A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 19

ලෙවී ව්‍යවස්ථාව 9:1-24
1. අට වන දින මෝසෙස්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ද ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද කැඳවී ය.
2. ඔහු ආරොන්ට කතා කොට, “පාප පූජාවක් සඳහා නොකැළැල් ගොන් වස්සෙකු ද දවන යාග පූජාවක් සඳහා නොකැළැල් බැටළුවෙකු ද ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කරන්න.
3. තවද, ඔබ ඉශ්රායෙල් ජනයාට කතා කොට, ‘පාප පූජාවක් සඳහා නොකැළැල් එළුවෙකු ද දවන යාග පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති නොකැළැල් වස්සෙකු හා බැටළුවෙකු ද
4. සහභාගිකමේ පූජාවක් සඳහා ගවයෙකු හා බැටළුවෙකු ද ගන්න. මේ සියල්ල ම තෙල් මිශ්‍ර ධාන්‍ය පූජාවක් සමඟ සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය’යි කියන්න. ඒ මන්ද, අද සමිඳාණන් වහන්සේ ඔබ හැමට දර්ශනය වන සේකැ”යි කීවේ ය.
5. මෝසෙස් අණ කළ දේ ඔව්හු සම්මුඛ මණ්ඩපය ඉදිරිපිටට ගෙනා හ. මුළු ජනතාව ම ළං වී සමිඳාණන් වහන්සේ ඉදිරිපිට සිටගත්හ.
6. එවිට මෝසෙස් කතා කොට, “සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔබ ඉදිරියෙහි දර්ශනය වන පිණිස කරන්නට උන් වහන්සේ ඔබට අණ කළ දේ මේ ය”යි කී ය.
7. ඉන්පසු ඔහු ආරොන් අමතා, “පූජාසනයට ළඟා වී, ඔබ උදෙසා ද සෙනඟ උදෙසා ද පව් කමාව අයැදිමින් ඔබේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදන්න. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි සෙනඟගේ පූජා පුදා ඔවුන් උදෙසා පව් කමාව අයැදින්නැ”යි කීවේ ය.
8. ආරොන් ද එවිට පූජාසනයට ළඟා වී තමාගේ පාප උදෙසා පාප පූජාවේ වස්සා මැරී ය.
9. ආරොන්ගේ පුත්‍රයන් ද වස්සාගේ ලෙය ඔහු වෙත ගෙනා විට, ඔහු එහි තම ඇඟිල්ල ගල්වා පූජාසනයේ අං පිට තවරා, ඉතිරි ලෙය පූජාසනයේ පාමුල වත් කෙළේ ය.
10. එහෙත්, පාප පූජාවට පිදූ සතාගේ තෙල ද වකුගඩු ද අක්මාව මත තිබූ සිවිය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු පූජාසනය මත දැවී ය.
11. එහෙත්, වස්සාගේ මාංසය සහ හම කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.
12. ඉන්පසු ආරොන් දවන යාග පූජාවේ සතා ද මැරූ විට, ඔහුගේ පුත්‍රයන් ඔහුට උගේ ලේ දුන් පසු, ඔහු ද පූජාසනය වටා හාත්පසින් එය ඉස්සේ ය.
13. එවිට ඔවුන් දවන යාග පූජාව හිසත් ඇතුළු ව කොටස් වශයෙන් දුන් කල, ඔහු ඒවා පූජාසනය මත දැවී ය.
14. ඉන්පසු ඔහු ඒ සතාගේ අතුණු සහ කකුල් සෝදා පූජාසනයේ දවන යාග පූජාව මත ඒවා දැවී ය.
15. ඉක්බිති ඔහු සෙනඟගේ පූජා පිළිගන්වමින්, සෙනඟගේ පාප පූජාව වන එළුවා ගෙන, ඌ මරා, කලින් කළ පාප පූජාව මෙන් එය පුද කෙළේ ය.
16. එවිට දවන යාග පූජාව ද ගෙන, නියම පිළිවෙත අනුව ඔහු එය ද පුද කෙළේ ය.
