හබක්කුක් 1:1-17 |
1. හබක්කුක් නම් දිවැසිවරයා දර්ශනයකින් ලත් දිව්‍ය ප්රකාශනය මෙය වේ. |
2. සමිඳාණන් වහන්ස, ඔබ සවන් දෙන තෙක්, සවන් දී බලහත්කාරයෙන් අප මුදන තෙක් මම කොපමණ කල් ඔබට මොරගසම් ද? |
3. තාඩන පීඩන හා බලහත්කාරය මා අවටින් ඇත. කලකෝලාහල හා අඬදබර හැම තැන ම ඇත. මෙවැනි හිරිහැර හා නපුරුකම් මට බලා සිටින්නට ඔබ වහන්සේ සලසා ඇත්තේ මන් ද? |
4. නීතිය දුර්වල වී ඇත. යුක්තිය කිසි කලෙක ඉටු නොවේ. දුෂ්ටයන් ධර්මිෂ්ඨයන් යටපත් කර ඇත. යුක්තිය නොපිට පෙරළා ඇත. |
5. “නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි. |
6. දරුණු, කලබලකාරී බබිලෝනි ජාතිකයන් මම බලයට පත් කරමි. ඔව්හු අන්‍ය රටවල් අල්ලාගන්න පිණිස ලෝකය හරහා ගමන් කරති. |
7. ඔව්හු භයානක ය, බිහිසුණු ය. ඔවුන්ගේ ශක්තිය ඔවුන්ගේ යුක්තිය හා උසස්කම වේ. |
8. “ඔවුන්ගේ අශ්වයෝ දිවියන්ට වඩා ශීඝ්‍රගාමී ය. ක්ෂුධාවෙන් සිටින අඳුරු වේලේ වෘකයන්ට වඩා දරුණු ය. ඔවුන්ගේ අසරුවෝ ඉදිරියට යන්නෝ ය; අසරුවෝ දුර සිට එන්නෝ ය. ගොදුරු කරා වේගයෙන් යන රාජාලීන් මෙන් ඔව්හු කඩා පැන එන්නෝ ය. |
9. “ඔවුන්ගේ හමුදා සාහසික ලෙස ඉදිරියට එති. ඔවුන් ආක්‍රමණය කරන විට සෙනඟ තැතිගෙන සිටිති. ඔවුන් වහල්කමට ගන්න අයගේ ගණන වැලි හා සමාන ය. |
10. ඔව්හු රජුන්ට නින්දා කරති; අධිපතීන්ට කවටකම් කරති; සෑම බලකොටුවක් ම සුළු කොට සලකති; පස් ගොඩකර ඒවා අල්ලා ගනිති. |
11. තමන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් වරදකරුවන් වන මොවුහු සුළඟ මෙන් ගසාගෙන ගොස් පහ ව යන්නෝ ය.” |
12. ස්වාමීනි, දඬුවම් කරන පිණිස විනිශ්චය කිරීමේ ආයුධයක් සේ ඔබ ම බබිලෝනිවරුන් තෝරාගෙන ඔවුන් පර්වතයක් මෙන් ශක්තිමත් කර ඇත. මාගේ දෙවි සමිඳුනි, මාගේ ශුද්ධ තැනැන් වහන්ස, ඔබ ආදියේ සිට අමරණීය දෙවියන් වහන්සේ නොවන සේක් ද? |
13. නපුර බලන්නට බැරි තරම් පවිත්‍ර ඇස් ඇති, වැරදි කරන අය නුරුස්සන ඔබ වහන්සේ, ද්‍රෝහීන් දෙස බලා සිටින්නේත්, දුෂ්ටයා තමාට වඩා දැහැමි තැනැත්තා විනාශ කරන විට ඔබ නිහඬ ව සිටින්නේත් මන් ද? |
14. ඔබ වහන්සේ මිනිසුන් මුහුදේ මත්ස්‍යයන් මෙන් ද මූලිකයෙකු නැති බඩගා යන සතුන් මෙන් ද සලකන්නේ මන් ද? |
15. බබිලෝනිවරු බිලිකටුවලින් මිනිසුන් අල්ලා ගනිති; දැල් දමා ඇදගෙන, අතංගුවෙන් ඔවුන් එකතුකර ඒ ගැන ප්‍රීති වෙමින් උදන් අනති. |
