරුවෙකි.
3. ***
4. ***
5. “යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම්, එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දී ඌ වෙන අයෙකුගේ කෙතක කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම් කොටසින් අලාභය ගෙවිය යුතු ය.
6. “ගින්නක් හටගෙන, කටු පඳුරුවලට ඇවිළී ගොයම් කොළ හෝ නොකැපු ගොයම හෝ කුඹුර හෝ එයින් දැවී ගියහොත් ගින්න ගැන වගකිවයුතු තැනැත්තා සම්පූර්ණ අලාභය ගෙවිය යුතු ය.
7. “යමෙකු මුදල් හෝ බඩු හෝ ප්‍රවේසම පිණිස වෙන කෙනෙකුට බාර දී, ඔහුගේ ගෙයින් ඒවා සොරකම් කරනු ලැබ සොරා අසු වුවහොත් ඔහු දෙගුණයක් අලාභය ගෙවිය යුතුයි.
8. සොරා අසු නුවුවහොත්, ගෙහිමියා තම අසල්වැසියාගේ බඩුවලට අත නොගැසූ බවට දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවුරුම් දිය යුතු ය.
9. “විශ්වාසය කඩ කිරීමක දී එය ගොනෙකු ගැන හෝ කොටළුවෙකු ගැන හෝ බැටළුවෙකු ගැන හෝ වස්ත්‍ර ගැන හෝ නැති වූ වෙනත් යමක් ගැන හෝ වේ වා, වෙන අයෙක් එය ‘මගේ ය’යි කියා ගනී නම් දෙපක්ෂයේ නඩුව දෙවියන් වහන්සේ වෙත ගෙන යා යුතු ය. උන් වහන්සේ වරදකරු කියා තීරණය කරන තැනැත්තා අනිත් පක්ෂයට දෙගුණයක් ගෙවිය යුතු ය.
10. “යමෙකු අන් කෙනෙකුට කොටළුවෙකු හෝ ගොනෙකු හෝ බැටළුවෙකු හෝ වෙනත් මෘගයෙකු හෝ ප්‍රවේසම පිණිස බාර දුන් පසු, ඌ මැරුණොත්, නැත්නම් ඌට තුවාළයක් වුණොත්, එසේත් නැත්නම් කිසිවෙකුට නොපෙනී ඌ සොරා ගනු ලැබුවහොත්,
11. ඔහු තම අසල්වැසියාගේ දේපළ සොරා නොගත් බවට සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි කරන දිවුරුමකින් දෙදෙනා අතර එය තීරණය කරගත යුතුයි. දේපළ හිමිකරු පාඩුව විඳදරාගත යුතු අතර අසල්වැසියා ඊට අලාභය නොගෙවිය යුතු ය.
12. එහෙත්, ඔහුගේ මෘගයා සොරකම් කරනු ලැබුවේ නම් ඔහු අසල්වැසියාට අලාභය ගෙවිය යුතුයි.
13. ඌ වන මෘගයන් විසින් කැබලි කොට ඉරාදමනු ලැබුවේ නම් සාක්ෂි පිණිස මළ සතාගේ ඉතිරි කොටස් ගෙනා යුතුයි. එවිට කැබලි කළ මෘගයාගේ අලාභය ඔහු නොගෙවන්නේ ය.
14. “යමෙකු අන් කෙනෙකුගෙන් මෘගයකු ඉල්ලාගෙන අයිතිකාරයා ඌ ළඟ නොසිටිය දී ඌට තුවාළ වුණොත් නැත්නම් ඌ මැරුණොත් ඔහු අලාභය ගෙවිය යුතු ම ය.
15. එහෙත්, මෘගයාගේ අයිතිකරු ළඟ සිටියේ නම් ඔහු අලාභය නොගෙවිය යුතු ය. ඌ කුලියට ගත් මෘගයෙකු නම් ඔහු කුලී මිල ගෙවිය යුතු ය.
16. “යමෙකු විවාහ ගිවිසුමක් කර නැති කන්‍යාවක පොළඹවා ඈ සමඟ සයනය කළොත් ඔහු දෑවැද්ද දී ඈ සමඟ විවාහ විය යුතු ය.
