A A A A A
අවුරුද්දකින් බයිබලය
දෙසැම්බර් 16

අාමොස් 8:1-14
1. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මේ දර්ශනය මට දැක්වූ සේක. මම පැසුණු පලතුරු ඇති කූඩයක් දිටිමි.
2. එවිට සමිඳාණන් වහන්සේ, “ආමොස්, නුඹ කුමක් දකින්නෙහි දැ”යි ඇසූ සේක. “පැසුණු පලතුරු ඇති කූඩයකැ”යි මම පිළිතුරු දුනිමි. එවිට සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල් සෙනඟගේ විනාශය පඩිසන් දෙන කාලය දැන් පැසී ඇත. ඔවුන්ට දඬුවම් කිරීමට ඇති මාගේ අදහස් මම වෙනස් නොකරමි.
3. ඒ දවසේ දී මාලිගාවේ ගී ගායනා දුක් ගාවිනා බවට හැරේ, සෑම තැන ම මළකඳන් දක්නට ලැබේ. කිසි තැනක ශබ්දයක් ඇසෙන්නට නැත.”
4. දිළිඳුන් පාගාදමා, අසරණයන්ට පීඩා කරන, ඔබ මෙයට සවන් දෙන්න.
5. ඔබ ම මෙසේ කියන්නහු ය: “අපේ ධාන්‍ය විකුණන පිණිස මාස පෝය ගෙවෙන්නේ කොයි වේලේ ද? ධාන්‍යාගාර අරින පිණිස සබත් දවස ගෙවෙන්නේ කොයි වේලේ ද? එතකොට අපට වැඩි මිලට බඩු විකිණිය හැකි ය; හොර කෝදුවෙන් මැන දිය හැකි ය; ගනු දෙනු කරන්නන් රවටන හොර තරාදි පාවිච්චි කළ හැකි ය;
6. අපට දුප්පතා සල්ලිවලට ද දුගියා සෙරෙප්පු දෙකක මිලයට ද ගත හැකි ය; එවිට බොල් වී හොඳ ගණනකට විකිණිය හැකි ය.”
7. ඉශ්රායෙල්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සිය නාමයෙන් දිවුරා මෙය වදාළ සේක: “ඔවුන්ගේ නපුරු ක්‍රියා කිසි කලෙක මම අමතක නොකරමි.
8. එබැවින් පොළොව දෙදරන්නේ ය; රටවැසි සියල්ලෝ වැලපෙන්නෝ ය. මුළු රට ම නයිල් ගඟ මෙන් නැඟී, දෙගොඩ තලා, බැස යනවා ඇත.
9. ඒ දවසේ දී, මද්දහන වේලාවේ ඉර බසින්නට සලස්වන්නෙමි; මහා දවාලේ පොළොව අන්ධකාරවන්ට සලස්වන්නෙමි. මේ වචන වදාළේ දෙවි ස්වාමීන් වන මම ය.
10. නුඹලාගේ සුබ මංගල්‍යයන් අවමංගල්‍යන් කරන්නෙමි; නුඹලාගේ තුති ගී ළතෝනි බවට හරවන්නෙමි. නුඹලාගේ බඳ වටා ගෝණි හඳවා හිස් මුඩු කරන්නෙමි. එක ම පුතාගේ මරණය නිසා වැලපෙන දෙමවුපියන් මෙන් නුඹලා වැලපෙන්නහු ය. ඒ දවස කෙළවර දක්වා තිත්ත ම තිත්ත වන්නේ ය.
11. “දේශය මුළුල්ලේ මහා සාගතයන් එවන කාලය ළං වන්නේ ය. ඒ සාගින්න කෑම සඳහා නොවේ; පිපාසය වතුර සඳහා නොවේ. එය සමිඳාණන් වහන්සේගේ වචනය ඇසීමට ඇති වන සාපිපාසය වේ. මෙසේ කියන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ය.
12. එවිට සෙනඟ සමිඳාණන් වහන්සේගේ වචනය සොයමින් උතුරේ සිට දකුණට ද නැගෙනහිර සිට බස්නාහිරට ද ඔබමොබ දුවනවා ඇත. එහෙත්, එය ඔවුන්ට සම්බ වන්නේ නැත.
13. ඒ දවසේ දී රූමත් තරුණියෝ ද ශක්තිමත් තරුණයෝ ද පිපාසයෙන් ක්ලාන්ත වී වැටෙන්නෝ ය.