16. ඔව්හු දැල්වලට පූජා ද අතංගුවට සුවඳ දුම් ද ඔප්පු කරති. මන්ද, ඒවායින් ම සැප විහරණයෙන් කල් යවමින් පුෂ්ටිමත් ආහාර අනුභව කරන බැවිනි. |
17. මේ අයුරින් දැල් හිස් කරමින් නිර්දය ලෙස ජාතීන් විනාශ කිරීමට ඔබ ඉඩ හරින සේක් ද? |
හබක්කුක් 2:1-20 |
1. මම මාගේ මුර අට්ටාලය උඩට නැඟ, බලකොටුව උඩ සිටගෙන, සමිඳාණන් වහන්සේ මට කියන්නේ කුමක් ද කියාත්, මාගේ පැමිණිල්ල ගැන දෙන පිළිතුර කුමක් ද කියාත් බලා සිටින්නෙමි. |
2. සමිඳාණන් වහන්සේ මට මෙසේ පිළිතුරු දුන් සේක: “දර්ශනය ලියන්න; එය කියවන්න පුළුවන් වන පිණිස ගල් පුවරුවල පැහැදිලි ලෙස ලියන්න. |
3. එසේ කළ යුත්තේ දර්ශනය නියම කාලය වන තෙක් පමාවන බැවිනි. එහෙත්, එය නිෂ්ඵල නොවී වේගයෙන් ඉටුවනු ඇත. එය නොවරදවා පැමිණෙන්නේ ම ය. |
4. අදමිටු අය නොපවතින්නෝය; එහෙත්, දමිටු අය දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ලෙන් ජීවත් වන්නෝ ය.” |
5. වස්තුව රවටන සුලු ය. පාතාලය මෙන් කට අයාගත් තෘෂ්ණාව ඇත; මරණය මෙන් තෘප්තියක් නොලබන, සියලු ජාතීන් තම ආශාව සඳහා රැස් කරන්නාවූ සියලු මිනිසුන් තම වාසියට හරවාගන්නාවූ මිනිසා අහංකාරී නොසංසුන් කෙනෙකි. |
6. සියලු දෙනා ඔහුට අවමන් කොට ඔහුට විරුද්ධ ව මෙසේ ඇනුම්පද කියනු ඇත; “නුඹලාට අයිති නැති දේ ගොඩගසාගත්, උකස් බඩු තමා පිට පටවාගත් අයට වන විපතක මහත!” |
7. නුඹලාගේ ණය හිමියන් හදිසියේ නුඹලා පිට කඩා පනින්නේ නැද් ද? නුඹලාගේ සතුරෝ නුඹලා තැති නොගන්වන්නෝ ද? එවිට ඔව්හු නුඹලා කොල්ලකන්නෝ ය. |
8. නුඹලා බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ නිසා ද නුඹලා කර ඇති ඝාතන නිසා ද දේශයටත්, නගරයටත්, එහි වැසියන්ටත් නුඹලා කර ඇති බලහත්කාරකම් නිසා ද ඉතිරි ව සිටින අය නුඹලා කොල්ලකන්නෝ ය. |
9. තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත! |
10. නුඹලාගේ උපායයන් නිසා නුඹලාගේ වංශය පිට නින්දාව පමුණුවාගෙන ඇත. බොහෝ ජාතීන් විනාශ කිරීම නිසා නුඹලා, තමන්ගේ ම විනාශය පමුණුවාගෙන ඇත. |
11. බිත්තියේ ගල් වුව ද නුඹලාට විරුද්ධ ව මොරහඬ නඟන අතර වහලේ රීප්ප හා පරාල දෝංකාර නඟනු ඇත. |
12. නුඹලා අපරාධයෙන් නුවරක් ද මිනීමැරීමෙන් නගරයක් ද ගොඩනඟාගෙන ඇති බැවින් නුඹලාට වන විපතක මහත! |
13. ජාතීන් නිකරුණේ වෙහෙස මහන්සියෙන් ඔවුන් ගොඩනඟා ඇති සියල්ල ගින්නෙන් දවා නැත්තට නැති කිරීම සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ක්‍රියාව නොවේ ද? |