17. ඉන්පසු ඔහු ධාන්‍ය පූජාව පිළිගන්වමින් එයින් පුරා අහුරක් රැගෙන උදය කාලයේ පිදූ දවන යාග පූජාවට අමතර ව එය පූජාසනය මත දැවී ය.
18. පසුව ඔහු සෙනඟ උදෙසා වූ සහභාගිකමේ පූජාව වන ගවයා සහ බැටළුවා ද මැරී ය. ආරොන්ගේ පුත්‍රයන් ඔහුට උන්ගේ ලේ පිළිගැන්වූ විට ඔහු එය පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.
19. ගවයාගේ හා බැටළුවාගේ තෙල ද එනම්, වල්ගා ද අතුණු වැසි තෙල ද වකුගඩු ද අක්මාව පිට ඇති සිවිය ද ගෙන
20. ඒ සියල්ල ළපැත්ත උඩ තබා පූජාසනය මත ඒ තෙල දැවී ය.
21. පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.
22. ඉන්පසු ආරොන් සෙනඟ දෙසට තම අත ඔසවා ඔවුන්ට ආශීර්වාද කොට පාප පූජාව, දවන යාග පූජාව සහ සහභාගිකමේ පූජාව පුදා එම ස්ථානයෙන් බැස ආවේ ය.
23. මෝසෙස් ද ආරොන් ද සම්මුඛ මණ්ඩපයට ඇතුළු වී පිටතට අවුත් සෙනඟට ආශීර්වාද කළහ. එවිට සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ද සියලු සෙනඟට දර්ශනය විය.
24. සමිඳාණන් වහන්සේ ඉදිරියෙන් ගින්නක් නික්ම පූජාසනය මත වූ දවන යාග පූජාව සහ තෙල දවා හැරියේ ය. මෙය දුටු සියලු සෙනඟ හඬ නඟා මුණින්තළා වැටුණා හ.

ලෙවී ව්‍යවස්ථාව 10:1-20
1. ආරොන්ගේ පුත්‍රයන් වන නාදබ් සහ අබිහු තම තමන්ගේ ධූම පාත්‍ර ගෙන, ඒවායේ ගිනි බහා, ඒවා මත සුවඳ ද්‍රව්‍ය දමා, සමිඳාණන් වහන්සේ නියම නොකළ නීති විරෝධී ගිනි උන් වහන්සේට පුද කළහ.
2. එවිට සමිඳාණන් වහන්සේගෙන් ගින්නක් නික්ම, ඔවුන් දවා හැරියෙන් ඔව්හු උන් වහන්සේ ඉදිරියෙහි මළහ.
3. එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.
4. එවිට මෝසෙස්, ආරොන්ගේ බාප්පා වූ උශ්ශියෙල්ගේ පුත්‍රයන් වන මිෂායෙල් සහ එල්ශාපාන් කැඳවා, ඔවුන්ට කතා කොට, “මෙහි අවුත්, ඔබේ සහෝදරයන් ශුද්ධස්ථානය ඉදිරිපිටින් උසුලාගෙන ගොස් කඳවුරෙන් පිටත දමන්නැ”යි කී ය.
5. එවිට ඔව්හු ළං වී, මෝසෙස් කී ලෙස ඔවුන්ගේ වස්ත්‍ර පිටින් ම කඳවුරෙන් පිටතට ඔවුන් ගෙන ගියහ.
6. ඉන්පසු මෝසෙස් ආරොන්ට ද ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට සහ ඊතාමාර්ට ද කතා කොට, “ඔබ කණගාටුව දැක්වීමට ඔබේ හිසකෙස් අවුල් කර නොගන්න, ඔබේ වස්ත්‍ර ඉරා නොගන්න. ඔබ එසේ කළොත් නසින්නහු ය, සමිඳාණන් වහන්සේ ද මුළු ජනතාව සමඟ කිපෙන සේක. එහෙත්, ඔබේ ඥාතීන් වන මුළු ඉශ්රායෙල් ජනයා නම්, සමිඳාණන් වහන්සේ එවන්නට සැලැසූ ගින්න ගැන වැළපිය යුතු වේ.
7. ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටත නොයා යුතු ය. මන්ද, සමිඳාණන් වහන්සේගේ ආලේප තෛලය ඔබ පිට ඇති බැවින් ඔබ මැරෙන්නට පුළුවනැ”යි කීවේ ය. ඔව්හු මෝසෙස් කී ලෙස කළහ.
8. සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට,
9. “නුඹ සහ නුඹ සමඟ නුඹේ පුත්‍රයන් සම්මුඛ මණ්ඩපයට ඇතුළු වන විට මුද්‍රික පානය හෝ මත් පැන් හෝ පානය නොකරන්න. එසේ කළොත් නුඹ මැරෙන්නට පුළුවන. මෙය නුඹේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
10. නුඹ කැප කළ දේවලින් අකැප දේ ද සම්මත පරිදි අපවිත්‍ර දෙයින් පවිත්‍ර දේ ද වෙන් කළ යුතු ය.
11. තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් ඉශ්රායෙල් ජනයාට වදාළ සියලු ම නීති නියෝග නුඹ ඔවුන්ට ඉගැන්විය යුතු ය”යි වදාළ සේක.
12. මෝසෙස් ආරොන්ට ද ඉතිරි ව සිටි ඔහුගේ පුත්‍රයන් වන එලෙයාසර්ට හා ඊතාමාර්ට ද කතා කොට, “සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඉතිරි වූ ධාන්‍ය පූජාව ගෙන, පූජාසනය ළඟ දී, මුහුන් නොදමා එය වළඳන්න. එය අතිශුද්ධ ය.
13. එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.
14. ඔබ ද ඔබේ පුත්‍රයන් හා දූවරුන් ද පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ශුද්ධස්ථානයක දී වැළඳිය යුතු ය. මන්ද, ඒවා ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජාවලින් ඔබට හා ඔබේ පුතුන් හට දුන් කොටස වේ.
15. තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.
16. මෝසෙස් පාප පූජාව සඳහා පිදූ එළුවා ගැන විමසූ විට, පුදුමයකි! ඌ දවා තිබිණි. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් අතර ජීවත් ව සිට එලෙයාසර් සහ ඊතාමාර් සමඟ කිපී:
17. “ඔබ පාප පූජාවට ගත් සතා ශුද්ධස්ථානයේ දී නොවැළඳුවේ මන් ද? සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පව් කමාවේ පිළිවෙත ඉටු කරමින්, ජනතාවගේ පාපවලට කමාව දෙන පිණිස උන් වහන්සේ එය ඔබට දුන් සේක, එය අතිශුද්ධ ය.
18. එහි ලේ ශුද්ධස්ථානය තුළට ඔබ නොගෙනාවහු ය. මා අණ කළ පරිදි එය ශුද්ධස්ථානය තුළ වැළඳිය යුතු ව තිබුණේ ය”යි කීවේ ය.
19. එවිට ආරොන් ද මෝසෙස්ට උත්තර දෙමින්, “බලන්න, මෙදින සෙනඟ තමන්ගේ පාප පූජාව සහ දවන යාග පූජාව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔප්පු කළ නමුත්, මට මෙයාකාර දේවල් සිදු වී ඇත. හොඳයි, පාප පූජාව සඳහා පිදූ සතාගේ මාංසය මම අද වැළඳුවෙම් නම්, එය සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයක් වන්නට තිබුණේ දැ”යි ඇසී ය.
20. මෙය ඇසූ විට මෝසෙස් සතුටු විය.

ගීතාවලිය 25:1-7
1. දාවිත්ගේ ගීතයකි. ඔබ වෙත සමිඳුනි මා හදවත ඔසවමි.