14. ‘දාන්හි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද ‘බෙයර්-ෂෙබාහි ජීවමාන දෙවියන්ගේ නාමයෙන්’ කියා ද සමාරියේ දෙවිවරුන් නමින් ද දිවුරන සියලු දෙන නැවත නැඟිටින්නට නොහැකි වන ලෙස වැටෙන්නෝ ය.”

අාමොස් 9:1-15
1. සමිඳාණන් වහන්සේ පූජාසනය ළඟ සිටිනු මම දිටිමි. උන් වහන්සේ මෙසේ අණ කළ සේක: “උළුවහු සෙලවෙන හැටියට සිද්ධස්ථානයේ පේකඩවලට පහර දී, ඒවා බිඳදමා, ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩා වැටෙන්න සලස්වන්න. ඉතිරි වන සියලු දෙනා මම යුද්ධයේ දී මරාදමමි. එක මිනිහෙක් වත් ඉතුරු නොකරමි. එක් කෙනෙක් වත් බේරෙන්නේ නැත.
2. ඔවුන් පොළොව හාරා මළවුන්ගේ ලෝකයට ගියත්, මම ඔවුන් අල්ලාගනිමි. ඔවුන් සගලොව නැඟී ගියත්, එතැනින් මම ඔවුන් පහතට හෙළමි.
3. ඔවුන් කර්මෙල් කන්ද මුදුනෙහි සැඟවී සිටියත්, මම ඔවුන් සොයාගෙන අල්ලාගනිමි. ඔවුන් මට නොපෙනී මුහුදු පත්ලෙහි සැඟවුණත්, එහි දී ඔවුන් දෂ්ට කරන පිණිස මුහුදු සර්පයාට මම අණ කරමි.
4. ඔවුන්ගේ සතුරන් ඔවුන් වහල්කමට ගෙන ගියොත්, ඔවුන් කඩුවෙන් මරන ලෙස මම අණ කරමි. ඔවුන්ට පිහිටවන්නට නොව ඔවුන් විනාශ කරන්න මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.
5. “සව් බලැති දෙවි සමිඳු, අතගසන විට දෙරණට, දෙරණ සැලෙනු ඇත, සව් ලෝ සත වැලපෙනු ඇත. මිසරයේ ගඟ වන නයිල් නදිය විලසින නඟියි, බසියි මුළු දෙරණ.
6. සගලොව සිය විමන ද නර ලොව උඩින් අහස් වියන ද මවන්නේ සමිඳාණෝ ය. මුහුදේ ජලයට හඬගසා පොළොවේ වගුරුවා යවන සේක. එතුමන්ගේ නාමය සමිඳාණෝ ය.”
7. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් ජනයෙනි, මා නුඹලාත්, එතියෝපිවරුනුත් සලකන්නේ එක හා සමාන ව ය. මා නුඹලා මිසර දේශයෙන් ගෙනා සේ ම, පිලිස්තිවරුන් ක්‍රීතයේ සිට ද සිරියන්වරුන් තීර්හි සිට ද මම ගෙනාවෙමි.
8. මේ පාපිෂ්ඨ රාජ්‍යය දෙස මම බල බලා සිටිමි. මම ඒ රාජ්‍යය මිහි පිටින් විනාශ කර දමමි. එහෙත්, ඒ ඉශ්රායෙල් සෙනඟ මම සහමුලින් ම විනාශ නොකරමි.
9. “වැදගැම්මකට නැති අය වෙන් කරන පිණිස, පෙනේරෙන් ධාන්‍ය හලන්නා සේ මම ඉශ්රායෙල් සෙනඟ ජාතීන් අතරේ ඒ මේ අත හැලීමට අණ කරන්නෙමි.
10. ‘දෙවියන් වහන්සේ අපට කිසි හානියක් නොකරන සේකැ’යි කියන සෙනඟ අතරේ පව්කාරයන් වන සියල්ලන් මම කඩුවෙන් විනාශ කර දමමි.”
11. “ඒ දවසේ දී, ගරාවැටුණු ගෙයක් වැනි දාවිත් රජුගේ වංශය මම යළි පුනරුත්ථාපනය කරන්නෙමි. එහි බිත්තිවල ඇති කපොලු අහුරා, නටබුන් ප්‍රතිසංස්කරණය කර පෙර තිබුණු තත්ත්වයට පමුණුවන්නෙමි.