14. මුහුද ජලයෙන් පිරී තිබෙන්නාක් මෙන් සමිඳාණන් වහන්සේගේ තේජස පිළිබඳ දැනගැන්මෙන් පොළොව පිරී යන්නේ ය. |
15. අසල්වාසීන්ගේ නග්න රූප දෙස බලා නින්දා කරන පිණිස අධික කෝපයෙන් ඔවුන්ට බොන්නට දී වෙරිමත් කරන්නාවූ නුඹලාට වන විපතක මහත! |
16. ඒ අයුරින් නුඹලාත් ගෞරවයෙන් වෙනුවට නින්දාවෙන් පිරී සිටින්නහු ය. නුඹලාත් වෙරිමත් වන්නහු ය. සමිඳාණන් වහන්සේගේ දකුණු අතෙහි කුසලානෙන් නුඹලාට බොන්න සලස්වා උන් වහන්සේ නුඹලාගේ ගෞරවය අගෞරවයට හරවන සේක. |
17. නුඹලා කර ඇති මිනීමැරීම් නිසාත්, දේශයටත් නගරයටත් එහි වැසියන්ටත් කර ඇති බලහත්කාරකම් නිසාත්, නුඹලා ලෙබනොන්හි කළ අපරාධ නිසාත් නුඹලා විනාශ කරනු ඇත. |
18. පිළිමයකින් ඇති ප්‍රයෝජනය කුමක් ද? එය මිනිසා විසින් සාදන ලද්දකි. එයට සත්‍යය පවසන්නට බැරි ය. එය වාත්තු පිළිමයක් පමණකි. එය කෙරෙහි විශ්වාසය තැබීමෙන් එය තැනූ තැනැත්තාට වන යහපත කුමක් ද? |
19. ඒ රූපයට ‘පිබිදෙන්න’ කියාත්, ගලින් නෙළූ ගොළු පිළිමවලට ‘නැඟිටින්න’ කියාත් කියන නුඹලාට වන විපතක මහත! පිළිමවලට කිසිවක් එළිදරව් කළ හැකි ද? අහෝ! රන් රිදීයෙන් එය වසා තිබුණත් එය තුළ ප්‍රාණයක් ඇත්තේ ම නැත. |
20. එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා! |
හබක්කුක් 3:1-19 |
1. ශෝක ගීත වෘත්තියට ලියන ලද දිවැසිවර හබක්කුක්ගේ යාච්ඤාව මෙය වේ. |
2. සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව. |
3. සමිඳාණන් වහන්සේ තේමාන් සිට ද ශුද්ධ දෙවියන් වහන්සේ පාරාන් කන්දේ සිට ද වඩින සේක. උන් වහන්සේගේ තේජාලංකාරයෙන් ස්වර්ගය ප්රභාවත් වෙයි. පොළොව ද උන් වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී ඇත. |
4. අරුණෝදය මෙන් උන් වහන්සේ වඩින සේක. රශ්මි දහරා උන් වහන්සේගේ අතින් විහිදෙයි. එහි උන් වහන්සේගේ බලය සැඟවී ඇත. |
5. උන් වහන්සේ ඉදිරියෙන් වසංගතය ද පසුපස්සෙන් මාරක රෝගය ද පැමිණේ. |
6. උන් වහන්සේ නවතින විට පොළොව කම්පා කරවන සේක; උන් වහන්සේ බලන විට ජාතීන් වෙවුළුවා හරින සේක. පුරාතන පර්වත දෙදරා යයි; සදාකාල කඳු කිඳා බසියි. උන් වහන්සේගේ ගමන් පුරාණයෙහි මෙන් ය. |
7. කුෂාන්හි සෙනඟ බිය වෙනවාත්, මිදියන්හි ජනයා වෙවුලනවාත් මම දිටිමි. |
