A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 26

ලෙවී ව්‍යවස්ථාව 21:1-24
1. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා, ආරොන්ගේ පුත්‍රයන් වන පූජකවරුන්ට කතා කොට මෙසේ කියන ලෙස වදාළ සේක: “පහත දක්වන අවස්ථාවල හැර කිසි ම පූජකයෙකු තම සෙනඟගේ මළසිරුරක් සමීපයට යාමෙන්, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර නොවිය යුතු ය.
2. එහෙත්, ඔහුගේ නෑයන් වන තම මවගේ හා පියාගේ ද තම පුතාගේ හා දුවගේ ද තම සහෝදරයාගේ ද
3. අවිවාහක කන්‍යාවක වන තම සොහොයුරීගේ ද අවමංගල්‍යයන්ට ඔහුට සහභාගි විය හැක.
4. එහෙත්, විවාහක සොහොයුරියකගේ අවමංගල්‍යයකට සහභාගි වී ඔහු අපවිත්‍ර නොවිය යුතු ය.
5. “කිසි ම පූජකයෙකු තම හිස මුඩු කොට නොගත යුතු ය. තම රැවුලේ අගිස් කපා නොදැමිය යුතු ය. තමාගේ ශරීරයේ කැපීමක් කර නොගත යුතු ය.
6. ඔවුන් දෙවියන් වහන්සේට කැප වී සිටිය යුතු ය. ඔවුන්ගේ දෙවියන් වහන්සේගේ නාමයට අපහාස නොකළ යුතු ය. දෙවියන් වහන්සේගේ භෝජනය වන, සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජා ද ඔවුන් ඔප්පු කළ යුතු ය. එබැවින් ඔවුන් ශුද්ධ ව සිටිය යුතු ය.
7. ඔහු වෙසඟනක හෝ කන්‍යාවක නොවන ස්ත්‍රියක හෝ සැමියා විසින් දික්කසාද කරන ලද ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තම දෙවියන් වහන්සේට කැප වූ කෙනෙකි.
8. පූජකවරයා දෙවියන් වහන්සේට රොටි පුදන බැවින් එවැන්නෙකු සමිඳාණන් වහන්සේට කැප කරනු ලැබිය යුතු ය. ඔහු නුඹට ශුද්ධ කෙනෙකු විය යුතු ය. මන්ද, ඔබව කැප කරන සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ කෙනෙකු වන බැවිනි.
9. යම් පූජකයෙකුගේ දුවක වෙසඟනක මෙන් හැසුරුණොත්, ඈ තම පියාට නින්දා කරයි. ඈ ගින්නෙන් පුළුස්සා මැරිය යුතු ය.
10. “හිස මත ආලේප තෛලය වත් කරනු ලැබ, පූජක වස්ත්‍ර ලාගැනීම සඳහා පූජකවරය ලත් පූජකයන් අතර සිටින නායක පූජකයා තම හිසකෙස් අවුල් කරනොගත යුතු ය. තම වස්ත්‍ර ඉරා නොගත යුතු ය.
11. ඔහු කිසි මළසිරුරක් ළඟට නොයා යුතු ය. තම පියාගේ වත්, මවගේ වත් අවමංගල්‍යයට ගොස් අපවිත්‍ර නොවිය යුතු ය.
12. තවද, ඔහු ශුද්ධස්ථානයෙන් පිට වී යාමෙන්, දේව ශුද්ධස්ථානයට නින්දා නොකළ යුතු ය. පූජකවරයේ දී ලත් දෙවියන් වහන්සේගේ ආලේප තෛලය ඔහු මත ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
13. පූජකයෙකු විවාහ විය යුතු කන්‍යාවක සමඟ ය.
14. ඔහු වැන්දඹුවක හෝ දික්කසාද ස්ත්‍රියක හෝ දූෂණ වූ තැනැත්තියක හෝ වෙසඟනක ව සිටි ස්ත්‍රියක හෝ සරණ පාවා නොගත යුතු ය. ඔහු තමාගේ ම ඥාතීන් අතරෙන් කන්‍යාවක සරණ පාවාගත යුතු ය.
15. මෙලෙස තම සෙනඟ අතර ඔහුගේ දරු පරපුර අපවිත්‍ර නොවනු ඇත. මම ඔහු විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.”
16. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
17. ආරොන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “පූජක පරපුරෙන් පැවතෙන කිසිවෙකුට ශාරීරික කැළලක් තිබේ නම්, එවැන්නෙකු දෙවියන් වහන්සේට රොටි පූජා කිරීමට ළඟා නොවිය යුතු ය.
18. කැළලක් තිබෙන කෙනෙකු හෝ අන්ධයෙකු හෝ කොරෙකු හෝ මුක්කමෙකු හෝ අංග විකලයෙකු හෝ
19. අත පය කැඩුණු කෙනෙකු හෝ
20. කුදෙකු හෝ කුරු අයෙකු හෝ ඇස් රෝගයක් ඇති අයෙකු හෝ චර්ම රෝග ඇති අයෙකු හෝ දද ඇති අයෙකු හෝ තැළුණු අණ්ඩ ඇති අයෙකු හෝ පූජා කිරීමට ළං නොවිය යුතු ය.
21. පූජක ආරොන්ගේ පෙළපතින් පැවතෙන, කැළලක් ඇති කිසිවෙකු සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පඬුරු ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. ඔහු තමාගේ දෙවියන් වහන්සේට භෝජනය ඔප්පු කිරීමට ළඟා නොවිය යුතු ය. මන්ද, එවැන්නෙකුට කැළලක් ඇති බැවිනි.
22. එහෙත්, එවැන්නෙකුට අතිශුද්ධ ද ශුද්ධ ද වන දේවලින් තම දෙවියන් වහන්සේට පුදන රොටි වැළඳිය හැක.
23. ඔහුට කැළලක් ඇති බැවින් ඔහු නොකළ යුත්තේ, තිරය කිට්ටුවට යෑම හෝ පූජාසනයකට ළඟා වීම හෝ පමණකි. ඔහු මාගේ ශුද්ධස්ථානය අපවිත්‍ර නොකළ යුතු ය. මන්ද, මම ඒවා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ වෙමි.”
24. මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට ද මුළු ඉශ්රායෙල් ජනයාට ද එපවත් කී ය.

ලෙවී ව්‍යවස්ථාව 22:1-33
1. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
2. ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට මෙසේ කියන ලෙස වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා මට පුදන පූජාවලින් මාගේ ශුද්ධ නාමයට නින්දා නොවන ලෙස ඔවුන්ගේ ඒ ශුද්ධ පූජා ගෞරවයෙන් සැලකිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි. ඔවුන්ට මෙසේ කියන්න:
3. නුඹේ පරපුරෙන් පැවතෙන කිසිවෙකු, තමා අපවිත්‍ර යයි සැලකෙන විට ඉශ්රායෙල් ජනයා මට පුදන ශුද්ධ පූජා සමීපයට ගියොත් ඔහු මා ඉදිරියෙන් නෙරපාදැමිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
4. “ආරොන්ගේ පෙළපතින් පැවතෙන යමෙකුට බෝවෙන චර්ම රෝගය හෝ ධාතු මෝචනය හෝ තිබේ නම්, ඔහු පවිත්‍ර වන තෙක් ශුද්ධ පූජාවලින් නොවැළඳිය යුතු ය.
5. මළසිරුරක් නිසා අපවිත්‍ර වූ යමක් ස්පර්ශ කරන කෙනෙක් හෝ ධාතු මෝචනය ඇති කෙනෙක් හෝ අපවිත්‍ර බඩගා යන සතෙකු වත්, යම් කිසි අපවිත්‍රකමක් ඇති මිනිසෙකු වත් ස්පර්ශ කරන කෙනෙක් හෝ අපවිත්‍ර වන්නේ ය.
6. මෙසේ ස්පර්ශ කිරීමෙන් අපවිත්‍ර වූ පූජකයෙකු සවස දක්වා අපවිත්‍ර යයි සැලකේ. ඔහු ජලස්නානය කරන්නට පෙර ශුද්ධ පූජාවලින් කිසිවක් නොවැළඳිය යුතු ය.
7. ඉර බැස ගිය පසු ඔහු පවිත්‍ර වනු ඇත. ඉන්පසු ඔහුගේ ආහාර වන පූජා ඔහුට වැළඳිය හැක.
8. ඉබේ ම මැරුණු හෝ වන මෘගයෙකු විසින් මරන ලද හෝ සතෙකුගේ මස් ඔහු නොවැළඳිය යුතු ය. එවැන්නකින් ඔහු අපවිත්‍ර වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.