2. මාගේ දෙවියෙනි ඔබ කෙරේ විශ්වාසය තබමි. මා ලජ්ජාවට පත් වන්න ඉඩ නුදුන මැනව; මා පරදා ජය හඬ නඟන්න මා සතුරන්ට ඉඩ නොතැබුව මැනව.
3. ඔබ කෙරේ විශ්වාසය තබන කිසිවෙකු පරාජය වන්නේ නැත. හිතුවක්කාර ලෙස විශ්වාසය කඩ කරන අය පරාජය වන්නෝ ය.
4. සමිඳුනි, ඔබේ ක්‍රියා මාර්ගය මට හෙළි කළ මැනව; ඔබේ මාවත් මට පැහැදිලි කළ මැනව.
5. ඔබේ සත්‍යය අනුව මා ගෙන ගිය මැනව; මට එය ඉගැන්නුව මැනව; මන්ද, ඔබ මාගේ විමුක්තිදායක දෙවිඳාණෝ ය. දවස පුරා ඔබ එන මඟ බලා සිටිමි.
6. සමිඳුනි, ඔබේ කරුණා ගුණයත්, තිර පෙමත් සිහි කළ මැනව. මේවා ඔබේ චිරාගත ගුණාංගයෝ ය.
7. සමිඳුනි, මාගේ යොවුන් වියේ පාප ද අපරාධ ද සිහි නොකළ මැනව. සමිඳුනි, ඔබේ යහපත්කම ද මහා කරුණාව ද අනුව මා සිහි කළ මැනව.

හිතෝපදේශ 9:13-18
13. අමනකම වූ කලී, කටකාර, අනුවණ, විලිබිය නැති ගැහැණියක වැනි ය.
14. ඇගේ ම ගෙදර දොරකඩ හෝ නගරයේ ඉහළ ම තැන්වල හෝ ඈ අසුන්ගන්නී ය.
15. තමාගේ පාඩුවේ වැඩට යන මගීන් මුළා කරනු වස්
16. ඈ මෙසේ කියන්නී ය: “අනුවණ ජනයෙනි, මෙහි පිවිසෙන්න.” ඈ මෝඩ මිනිසුන්ට මෙසේ කියන්නී ය:
17. “සොරාගත් වතුර ඉමිහිරි ය, සොරාගත් කෑම වඩා රස ය.”
18. ඈ කැඳවන අය, මරණය එහි ඇති බව ද පාතාලයෙහි ගැඹුරු තැන වැටී ඇති බව ද නොදනිති.

ශුද්ධවර මාක් 1:23-45
23. එකල ඔවුන්ගේ ධර්මශාලාවෙහි අශුද්ධාත්මයක් ආවේශ වූවෙක් විය.
24. ඔහු මෙසේ මොරහඬ දුනි: “නාසරෙත්හි ජේසුස් වහන්ස, ඔබත් අපත් අතර මොන ගනු දෙනුවක් ද? ඔබ ආවේ අප වනසන්ට ද? ඔබ කවරෙක් දැ යි දනිමි; ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණෝ ය.”
25. ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක.
26. එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය.
27. ඒ දුටු සියල්ලෝ ම මවිත වී, “මේ කුමක් ද? අලුත් ධර්මයකි! මෙතුමාණෝ බලධාරී කෙනෙකු මෙන්‍ උගන්වති; මුන් වහන්සේ අණ දෙන විට අශුද්ධාත්මයෝ වුව ද කීකරු වෙති”යි කී හ.
28. එකෙණෙහි ම උන් වහන්සේ පිළිබඳ පුවත අවට ගලීලය පුරා දස දෙස පැතිර ගියේ ය.
29. ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ.
30. සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ.
31. උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය.
32. සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ.
33. නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ.
34. උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක.
35. හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක.
36. සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්,
37. සම්මුඛ වී, “හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ.
38. උන් වහන්සේ උත්තර දෙමින්, “අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක.
39. උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
40. එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, “ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය.
41. උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, “මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක.
42. එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය.
43. උන් වහන්සේ, “මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී,
44. “යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක.
45. එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.