8. සමිඳුනි, ඔබ උදහස් වුණේ ගංගාවන්ට විරුද්ධ ව ද? කෝප වුණේ මුහුදට විරුද්ධ ව ද? ඔබ අසුන් පිට නැඟී එන විට ඔබේ ඒ ගමන ජයග්‍රහණය සඳහා ය. |
9. දුන්න පාවිච්චි කරන්න ඔබ සූදානම් වූ සේක; කොපුව ඊතලවලින් පිරී තිබුණේ ය. ඔබ විදුලි පහරින් පොළොව විවර කළ සේක. |
10. ඔබ දැක කඳු තැතිගැනුණේ ය. අහසින් ජලධාරා වැගුරුණේ ය. පාතාලයේ වතුර ඝෝෂා කළේ ය. ඒවායේ රැළ ඉහළට නැඟ විහිදුණේ ය. |
11. ඔබේ ඊතලවලින් විහිදුණු එළිය නිසා ද දිළිසෙන හෙල්ලයේ දීප්තිය නිසා ද ඉර හඳ ස්වකීය විමානවල නැවතී සිටියේ ය. |
12. ඔබ වහන්සේ කෝපයෙන් ලෝකය හරහා ගමන්ගත් සේක. උදහසින් ජාතීන් පාගා දැමූ සේක. |
13. ඔබේ සෙනඟ ගළවන පිණිසත්, ඔබේ අභිෂේක ලත් නිරිඳා මුදන පිණිසත් ඔබ පිටත් ව වැඩිය සේක. ඔබ දුෂ්ටයන්ගේ නායකයා ගසා දමා, ඔහුගේ අනුගාමිකයන් සහමුලින් ම විනාශ කළ සේක. |
14. ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය. |
15. ඔබේ අශ්වයන් මඟින් ඔබ මුහුද පාගා දැමූ විට මහා ජලස්කන්ධය කැළඹී ගියේ ය. |
16. මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි. |
17. අත්තික්කා ගස පල නොදැරුවත්, මිදි වැල්වල පලදාව නොතිබුණත්, ඔලීව ගසේ පල හට නොගත්තත්, කෙත්වලින් අස්වැන්නක් නොලැබුණත්, ගාලෙන් බැටළු රැළ නැති වී ගියත්, ගව හල් සියල්ල හිස් ව ගියත්, |
18. සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි. |
19.
දෙවි සමිඳාණෝ මාගේ ශක්තිය වේ.
මාගේ පාද මුවෙකුගේ පාද මෙන් ශීඝ්‍ර කරන සේක. උස් තැන්වල ඇවිදින්න මට සලස්වන සේක. නායක ගායනාකරුට ය. වීණා ඇති ව ගායනා කිරීමට ය.
|
ගීතාවලිය 146:1-10 |
1. සමිඳුන්ට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න. |
2. දිවි හිමියෙන් සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමි. දිවි ඇති තාක් මා දෙවිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි. |
3. රජ කුමරුන් කෙරෙහි වත්, පිහිට විය නොහැකි කිසි ම මිනිසෙකු කෙරෙහි වත් විශ්වාසය නොතබන්න. |
4. මිනිසා අන්තිම හුස්ම හෙළයි; පසට ආපසු හැරෙයි; එදින ම ඔහුගේ යෝජනා සුන් වී යයි. |
5. ජාකොබ්ගේ දෙවිඳුන් සරණ පතන, සිය දෙවි සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු තබන තැනැත්තේ වාසනාවන්ත ය. |
6.
එතුමාණෝ අහසත්, පොළොවත්, මුහුදත්, එහි ඇති සියල්ලත් මැවූ සේක.
එතුමාණෝ සදාකල් ම විශ්වාසී ව සිටින සේක.
