A A A A A
අවුරුද්දකින් බයිබලය
පෙබරවාරි 18

ලෙවී ව්‍යවස්ථාව 7:1-38
1. “වන්දි ගෙවීමේ පූජාව පිළිබඳ නීතිය මේ ය: එය අතිශුද්ධ දෙයකි.
2. දවන යාග පූජාව පිණිස සතා මරන ස්ථානයේ දී වන්දි ගෙවීමේ පූජාව පිණිස ගත් සතා ද මැරිය යුතු ය. පසුව උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉසිය යුතු ය.
3. උගේ තෙල සම්පූර්ණයෙන් ම ද එනම්, උගේ වල්ගය ද අතුණු වසා ඇති තෙල ද
4. වකුගඩු දෙක ද ඒවා මත තුනටිය ළඟ ඇති තෙල ද අක්මාව පිට සිවිය ද වකුගඩු සමඟ ඉවතට ගත යුතු ය.
5. පූජකවරයා ඒවා පූජාසනය මත ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවක් මෙන් ඔප්පු කළ යුතු ය. මෙය වන්දි ගෙවීමේ පූජාවකි.
6. පූජකවරුන් අතර සිටින සෑම පිරිමියෙකුට ම ඉන් වැළඳිය හැකි ය. එය වැළඳිය යුත්තේ ද ශුද්ධස්ථානයක ය. එය අතිශුද්ධ දෙයකි.
7. “පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.
8. යමෙකුගේ දවන යාග පූජාව පුදන පූජකවරයාට, ඔහු පිදූ සතාගේ හම අයිති ය.
9. උදුනක පිසූ ධාන්‍ය පූජාව මුළුමනින් ද කබලක හෝ තාච්චියක හෝ පිළියෙළ කළ සියල්ල ද පිදූ පූජකවරයාට අයිති ය.
10. තෙල් මිශ්‍ර සහ අමිශ්‍ර ධාන්‍ය පූජා සියල්ල ම ආරොන්ගේ පුත්‍රයන් සියලු දෙනා සම සේ බෙදාගත යුතු ය.”
11. “සමිඳාණන් වහන්සේට පිදිය යුතු සහභාගිකමේ පූජා පිළිබඳ නීතිය මේ ය:
12. යමෙක් ස්තුති දීමක් වශයෙන් එය පුදන්නේ නම්, ස්තුති දීමේ පූජාවක් සමඟ තෙල් මිශ්‍ර නුමුහුන් රොටි ද තෙල් ගෑ නුමුහුන් රොටි පෙති ද සිහින් පිටිවලින් බදින ලද තෙල් මිශ්‍ර රොටි ද පුද කළ යුතු ය.
13. තවද, රොටි සමඟ මුහුන් මිශ්‍ර රොටි ද තම පූජාවට එකතු කොට සහභාගිකමේ පූජාව සමඟ ස්තුති පූජාවක් වශයෙන් පුද කළ යුතු ය.
14. ඔහු සෑම රොටි වර්ගවලින් ම එක් කොටසක් බැගින් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය. එය සහභාගිකමේ පූජාවට පිදූ සතාගේ ලේ ඉසින පූජකවරයාට අයිති ය.
15. ස්තුති දීම සඳහා සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය ඌ පුදන දවසේ දී ම වැළඳිය යුතු ය. ඉන් කිසිවක් පසුදින උදය දක්වා නොතැබිය යුතු ය.
16. “එහෙත්, පූජා කරන සතා පුදන්නේ භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් හෝ වශයෙන් නම්, ඔහු එය පුදන දවසේ දී වැළඳිය යුතු ය. ඉන් ඉතිරි කොටස පසුදින ද වළඳන්නට පුළුවන.
17. එහෙත් ඌගේ මාංසයෙන් ඉතිරි වන කොටස තුන් වන දවසේ දී ගින්නේ දැවිය යුතු ය.
18. එහෙත්, යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පුදන සතාගේ මාංසය තුන් වන දවසේ දී වැළඳුවහොත්, ඔහුගේ පූජාව නොපිළිගනු ලැබේ. පූජාව පුදන තැනැත්තාට එයින් වන ආනිශංසයක් නැත. එය පිළිකුලක් වනු ඇත. එයින් වළඳන තැනැත්තා එය ගැන වගකිව යුතු ය.