17. එහෙත්, ඇයගේ පියා ඔහුට ඇය විවාහ කර දීමට කොහෙත් ම කැමැති නැත්නම් ඔහු කන්‍යාවකට දිය යුතු මුදලට සම මුදලක් ගෙවිය යුතුයි.
18. “කොඩිවිනකාර ස්ත්‍රියකට ජීවත් වීමට ඉඩ නොදිය යුතු ය.
19. “මෘගයෙකු සමඟ මෛථූනයෙහි යෙදෙන්නා මරණයට පත් කළ යුතු ම ය.
20. “සමිඳාණන් වහන්සේ හැර අන් දෙවිවරුන්ට පුද පූජා කරන තැනැත්තා මරණයට පත් කළ යුතු ය.
21. “නුඹලා විදේශිකයෙකුට අයුත්තක් වත් හිරිහැරයක් වත් නොකළ යුතු ය. මන්ද, නුඹලා මිසර දේශයෙහි විදේශිකයන් ව සිටි හෙයිනි.
22. නුඹලා කණවැන්දුම් ස්ත්‍රියකට වත්, අනාථ දරුවෙකුට වත් හිරිහැර නොකළ යුතු ය.
23. නුඹලා ඔවුන්ට හිරිහැර කොට ඔවුන් මට මොරගැසුවොත් මම සැබැවින් ම ඔවුන්ගේ මොරගැසීමට සවන් දෙමි.
24. එවිට මගේ උදහස ඇවිළී, මම කඩුවෙන් නුඹලා නසන්නෙමි. නුඹලාගේ භාර්යාවෝ කණවැන්දුම් ස්ත්‍රීහු ද, නුඹලාගේ දරුවෝ අනාථ දරුවෝ ද වන්නෝ ය.
25. “නුඹලා මගේ සෙනඟ අතර සිටින දිළින්දෙකුට මුදල් ණයට දුන්නොත්, පොළියට මුදල් දෙන අය මෙන් නොහැසිරිය යුතු ය. නුඹලා බලයෙන් පොළියක් ද නොගත යුතු ය.
26. නුඹ උගසක් මෙන් යමෙකුගේ වස්ත්‍රය ගන්නෙහි නම් ඉර බැස යාමට පෙර එය ඔහුට ආපසු දිය යුතු ය.
27. මන්ද, ඔහුට ඇත්තේ ඒ පොරෝණය පමණක් බැවිනි. ඔහු තමාගේ ඇඟට පොරොවාගන්නේ ඒ වස්ත්‍රය වේ. නැත්නම් ඔහුට නිදාගන්න ඇත්තේ කුමක් ද? ඔහු මට මොරගසන විට මා අනුකම්පා සහගත බැවින් ඔහුට සවන් දෙමි.
28. “නුඹ, නුඹලාගේ දෙවියන් වහන්සේට පරිභව නොකළ යුතු ය. නුඹලා සෙනඟගේ අධිපතියෙකුට ද සාප නොකළ යුතු ය.
29. “නුඹ, ධාන්‍යවලින් ද මිදිරසින් ද මට දිය යුතු පඬුරු පුද කිරීමට පමා නොවිය යුතු ය. නුඹලාගේ පුතුන් අතර කුලුඳුලා මට දිය යුතු වේ.

ගීතාවලිය 18:45-50
45. විදේශීහු මට අවනත වන්නෝ ය; සිය බලකොටුවලින් වෙවුල වෙවුලා පිටතට එන්නෝ ය.
46. සමිඳාණෝ සැරදෙත් වා! මාගේ ප්‍රාකාරය වන එතුමන්ට පැසසුම් වේ වා! මාගේ විමුක්තිදායකයාණෝ අන් හැමට පරමෝත්තම වන සේක.
47. එතුමාණෝ වනාහි මා වෙනුවෙන් පළිගන්න, ජාතීන් මට යටත් කර දෙන දෙවිඳාණෝ ය.