9. “එබැවින් පූජකවරුන් සියලු දෙන මාගේ නියෝග පිළිපැදිය යුතු ය. ඔවුන් ඒවා කඩ කළොත්, ඒවා ගැන වරදකරුවන් වන බැවින් ඔවුන් මරණයට පත් කළ යුතු ය. ඔවුන් කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
10. “පූජකයෙකු නොවන්නෙකු ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය. ඒ තැනැත්තා පූජකවරයා සමඟ වසන ආගන්තුකයෙක් වේවා, කුලියට ගත් දාසයෙක් වේවා, මෙවැන්නෙකු එවැනි ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.
11. එහෙත්, පූජකවරයා මිල දී ගත් වහල් අයට හෝ ඔහුගේ ගෘහයේ උපන් අයට හෝ ඔහුගේ ආහාර අනුභව කළ හැක.
12. පූජකවරයාගේ දුවක් පූජකයෙකු නොවන කෙනෙකුට විවාහ වී සිටී නම්, ඈ ද පුදන ශුද්ධ පඬුරු අනුභව නොකළ යුතු ය.
13. එහෙත්, ඔහුගේ දුව වැන්දඹුවක් නම්, දික්කසාද වී දරුවෙකු ද නොලබා, පියාගෙන් නඩත්තු වීමට ඔහුගේ ගෘහයට ආපසු ගියා නම්, ඈට ද පියාගේ ආහාර අනුභව කළ හැක. එහෙත්, පූජක පවුලට අයිති නොවන කෙනෙක් නම් එවැනි ආහාර අනුභව නොකළ යුතු ය.
14. “පූජක පවුලට අයිති නොවන යමෙකු නොදැනුවත් ව ශුද්ධ දෙයින් අනුභව කළහොත්, ඊට අමතර ව තව පහෙන් කොටසක් එකතු කොට එය පූජකවරයාට දිය යුතු ය.
15. මෙලෙස ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන ශුද්ධ පඬුරු අපවිත්‍ර නොකළ යුතු ය.
16. අවසර නොලත් අයට ඒ ශුද්ධ පඬුරු අනුභව කිරීමට ඉඩ දීමෙන්, ඒ අය දඬුවම් ලැබීමට සුදුසු වරදකරුවන් වනු ඇත. ඒවා කැප කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.”
17. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා
18. ආරොන්ටත්, ඔහුගේ පුතුන්ටත්, මුළු ඉශ්රායෙල් ජනයාටත් කියන ලෙස මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් ජනයා අතර යමෙක් වේවා, ඔවුන් අතර වසන විදේශිකයෙක් වේවා, තමන්ගේ බාර හාර ඉටු කරන පිණිස ද ස්වේච්ඡා පූජාවක් සඳහා ද දවන යාග පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ නම්,
19. ඒ සතා ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ එළුවන්ගෙන් හෝ තෝරාගන්නා ලද කැළලක් නැති පිරිමි සතෙකු විය යුතු ය.
20. යම් කිසි කැළලක් ඇති සතෙකු ඔප්පු නොකළ යුතු ය. එසේ කළොත්, එය බාරගනු නොලැබේ.
21. යමෙකු බාරයක් ඉටු කිරීමට හෝ ස්වේච්ඡා පූජාවක් සඳහා හෝ ගවයන්ගෙන් හෝ බැටළුවන්ගෙන් හෝ සතෙකු සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, එය පිළිගනු ලබන්නේ ඒ සතා කැළැල් රහිත අංග සම්පූර්ණ එකෙක් වේ නම් පමණ ය.
22. ඇස් නොපෙනෙන හෝ අවයව කැඩුණු හෝ අබ්බාගාත වූ හෝ වණ පිළිකා හා දද ඇති හෝ සතෙකු පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් කොට ඔප්පු නොකළ යුතු ය.
23. එහෙත්, ස්වේච්ඡා පූජාවක් ලෙස අසාමාන්‍ය අවයවයක් ඇති ගොනෙකු හෝ බැටළුවෙකු පුද කළ හැකි ය. බාරයක් ඉටු කිරීම සඳහා නම් එවැන්නක් පිළිගනු නොලැබේ.
24. තුවාළ වුණු හෝ තැළුණු හෝ කැඩුණු හෝ කැපූ හෝ අණ්ඩ ඇති සතෙකු සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. මෙවැන්නක් කිරීමට නුඹේ රටේ අවසර නොදෙනු ඇත.