19. අපවිත්‍ර යමකට ස්පර්ශ වන ඒ මාංසය නොවැළඳිය යුතු අතර එය ගින්නේ දැවිය යුතු ය. “ඉතිරි මාංසය ආගමික චාරිත්‍ර අනුව පවිත්‍ර ව සිටින සෑම කෙනෙකුට ම වැළඳිය හැක.
20. එහෙත්, ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමෙකු සහභාගිකමේ පූජාව වශයෙන් පිදූ සතාගේ මාංසය කෑවහොත්, ඔහු තම සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
21. තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”
22. සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්,
23. “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්න, ‘නුඹලා ගවයෙකුගේ හෝ බැටළුවෙකුගේ හෝ එළුවෙකුගේ හෝ තෙල කෑමට නොගත යුතු ය.
24. ස්වාභාවික ලෙස මැරුණු සතෙකුගේ හෝ වන මෘගයෙකු විසින් ඉරාදමනු ලබන සතෙකුගේ හෝ තෙල කිසි සේත් නොකෑ යුතු ය. එහෙත්, එය යම්කිසි ප්‍රයෝජනයකට ගත හැකි ය.
25. මිනිසුන් විසින් ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ තෙල යමෙක් කන්නේ ද, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.
26. නුඹ වසන කිසිම තැනක පක්ෂියෙකුගේ වේවා, මෘගයෙකුගේ වේවා ලේ කෑමට නොගත යුතු ය.
27. යමෙක් ලේ කෑමට ගන්නේ ද ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ ය’ ”යි වදාළ සේක.
28. නැවතත් සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතා,
29. “ඉශ්රායෙල් ජනතාවට කතා කොට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙක් සහභාගිකමේ පූජාවක් සමිඳාණන් වහන්සේට ඔප්පු කරන්නේ ද, ඔහු ඉන් කොටසක් දීමනාවක් වශයෙන් සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.
30. ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.
31. පූජකවරයා පූජාසනය මත තෙල දැවිය යුතු ය. සතාගේ ළපැත්ත ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ.
32. සහභාගිකමේ පූජාවේ විශේෂ පඬුරක් වශයෙන් සතාගේ දකුණු ගාතය නුඹ පූජකවරයාට දිය යුතු ය.
33. ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් සහභාගිකමේ පූජාවේ සතාගේ ලෙය සහ තෙල පුදන තැනැත්තාට තම කොටස වශයෙන් දකුණු ගාතය හිමි වේ.
34. මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”
35. ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පූජක නිල තනතුරේ සමිඳාණන් වහන්සේට සේවය කරනු පිණිස ඉදිරිපත් කොට, ඔවුන් ආලේප කළ දවසේ දී ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාවලින් ඔවුන්ට හිමි කොටස මෙය වේ.
36. මෝසෙස් ඔවුන් ආලේප කරන දවසේ දී ඉශ්රායෙල් ජනයා ඔවුන්ට දිය යුතු ලෙස සමිඳාණන් වහන්සේ ඔවුන්ට අණ කළ දේ මේ ය. තවද, මෙය ඔවුන්ගේ පෙළපත් තුළ සදහට ම වලංගු නියෝගයකි.
37. දවන යාග පූජාව හා ධාන්‍ය පූජාව ද පාප පූජාව හා වන්දි ගෙවීමේ පූජාව ද ආලේප කිරීමේ හා සහභාගිකමේ පූජාව ද පිළිබඳ නීතිය මේ ය.
38. සීනයි පාළුකරයේ සීනයි කන්ද මත සමිඳාණන් වහන්සේට පූජා පිදීමට ඉශ්රායෙල් ජනයාට මෝසෙස් නියම කළ දවසේ දී උන් වහන්සේ ඔහුට අණ කෙළේ එසේ ය.

