A A A A A
අවුරුද්දකින් බයිබලය
නොවැම්බර් 20

එසකියෙල්ගේ 31:1-18
1. තවද, එකොළොස් වන අවුරුද්දේ තුන් වන මාසයේ පළමු වන දින සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2. “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝටත්, ඔහුගේ සෙනඟටත් මෙසේ කියන්න: නුඹ උසස්කමෙන් කවරෙකුට සමාන ද?
3. “නුඹ වනාහි සෙවණ ගෙන දෙන, ශෝභන අතු ඇති, වලාකුළුවල ගෑවෙන තරම් උසැති ලෙබනොන්හි කිහිරි ගසකට සමාන ය.
4. “එය වැඩෙන පිණිස වතුර ද පෝෂණය කරන පිණිස පොළොව යට උල්පත් ද තිබුණේ ය. ඒවායින් ගස වැඩෙන තැනට ජල ධාරා ගලා එන්නේ ය. එය වනයේ ඇති ගස්වලට ද දිය දහරා යැව්වේ ය.
5. “ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.
6. “ආකාශයේ සියලු පක්ෂීහු එහි අතුවල කූඩු සාදාගත්හ. එහි අතු යට වනයේ සියලු මෘගයෝ පැටවුන් ගැසූ හ. එහි සෙවණෙහි සියලු මහා ජාතීහු ද වාසය කළහ.
7. “එය විහිදී ගිය දිග අතු ඇති, ඉතා අලංකාර, මහා ගසක් විය. මක්නිසා ද, එහි මුල් බොහෝ ජලය ඇති තැන්වල ගැඹුරට ඇදී ගියේ ය.
8. “දෙවියන් වහන්සේගේ උයනේ ඇති කිසි ම කිහිරි ගසක් එයට සම කළ නොහැකි විය. දේවදාර ගස් එහි අතුවලට සමාන නො වී ය. අර්මොන් ගස් එහි රිකිලිවලට සැසඳුව විට ගණනට ගත නොහැකි විය. දෙවියන් වහන්සේගේ උයනෙහි කිසි ගසක් අලංකාරකමෙන් ඊට සමාන නො වී ය.
9. “එහි අතු රාශියෙන් මම එය අලංකාර කෙළෙමි. එබැවින් දෙවියන් වහන්සේගේ උයනෙහි, ඒදන්හි සියලු ම ගස්, ඊට ඊර්ෂ්‍යා කෙළේ ය.
10. “එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩුණ ඒ ගසට සිදු වන දේ මම නුඹට කියමි. එය උසට වැඩෙන්න වැඩෙන්න උඩඟු විය.
11. ඒ නිසා ජාතීන් අතරේ බලවන්තයා කැමැති හැටියට එයට කරන පිණිස ඔහු අතට ඒ ගස පාවා දෙන්නෙමි. ඔහු ඒ ගසේ දුෂ්ටකමට සරිලන සේ එයට කළ යුතු දේ කරන්නේ ය.
12. ජාතීන්ගෙන් ඉතා භයානක විදේශිකයෝ එය කපාදමා යන්නෝ ය. එහි අතු කඳු පිටත්, සියලු මිටියාවත්වලත් වැටෙන්නේ ය. එහි අතු කැඩී දේශයේ සියලු දිය පාරවල තිබෙන්නේ ය. පොළොවේ සියලු ජනයෝ ද එහි සෙවණෙන් ඉවත් වී එය අත්හැර යන්නෝ ය.
13. වැටී ඇති ගස් මත ආකාශයේ සියලු පක්ෂීහු ලගින්නෝ ය. එහි අතු උඩ වනයේ සියලු මෘගයෝ ඇවිදින්නෝ ය.
14. මෙතැන් සිට කිසි ම ගසකට කොපමණ හොඳට වතුර ලැබුණත් ඒ ගස මෙන් උසට වැඩෙන්නේ නැත; වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩෙන්නේත් නැත. ඒ සියල්ල පාතාලයේ සිටින අය සමඟ එක් වන පිණිස මැරෙන්නට නියම ව සිටින සුළු මිනිසුන් මෙන් මැරී යන්නට නියම වී ඇත.
15. “මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ඒ ගස පාතාලයට බැස යන දවසේ දී වැලපීමේ ලකුණක් වශයෙන් පොළොව යට වතුර ඊට නොලැබෙන්නට සලස්වන්නෙමි. මම ගංගාවන් නවත්වා එහි බොහෝ ජල ධාරාවන්ට ගලා යන්න ඉඩ නොදෙන්නෙමි. ලෙබනොන් අන්ධකාරයෙන් ආවරණය කරන්නෙමි; ගොඩබිම සියලු ගස් ද එයින් මැලවී යන්නේ ය.