48. එතුමාණෝ මාගේ සතුරන්ගෙන් මා මුදන සේක; මට විරුද්ධ ව නැඟිටිනවුන්ට ඉහළින් ඔබ මා පිහිටුවන සේක. ප්‍රචණ්ඩකාරීන්ගෙන් මා මුදන සේක.
49. එබැවින් සමිඳුනි, මම විජාතීන් අතර ඔබට පැසසුම් පුදමි; ඔබේ නමට තුති ගී ගයන්නෙමි.
50. එතුමාණෝ සිය රජුට ජය සිරි දෙන සේක; තමන් අතින් අබිසෙස් ලත් දාවිත් රජුට ද ඔහුගේ වංශයට ද සදහට ම කරුණා කරන සේක.

හිතෝපදේශ 6:26-29
26. වෙසඟනක පතන්නේ පාන් ගෙඩියක මිල පමණකි; පර අඹුවක සොයන්නේ මුළු ජීවිතයකි.
27. ගිනිදැල් තුරුලු කර ගතහොත්, මිනිසෙකුගේ ඇඳුම් නොපිළිස්සේ ද?
28. ගිනි අඟුරු මත ඇවිද්දොත්, ඔහුගේ දෙපා නොදැවේ ද?
29. සිය අසල්වැසියාගේ බිරිඳ වෙත එළඹෙන අයට එසේ වේ. ඇයට අත තබන කිසිවෙක් දඬුවම් නොලැබ නොසිටියි.

ශුද්ධවර මතෙව් 23:1-22
1. එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක:
2. “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
3. එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.
4. ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.
5. ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.
6. මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද,
7. වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
8. එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
9. මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10. ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
11. එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.
12. තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.
13. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.
14. විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයෙනි ඔබට වන විපතක මහත! මන්ද, ඔබ බොරු පෙනුමට දිගින් දිගට යාච්ඤා කරතත්, ඔබ වැන්දඹුවන්ගේ ගේදොර කාදමති. ඔබට ඉතා බරපතල දඬුවමක් ලැබෙනු ඇත.
15. “විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, එක් කෙනෙකු ආගමට හරවා ගන්න පිණිස ඔබ මුහුදෙන් හා ගොඩින් හැම තැන ම ගමන් කරන්නහු ය. එසේ හරවාගත් පසු, ඔහු ඔබ මෙන් තව දෙගුණයක් නිරාදුකට සුදුස්සෙකු කරන්නහු ය.
16. “අන්ධ මාර්ගෝපදේශකයෙනි, ඔබට වන විපතක මහත! මන්ද, ‘යමෙකු දේව මාලිගාවේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙකු දේව මාලිගාවේ රන්වල නාමයෙන් දිවුළොත්, ඒ දිවුරුමෙන් ඔහු බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.
17. අන්ධ අඥානයෙනි, වඩා උතුම් කොයි එක ද? රන් ද? රන් විශුද්ධ කළ දේව මාලිගාව ද?
18. තවද, යමෙකු පූජාසනයේ නාමයෙන් දිවුළොත් එහි කිසි වරදක් නැත කියා ද, යමෙක් ඒ පිට තිබෙන පඬුරුවල නාමයෙන් දිවුළොත් ඔහු ඒ දිවුරුමෙන් බැඳී සිටි’යි කියා ද ඔබ කියන්නහු ය.
19. අන්ධයෙනි, වඩා උතුම් කොයි එක ද? පඬුරු ද, පඬුර විශුද්ධ කරන පූජාසනය ද?
20. එබැවින් පූජාසනයේ නාමයෙන් දිවුරන තැනැත්තේ එහි හා ඒ පිට තිබෙන සියල්ලේ නාමයෙන් දිවුරන්නේ ය,
21. දේව මාලිගාවේ නාමයෙන් දිවුරන්නා එහි ද, එහි වැඩ වසන තැනැන් වහන්සේගේ ද නාමයෙන් දිවුරන්නේ ය.
22. ස්වර්ගයේ නාමයෙන් දිවුරන්නා ද දෙවියන් වහන්සේගේත්, සිංහාසනයේත් නාමයෙන් හා එහි වැඩ හිඳින තැනැන් වහන්සේගේ නාමයෙන් දිවුරන්නේ ය.