ලෙවී ව්‍යවස්ථාව 8:1-36
1. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2. “ආරොන් සහ ඔහු සමඟ ඔහුගේ පුත්‍රයන් ද පූජක වස්ත්‍ර සහ ආලේප තෛලය ද පාප පූජාව සඳහා වස්සෙකු ද බැටළුවන් දෙදෙනෙකු ද නුමුහුන් රොටි පැස ද ගෙන
3. මුළු ජනතාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස් කරවන්නැ”යි වදාළ සේක.
4. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ඉටු කළ විට, මුළු සභාව සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ රැස්වූ හ.
5. එවිට ඔහු ජනතාව අමතමින්: “සමිඳාණන් වහන්සේ ඉටු කිරීමට අණ කළ දේ මේ ය”යි කී ය.
6. ඉන්පසු ඔහු ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් කැඳවා ඔවුන් නෑවුවේ ය.
7. පසුව මෝසෙස් ඔහුට කබාය හඳවා, ඉඟපටිය බැඳ, සළුව පළඳවා, ඒපොද් නම් සැට්ටය ඔහු පිට දමා, එම සැට්ටයේ ගෙත්තම් කළ පටියෙන් ඔහු ඉණ වටකර බැඳ එය සවි කෙළේ ය.
8. ඉන්පසු ළය වැස්ම ද ඔහුට පළඳවා එය තුළ ඌරිම් සහ තුම්මිම් යන පස ඇට දැමී ය.
9. ඔහුගේ හිස මත මකුටය ද ඊට උඩින් ඉදිරියෙන් රන් තහඩුව වන ශුද්ධ කිරීටය ද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි තැබුවේ ය.
10. ඉන්පසු මෝසෙස් ආලේප තෛලය ගෙන මණ්ඩපයත්, එය තුළ වූ සියල්ලත් ආලේප කොට කැප කෙළේ ය.
11. ඔහු ඒ තෛලය පූජාසනය මත හත්වරක් ඉස, පූජාසනය ද එහි සියලු උපකරණ ද වතුර භාජන හා එහි අඩිය ද ආලේප කොට කැප කෙළේ ය.
12. පසුව ඔහු ආලේප තෛලය ආරොන්ගේ හිස මත වත් කොට ඔහු කැප කරමින් ආලේප කෙළේ ය.
13. එවිට ඔහු ආරොන්ගේ පුත්‍රයන් ද කැඳවා සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි, ඔවුන්ට කබා හඳවා, ඉඟ පටි බැඳ හිස් වැසුම් පැළඳවී ය.
14. ඔහු ද පාප පූජාවට පුදන වස්සා ගෙනා කල, ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ එම වස්සාගේ හිස මත තම අත් තැබූ හ.
15. ඉන්පසු මෝසෙස් ඌ මරා, උගේ ලේ ගෙන, තම ඇඟිල්ලෙන් පූජාසනය වටේට තිබූ අං මත එය තවරා, පූජාසනයේ දොස් පහකොට, එහි පාමුල ඉතිරි ලේ වත් කොට එය මත පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කරමින් එය කැප කෙළේ ය.
16. පසුව ඔහු සතාගේ අතුණු මත තිබූ තෙල සම්පූර්ණයෙන් ද අක්මාව වසා තිබූ සිවිය ද වකුගඩු දෙක සමඟ ඒවායේ තෙල ද ගෙන පූජාසනය මත දැවී ය;
17. එහෙත්, සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි ගවයාගේ ඉතිරි කොටස් වන උගේ හම සහ මාංසය ද ගොම ද කඳවුරෙන් පිටත ගින්නේ දැවී ය.
18. ඉන්පසු ඔහු දවන යාග පූජාව සඳහා බැටළුවා ගෙනා විට ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ උගේ හිස මත තම අත් තැබූ හ.
19. මෝසෙස් ද ඌ මරා උගේ ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.
20. ඉන්පසු ඔහු ඌ කෑලිවලට කපා, උගේ හිස ද කෑලි සහ තෙල ද ගින්නේ දැවී ය.
21. ඔහු සතාගේ අතුණු හා කකුල් වතුරෙන් සෝදා සතා මුළුමනින් ම පූජාසනය මත දැවී ය. එය වනාහි සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳක් සහිත දවන යාග පූජාවකි.