25. “මෙවැනි සතෙකු නුඹ විදේශිකයෙකුගේ අතින් වත් ගෙන, ආහාර පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට ඔප්පු නොකළ යුතු ය. එවැනි ශාරීරික දෝෂ, කැළැල් වන බැවින් නුඹ උදෙසා උන් නොපිළිගනු ලැබේ.”
26. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:
27. “වහු පැටියෙකු හෝ බැටළු පැටියෙකු හෝ එළු පැටියෙකු හෝ උපන් විට, දවස් හතක් යන තෙක් ඌ උගේ මවගෙන් ඉවතට නොගත යුතු ය. අට වන දින පටන් සමිඳාණන් වහන්සේට ගින්නෙන් දවා පුදන පූජාවක් ලෙස ඌ පිළිගනු ඇත.
28. එළදෙනක සමඟ උගේ වස්සා ද බැටළු දෙනක සමඟ උගේ පැටියා ද එක දින ම නොමැරිය යුතු ය.
29. නුඹ සමිඳාණන් වහන්සේට ස්තුති දීමේ පූජාවක් පුද කරන කල එය පිළිගත හැකි වන පරිදි ඉටු කළ යුතු ය.
30. එය පුද කරන දවසේ ම එය අනුභව කළ යුතු ය. පසු දින වන තෙක් ඉන් කිසිවක් ඉතිරි නොකළ යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
31. “නුඹලා මාගේ ආඥා රකිමින් ඒවා පිළිපැදිය යුතු ය. මම සමිඳාණන් වහන්සේ වෙමි.
32. නුඹලා මාගේ ශුද්ධ නාමයට අපහාස නොකළ යුතු ය. මුළු ඉශ්රායෙල් ජනයා මා විශුද්ධ ලෙස සැලකිය යුතු ය. නුඹලා විශුද්ධ කරන සමිඳාණන් වහන්සේ මම වෙමි.
33. නුඹලාගේ දෙවියන් වහන්සේ වන පිණිස මම මිසර දේශයෙන් නුඹලා පිටතට ගෙනාවෙමි. මම සමිඳාණන් වහන්සේ ය.”

ගීතාවලිය 27:11-14
11. සමිඳුනි, ඔබේ දහම් මඟ මට ඉගැන්නුව මැනව; මාගේ සතුරන් නිසා උවදුරු රහිත මඟක මා ගෙන ගිය මැනව.
12. මාගේ එදිරිකරුවන්ගේ අභිප්‍රායවලට මා පාවා නුදුන මැනව. බොරු සාක්ෂිකාරයෝ ද කෲර ලෙස තර්ජන කරන්නෝ ද මට විරුද්ධ ව නැඟී සිටිති.
13. “ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
14. සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.

හිතෝපදේශ 10:13-16
13. නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි.
14. නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.
15. ධනවතාගේ ධනසම්පත ඔහුට බලකොටුවකි; දිළින්දාගේ දිළිඳුකම ඔහුට විනාශයකි.
16. දමිටුන්ගේ විපාකය ජීවනය වේ; අදමිටුන්ගේ විපාකය විනාශය වේ.

ශුද්ධවර මාක් 5:21-43
21. ජේසුස් වහන්සේ යළිත් ඔරුවෙන් එතෙර වූ කල මහා ජනකායක් උන් වහන්සේ වෙත රැස් වූ හ. උන් වහන්සේ ද මුහුදු වෙරළෙහි වැඩසිටි සේක.
22. එකල ධර්මශාලා ප්‍රධානීන් අතුරෙන් යායිරස් නමැත්තෙක් අවුත්, උන් වහන්සේ දැක, පාමුල වැටී,
23. “මගේ පුංචි දුව මරණාසන්න ව සිටියි. ඈ සුවය ලබා ජීවත් වන පිණිස, ඔබ අවුත් ඈ පිට අත තැබුව මැනවැ”යි උන් වහන්සේට ආයාචනා කෙළේ ය.
24. උන් වහන්සේ ඔහු සමඟ වැඩිය සේක. මහත් සමූහයක් උන් වහන්සේ තෙරපමින් උන් වහන්සේ පිරිවරා ගියහ.
25. දොළොස් වසරක් ම මහා ලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක් එහි වූවා ය.