12. එවිට ඉශ්රායෙල් ජනයා, ඒදොම් රටේ ඉතිරි අය ද, මට හිමි ව තිබුණු ජාතීන් ද අයිති කර ගන්නෝ ය.” මෙසේ වදාරන්නේ, මෙය ඉටුවන්නට සලස්වන සමිඳාණන් වහන්සේ ය.
13. තවද සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “සීසා ඉවර වූ වහා ම අස්වැන්න ඇති වේ. බීජ වැපුරූ වහා ම මිදි මිරිකීම ඇති වේ. කඳුවලින් මිහිරි මිදිපැන් වෑස්සේ, සියලු හෙල්වලින් මිදිපැන් ගලා යේ.
14. මාගේ සෙනඟ යළි සිය රටට ගෙනෙමි, ඔව්හු නටබුන් නගර යළි ගොඩනඟා එහි ජීවත් වන්නෝ ය. ඔව්හු මිදි වතු වවා මිදියුස බොන්නෝ ය. ඔව්හු වතු ද වවා එහි පල කන්නෝ ය.
15. මා ඔවුන්ට දුන් දේශයෙහි මම ඔවුන් පිහිටුවන්නෙමි. කිසි කලෙක නැවත ඔව්හු එයින් උදුරනු නොලබන්නෝ ය.” නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක.

ගීතාවලිය 143:1-6
1. දාවිත්ගේ ගීතයකි. සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ කන්නලව්වට සවන් දුන් මැනව. ඔබේ සත්‍යවාදීකමින් ද ධර්මිෂ්ඨකමින් ද මට පිළිතුරු දුන මැනව.
2. ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව. ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.
3. සතුරා මට පීඩා කෙළේ ය. ඔහු මට පහර දී මා බිම හෙළුවේ ය. ඔහු මා අඳුරු තැනකට දැමුවේ ය. මම බොහෝ කලකට පෙර මළ කෙනෙකු මෙන් වීමි.
4. එබැවින් ම සිත අඩපණ වී ඇත. මාගේ හද තුළ කිසි සැනසුමක් නැත.
5. යටගිය දවස් මම සිහි කරමි; ඔබේ සියලු ක්‍රියා ගැන භාවනා කරමි; ඔබ කළ දේ ගැන මෙනෙහි කරමි.
6. මාගේ දොහොත් මුදුන් දී ඔබෙන් අයැදිමි; මාගේ සිත වියළි බිමක් මෙන් ඔබ කෙරෙහි පිපාසිත වේ.

හිතෝපදේශ 30:1-4
1. පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය: දෙවිඳුන් මා සමඟ නැත. මා සමඟ නැත. මම අසරණයෙක්මි.
2. මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි. මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.
3. මම කවදාවත් ප්‍රඥාව දැන නොගතිමි; දෙවිඳුන් පිළිබඳ දැනුමක් මට නැත.
4. සගලොවට නැඟී බැස ආවේ කවරෙක් ද? සිය දෑතින් සුළඟ අල්ලාගත්තේ කවරෙක් ද? සිය සළුවෙහි ජලය ඔතාගත්තේ කවරෙක් ද? මහ පොළොවේ සීමා පිහිටෙව්වේ කවරෙක් ද? ඔහුගේ නම කුමක් ද? ඔහුගේ පුත්‍රයාගේ නම කුමක් ද? නුඹ එවැනි කෙනෙකු දන්නෙහි ද?

එළිදරව්ව 6:1-17
1. එවිට බැටළු පෝතකයාණන් මුද්‍රා සතින් පළමුවැන්න කඩනවා මම දිටිමි. එකල ජීවමාන සත්ත්වයන් සතර දෙනාගෙන් එකෙකු ගිගුරුම් හඬකින් මෙන් කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි.
2. එකෙණෙහි ම මම සුදු අශ්වයෙකු දිටිමි. අසු පිට හුන් තැනැත්තා අතේ දුන්නක් තිබුණේ ය. කිරුළක් ඔහුට දෙන ලදි. ඔහු ජයග්‍රාහකයෙකුගේ විලාශයෙන් ජයෙන් ජයට පත් වන පිණිස නික්ම ගියේ ය.