22. පූජකයන් කැප කිරීමේ දී පුදන අනික් බැටළුවා ගෙනා කල, උගේ හිස මත ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ තම අත් තැබූ හ.
23. මෝසෙස් ද ඌ මරා, උගේ ලේ ගෙන, ආරොන්ගේ දකුණු කන්පෙත්තෙහි ද දකුණතේ මාපටැඟිල්ලේ ද දකුණු පයේ මාපටැඟිල්ලේ ද තැවරී ය.
24. පසුව ඔහු ආරොන්ගේ පුත්‍රයන් කැඳවා ඔවුන්ගේ දකුණු කන් පෙතිවල ද දකුණතේ මාපටැඟිලිවල ද දකුණු පාදයේ මාපටැඟිලිවල ද ලේ තැවරී ය. ඉතිරි ලේ පූජාසනය පිට හාත්පසින් ඉස්සේ ය.
25. ඉන්පසු ඔහු සතාගේ තෙල ද එනම්, තර වල්ගය ද අතුණු මත තිබූ තෙල මුළුමනින් ම ද අක්මාව පිට ඇති සිවිය ද වකුගඩු දෙක හා ඒවායේ තෙල ද දකුණු ගාතය ද ගත්තේ ය.
26. පසුව සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි තිබූ නුමුහුන් රොටි පැසෙන් එක නුමුහුන් රොටියක් ද තෙල් මිශ්‍ර රොටියක් ද එක තුනී රොටි පෙත්තක් ද ගෙන ඔහු ඒවා සතාගේ තෙල හා දකුණු ගාතය මත තබා
27. මේ සියල්ල ම ආරොන්ගේ හා ඔහුගේ පුතුන්ගේ අත්වලට දී සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙරෙව්වේ ය.
28. මෙසේ කළ පසු, මෝසෙස් ඒවා ඔවුන්ගේ අත්වලින් ගෙන පූජාසනයේ දවන යාග පූජාව මත දැවී ය. එය වනාහි ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට පුදන සුමිහිරි සුවඳැති කැප කිරීමේ පූජාවකි.
29. ඉන්පසු මෝසෙස් සතාගේ ළපැත්ත ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය. සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, එය වනාහි කැප කිරීමේ බැටළුවාගෙන් මෝසෙස්ට හිමි කොටස වේ.
30. ඉන්පසු මෝසෙස් ආලේප තෛලයෙන් හා පූජාසනය මත වූ ලෙයින් ස්වල්පයක් ගෙන ආරොන් හා ඔහුගේ වස්ත්‍ර මත ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර මත ද ඉස, ආරොන් සහ ඔහුගේ වස්ත්‍ර ද ඔහුගේ පුත්‍රයන් හා ඔවුන්ගේ වස්ත්‍ර ද කැප කෙළේ ය.
31. එවිට මෝසෙස් ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට කතා කොට, මා අණ කළ පරිදි, “සම්මුඛ මණ්ඩපයේ දොරකඩ ඒ මාංස තම්බා, ‘ආරොන් සහ ඔහුගේ පුතුන් එය වැළඳිය යුතු ය’ කියා එහි දී කැප කිරීමට ගත් පැසේ ඇති රොටි සමඟ වළඳන්න.
32. තවද, මස්වලින් හා රොටිවලින් ඉතිරි වන කොටස ගින්නේ දැවිය යුතු ය.
33. කැප කිරීමේ දින ගණන අවසාන වන තෙක්, දින හතක් ඔබ සම්මුඛ මණ්ඩපයේ දොරටුවෙන් පිටතට නොයා යුතු ය. ඒ සඳහා දින හතක් ගත වේ.
34. අප මෙදින කළ ලෙස ඔබේ පාපවලට කමාව අයැදිනු පිණිස සමිඳාණන් වහන්සේ මෙසේ කිරීමට අණ කළ සේක.