26. ඈ බොහෝ වෙදුන් අතින් අපමණ දුක් විඳ, තමා සතු සියල්ල වියදම් කොටත්, කිසි ගුණයක් නොලැබුවා ය. එපමණක් නොව ඇගේ තත්ත්වය අනුක්‍රමයෙන් වඩ වඩාත් උග්‍ර විය.
27. ඈ ජේසුස් වහන්සේ ගැන අසා, සමූහයා අතර පිටුපසින් ඇවිත්, උන් වහන්සේගේ වස්ත්‍රයට අත තැබුවා ය.
28. උන් වහන්සේගේ වස්ත්‍රවලට පමණ වත් අත තැබුවොත්, තමාට සුවය ලැබෙනු ඇතැ යි ඈ සිතුවා ය.
29. එකෙණෙහි ම ලේ ධාරාව නැවතී ඒ පීඩාවෙන් ඈට සුවය ලැබුණු බව ඇගේ ම ඇඟට දැනිණි.
30. එවේලේ ම ජේසුස් වහන්සේ තමන් කෙරෙන් අනුහස නික්ම ගිය බව දැන, සමූහයා මැද හැරී, “මාගේ වස්ත්‍රවලට අත තැබුවේ කවරෙක් දැ”යි ඇසූ සේක.
31. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ උත්තර දෙමින්, “සමූහයා ඔබට තෙරපි තෙරපී සිටිනු දැක දැකත්, මට අත ගැසුවේ කවරෙක් ද කියා අසන සේක් දැ”යි කී හ.
32. ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක.
33. එහෙත් ස්ත්‍රිය සිදු වූ දේ දැක බිය වී, වෙවුළ වෙවුළා අවුත්, උන් වහන්සේ ඉදිරියෙහි වැඳ වැටී, මුළු ඇත්ත උන් වහන්සේට කීවා ය.
34. උන් වහන්සේ කතා කරමින්, “දියණියනි, ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කෙළේ ය; ශාන්ත සිතින් යන්න; ඔබේ පීඩාවෙන් මිදී වසන්නැ”යි ඈට වදාළ සේක.
35. උන් වහන්සේ මෙවදන් පවසත්ම ධර්මශාලා නායකයාගේ ගෙදරින් සමහරු අවුත්, “ඔබේ දුව මළා ය. ඉතින් ගුරුදේවයන් තවත් වෙහෙසන්නේ කුමට දැ”යි කී හ.
36. එහෙත්, ජේසුස් වහන්සේ ඒ කීම නොසලකා ධර්මශාලා නායකයාට කතා කොට, “බිය නොවන්න, ඇදහිල්ල ඇති ව සිටින්නැ”යි වදාළ සේක.
37. උන් වහන්සේ පේදුරු ද ජාකොබ් ද ජාකොබ්ගේ සහෝදර වූ ජොහන් ද හැර අන් කිසිවෙකුට තමන් සමඟ එන්න ඉඩ නුදුන් සේක.
38. ඔව්හු ධර්මශාලා නායකයාගේ නිවෙසට පැමිණියෝ ය. එවිට උන් වහන්සේ කලබලයක් ද විලාප හා ළතෝනි නඟන්නන් ද දැක,
39. ගෙට පිවිස, “ඔබ කලබල වන්නේත්, විලාප කියන්නේත් මන් ද? දැරිය මැරී නැත; ඈ නිදන්නී ය”යි ඔවුන්ට වදාළ සේක.
40. එවිට ඔව්හු උන් වහන්සේට සරදම් කළහ. එහෙත්, උන් වහන්සේ සියල්ලන් බැහැර කොට, දරුවාගේ පියා ද මව ද තමන් සමඟ සිටියවුන් ද කැඳවාගෙන දරුවා හුන් තැනට ගොස්
41. ඇය අතින් අල්ලා, “තලිතාකුම්”යි ඈට වදාළ සේක. එහි අර්ථය: “දැරිය, මම ඔබට කියමි, නැඟිටින්න” යනු ය.
42. දොළොස් හැවිරිදි ඒ දැරිය, එකෙණෙහි ම නැඟිට ඇවිද්දා ය. ඔව්හු ද ඉමහත් විස්මයකින් භ්‍රාන්ත වූ හ.
43. මෙය කිසිවෙකුට නොදන්වන ලෙස ඔවුන්ට තදින් අණ දී, උන් වහන්සේ ඈට කෑමට යමක් දෙන්න නියම කළ සේක.