|
7. සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක; |
8. එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක. |
9. විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක. |
10. සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා! |
හිතෝපදේශ 30:17-17 |
17. පියාට ගරහන, මහලු මව හෙළා දකින අයගේ දෑස දෙණියේ කපුටන් කනු ඇත, ගිජු ලිහිණියන්ට ගොදුරු වනු ඇත. |
එළිදරව්ව 13:1-18 |
1. එවිට අං දසයක් ද හිස් සතක් ද ඇති මෘගයෙකු මුහුදෙන් මතු වී එනු දිටිමි. උගේ අං පිට කිරුළු දසයක් ද උගේ හිස්වල දේවාපහාස නාම ද තිබිණි. |
2. මා දුටු මෘගයා අඳුන් දිවියෙකුට සමාන ය. උගේ පාද වලසෙකුගේ පාද වැනි ය. උගේ කට සිංහයෙකුගේ කට වැනි ය. මකරා සිය පරාක්‍රමය ද සිංහාසනය ද මහා අධිපතිකම ද ඌට දුන්නේ ය. |
3. උගේ හිස්වලින් එකක මාරක තුවාළයක් තිබෙන්නාක් මෙන් පෙනිණි; එහෙත් උගේ මාරක තුවාළය සුව වී තිබිණි. මුළු ලෝකයා මවිත වෙමින් මෘගයා පසුපස්සේ ගියෝ ය. |
4. මකරා මෘගයාට අධිපතිකම පැවරූ නිසා ඔව්හු මකරාට නමස්කාර කළහ. ඔව්හු මෘගයාටත් නමස්කාර කොට, “මෘගයාට සමාන කවරෙක් ද? ඌ හා සමඟ සටන් කිරීමට කවරෙකුට හැකි දැ”යි කී හ. |
5. අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය. |
6. එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය. |
7. තවද, සැදැහැවතුන්ට විරුද්ධ ව සටන් කරන්නට ද ඔවුන්ගෙන් ජයගන්නට ද ඌට ඉඩ දෙන ලදී. සියලු ගෝත්‍රයන් ද සෙනඟ ද භාෂාවන් ද ජාතීන් ද කෙරෙහි බලය ද ඌට දෙන ලද්දේ ය. |
8. මරණයට පත් කරන ලද, බැටළු පෝතකයාණන්ගේ ජීවන පොතේ ලෝකාරම්භයේ සිට නාම නොලියන ලද මිහි පිට සියලු පොළෝ වාසීහු ඌට නමස්කාර කරන්නෝ ය. |
9. කන් ඇත්තේ අසා වා! |
10. වහල්කමට නියම තැනැත්තාට වහල්කම නියත ය. කඩුවෙන් මරන්නා, කඩුවෙන් ම මැරිය යුතු ය. සැදැහැවතුන්ට ඉවසිල්ලත් ඇදහීමත් අවශ්‍ය වන්නේ මේ නිසා ය. |
11. එවිට තවත් මෘගයෙකු පොළොවෙන් නැඟී එනු දිටිමි. බැටළු පැටවෙකුට මෙන් අං දෙකක් ඌට තිබිණි. ඌ මකරෙකු මෙන් කතා කෙළේ ය. |
12. ඌ පළමු වැනි මෘගයාගෙන් ආධිපත්‍යය ලබා, එය ඒ මෘගයා ඉදිරියෙහි මෙහෙය වී ය. මාරක තුවාළයෙන් සුවය ලැබූ පළමු වන මෘගයාට නමස්කාර කිරීමට ඌ පොළොවට හා එහි වැසියන්ට බල කෙළේ ය. |
13. සියලු මිනිසුන් ඉදිරියෙහි අහසින් පොළොවට ගිනි බස්වන තරම් මහා හාස්කම් කෙළේ ය. |
14. මෘගයා ඉදිරියෙහි කරන්නට ඉඩ දෙන ලද හාස්කම් මඟින් ඌ ලෝවැසියන් මුළා කෙළේ ය. කඩුපහර ලැබූ නමුත් තවමත් ජීවත් වන මෘගයා සඳහා රූපයක් පිහිටුවීමට පොළෝ වැසි සියල්ලන්ට ඌ නියම කෙළේ ය. |
15. ඒ ඇර කතා කරන පිණිස මෘගයාගේ රූපයට පණ දෙන්නටත්, මෘගයාගේ රූපයට නමස්කාර නොකරන සියල්ලන්ට මරණය සලසන්නටත් ඌට බලය ලැබුණේ ය. |
16. තවද, ඌ ලොකු කුඩා, දුප්පත් පොහොසත්, දාස නිර්දාස යන සියල්ලන්ට තමන්ගේ දකුණතේ හෝ නළලේ හෝ සලකුණක් ලබන්නට සැලැස්වී ය; |
17. ඒ සලකුණ වන මෘගයාගේ නාමය හෝ උගේ නාමය අඟවන අංකය හෝ ඇත්තාට මිස, අන් කිසිවෙකුට මිලයට ගන්නට වත් විකුණන්නට වත් ඉඩක් නොතැබී ය. |
18. නැණනුවණ අවශ්‍ය වන්නේ මෙතැන දී ය. නුවණැත්තා, මෘගයාගේ අංකය ගණන් බලා දැනගනී වා. මන්ද, එය මනුෂ්‍යයෙකුගේ නාමය දක්වයි. ඒ ගණන හයසිය හැට හයයි (666). |