3. බැටළු පෝතකයාණන් දෙ වන මුද්‍රාව කැඩූ කල, දෙ වන ජීවමාන සත්ත්වයා කතා කොට, “එන්නැ”යි කියනු ඇසීමි.
4. එවිට රතු ම රතු, තවත් අශ්වයෙක් නික්ම ආවේ ය. ඒ අසු පිට හුන් තැනැත්තාට මනුෂ්‍යයන් ඔවුනොවුන් මරා ගන්නා පිණිස, පොළොවෙන් සාමදානය දුරු කරන්නට බලය දෙන ලද්දේ ය. ඔහුට මහා කඩුවක් ද දෙන ලදී.
5. බැටළු පෝතකයාණන් තුන් වන මුද්‍රාව කැඩූ කල, තුන් වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි. එකෙණෙහි ම කළු අශ්වයෙක් එහි විය. ඒ අසු පිට හුන් තැනැත්තා අතේ, තරාදියක් තිබුණේ ය.
6. එවිට ජීවමාන සත්ත්වයන් සතර දෙනා මධ්‍යයෙන් නික්මුණු හඬක් වැනි ශබ්දයක් මට ඇසුණේ ය. එය: “තිරිඟු ලීටර් එකක් දවසේ වේතනයකි; යව ලීටර් තුනක් දවසේ වේතනයකි; එහෙත් තෙල්වලටත් මුද්‍රික පානයටත් අනතුරු නොකරන්නැ”යි කී ය.
7. බැටළු පෝතකයාණන් සතර වන මුද්‍රාව කැඩූ කල, සතර වන ජීවමාන සත්ත්වයා, “එන්නැ”යි කියනු මම ඇසීමි.
8. එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය.
9. බැටළු පෝතකයාණන් පස් වන මුද්‍රාව කැඩූ කල දෙවියන් වහන්සේගේ වචනය නිසා ද තමන් දැරූ සාක්ෂිය නිසා ද මරනු ලැබූවන්ගේ ආත්මයන් පූජාසනය යට දිටිමි.
10. ඔව්හු කතා කරමින්, “ස්වාමීනි, ශුද්ධ වූ සත්‍ය වූ තැනැන් වහන්ස, ඔබ පොළොවෙහි වාසය කරන්නන් විනිශ්චය නොකොට, අපේ ලේ ගැන ඔවුන්ගෙන් පළි නොගෙන කොපමණ කල් ප්‍රමාද වන සේක් දැ”යි මහ හඬින් මොරගසා කී හ.
11. එවිට ඔවුන් එකිනෙකාට සුදු සළුවක් දෙන ලද්දේ ය. ඔවුන් මෙන් ම මරනු ලැබීමට සිටි ඔවුන්ගේ හවුල් මෙහෙකරුවන්ගේ ද සහෝදරයන්ගේ ද ගණන සම්පූර්ණ වන තුරු තව ටික කලක් නවතින්නැ යි ඔවුන්ට කියන ලද්දේ ය.
12. බැටළු පෝතකයාණන් ස වන මුද්‍රාව කඩනවා මම බලා සිටියෙමි. එවිට මහත් භූමිකම්පාවක් ඇති විය. සූර්යයා කළු පැහැති ගෝණියක් මෙන් විය. හඳ මුළුමනින් ම ලේ මෙන් රතු විය.
13. අත්තික්කා ගසක් සැඩ සුළඟින් සෙලවී එහි අකල් පල වැටෙන්නාක් මෙන් අහසේ තාරකා පොළොව පිට වැටිණි.
14. අකුළන ලද පොතක් මෙන් අහස නොපෙනී ගියේ ය. සියලු කඳු ද දිවයින් ද ඒවා පිහිටි තැන්වලින් පහ කරන ලද්දේ ය.
15. පොළොවේ රජවරු ද උත්තමයෝ ද සේනාධිපතියෝ ද ධනපතියෝ ද බලවන්තයෝ ද දාසයෝ ද නිර්දාසයෝ ද යන මේ සියලු දෙනා ගුහාවලත්, කඳු සහ පර්වත අතරේත් සැඟවුණෝ ය.
16. ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කතා කොට, “අප පිට වැටී සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න.
17. මන්ද, ඔවුන් පිට උදහසේ මහා දවස පැමිණ තිබෙන බැවින්, ඊට මුහුණ දියහැක්කේ කාට දැ”යි කී හ.