35. එබැවින් ඔබ දිවා රෑ, හත්දිනක් සම්මුඛ මණ්ඩපයේ දොරටුව ළඟ සමිඳාණන් වහන්සේගේ අණ පිළිපදිමින් නැවතී සිටිය යුතු ය. එලෙස නොකළොත්, ඔබ නසින්නහු ය. මක්නිසා ද උන් වහන්සේ මට එසේ අණ කළ සේකැ”යි කීවේ ය.
36. මෙලෙස ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ සමිඳාණන් වහන්සේ මෝසෙස් මඟින් අණ කළ සියල්ල ඉටු කළහ.

ගීතාවලිය 24:7-10
7. ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
8. ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.
9. වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
10. මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.

හිතෝපදේශ 9:10-12
10. දේව ගරුබිය ප්‍රඥාවේ මුල් පියවර වේ, ශුද්ධ දෙවිඳුන් ගැන දැනුම නැණනුවණ වේ.
11. ප්‍රඥා වරමින් ඔබේ කාලය දික් වී, ඔබ දිගායු වළඳනු ඇත.
12. ඔබ නැණවත් වුවහොත්, එහි වාසිය ඔබට ම ය; ඔබ ඥානය ප්‍රතික්ෂේප කළොත්, ඉන් වන අවාසියත් ඔබට ම ය.

ශුද්ධවර මාක් 1:1-22
1. දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්නේ ආරම්භය මෙය ය.
2. යෙසායා සිය දිවැසාවලියෙහි මෙසේ ලියා ඇත: “මෙන්න, මාගේ දූතයා ඔබට පෙරටුව යවමි, හෙතෙම ඔබ වඩිනා මඟ පිළියෙළ කරන්නේ ය;
3. ‘සමිඳුන්ගේ මඟ පිළියෙළ කරන්න; එතුමන් හට ඇද නැති මාවත් සාදන්නැ’යි පාළුකරයෙහි මොරගා කියන හඬක් වේ!”
4. එපරිද්දෙන් ස්නාවක ජොහන් තෙමේ ‘පව් කමාව පිණිස පසුතැවී සිත් හරවා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබිය යුතු ය’යි දේශනා කරමින් පාළුකරයෙහි පහළ විය.
5. එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.
6. ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් හැඳ, ඉණ වටා සම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.
7. ඔහු දේශනා කරමින්, “මට වඩා ආනුභාව සම්පන්න උතුමාණන් කෙනෙක් මට පසුව එති; නැමී, එතුමාණන්ගේ පා වහන් පටි මුදන්නට පවා මම නොවටිමි;
8. මම වතුරෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කෙළෙමි; එහෙත් උන් වහන්සේ ශුද්ධාත්මයාණන්ගෙන් ඔබ බව්තීස්ම-ස්නාපනය කරන සේකැ”යි කී ය.
9. එසමයෙහි ජේසුස් වහන්සේ ගලීලයේ නාසරෙත්හි සිට වැඩම කර, ජොහන් විසින් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ සේක.
10. උන් වහන්සේ දියෙන් ගොඩ නැඟෙත් ම ස්වර්ගය විවර වී, ආත්මයාණන් වහන්සේ පරෙවියෙකු මෙන්‍ තමන් පිට බැස එනු දුටු සේක.
11. තවද, ස්වර්ගයෙන් නික්මුණු හඬක්, “ඔබ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; ඔබ කෙරේ ඉතා ප්‍රසන්න වී සිටිමි”යි පැවසී ය.
12. එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක.
13. උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ.
14. ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක.
15. ඒ දේශනාව මේ ය: “නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
16. උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ.
17. ජේසුස් වහන්සේ ඒ දැක, “මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
18. එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19. උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.
20. ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.
21. ඉන්පසු ඔව්හු කපර්ණවුමට පැමිණියහ. සබත් දින උන් වහන්සේ ධර්මශාලාවට ගොස් අනුශාසනා කළ සේක.
22. උන් වහන්සේගේ අනුශාසනාව ගැන ඔව්හු විස්මිත වූ හ. මන්ද, උන් වහන්සේ විනයධරයන් මෙන්‍ නොව බලධාරී කෙනෙකු මෙන්‍ අනුශාසනා කළ හෙයිනි.