16. මිනී වළට බසින්නන් සමඟ මා ඒ ගස පාතාලයට හෙළාදැමූ කල එහි වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුළවන්නෙමි. එවිට ඒදන්හි සියලු ගස් ද ලෙබනොන්හි ඉතා වටිනා ගස් ද එනම්, වතුර බොන සියල්ලන් ම, පාතාලයේ දී සැනසෙනු ඇත.
17. ඒ ගස සමඟ එහි සෙවණ යට ජීවත් වූ සියලු ජාතීන් ද කඩුවෙන් මැරුම් කෑ අය ද පාතාලයේ දී එක්වනු ඇත.
18. “ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

එසකියෙල්ගේ 32:1-32
1. තවද, දොළොස් වන අවුරුද්දේ දොළොස් වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
2. “මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජු වන පාරාවෝ ගැන විලාපයක් නඟමින් ඔහුට මෙසේ කියන්න: නුඹ ජාතීන් අතරෙහි තරුණ සිංහයෙකුට සමාන කරනු ලැබුවෙහි ය. නුඹ ජලයෙහි සිටින කිඹුලෙකු වැනි ය. නුඹේ ගංගාවල නුඹ පැන පැන ගොස්, නුඹේ පාදවලින් වතුර කළඹා ගංගා කිළුටු කෙළෙහි ය.
3. දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. රැස්ව සිටින බොහෝ ජනයන් ඇතුළු ව නුඹ පිට මාගේ දැල හෙළන්නෙමි. ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනු ඇත.
4. එවිට මම නුඹ බිම දමා, පොළෝ තලය මතු පිට හෙළා ආකාශයේ සියලු පක්ෂීන් නුඹ පිට වහන්නටත්, මුළු පොළොවේ සත්ත්වයන් නුඹේ මාංසය කා තෘප්තියට පැමිණෙන්නටත් සලස්වන්නෙමි.
5. මම නුඹේ මාංස කඳු පිට විසුරුවා මිටියාවත් මළකඳන්වලින් පුරවන්නෙමි.
6. නුඹේ ලේ කඳු දක්වා ගලා ගොස් දිය ඇලවල් එයින් පිරෙනු ඇත.
7. නුඹ විනාශ වන කල, මම අහස මුවා කොට, එහි තාරකා අඳුරු කර, වලාකුළකින් ඉර වසන්නෙමි; සඳත් එහි එළිය නොදෙන්නේ ය.
8. අහසේ බබළන සියලු ආලෝකයන් නුඹ නිසා මම අඳුරු කොට, නුඹේ දේශය මත අන්ධකාරය පමුණුවන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
9. “නුඹ නොදත් රටවලට, ජාතීන් අතරට, නුඹ වහල්කමට ගෙන යන කල, මම බොහෝ ජනයන්ගේ සිත් ශෝක කරවන්නෙමි.
10. එසේ ය, මම නුඹට කරන දේ ගැන බොහෝ ජනයන් විස්මයට පමුණුවන්නෙමි. ඔවුන් ඉදිරිපිට මාගේ කඩුව ලෙළවන කල ඔවුන්ගේ රජවරු නුඹ නිසා භීතියෙන් තැතිගන්නෝ ය. නුඹේ වැටීමේ දවසේ දී ඔව්හු එක එකා තම තමාගේ ප්‍රාණ ගැන මොහොතෙන් මොහොත වෙවුළන්නෝ ය.
11. “මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බබිලෝනියේ රජුගේ කඩුව නුඹ පිට පතිත වන්නේ ය.
12. ජාතීන්ගෙන් ඉතා දරුණු අය වන මාගේ බලවතුන්ගේ කඩු පහරින් නුඹේ සෙනඟ විනාශ කරන්නට මම සලස්වන්නෙමි. ඔවුන් මිසරයේ අභිමානය බිඳදමනු ඇත. එහි මුළු ජනගහනය විනාශ වනු ඇත.
13. මම එහි සියලු මෘගයන් ජලය පිරී ඇති තැන්වලින් විනාශ කරන්නෙමි. මිනිසුන්ගේ පාදවලට ඒවා තවත් බොරවන්නේ නැත. මෘගයන්ගේ කුරවලටත් ඒවා බොරවන්නේ නැත.
14. නුඹේ ජලය පෑදෙන්නටත්, නුඹේ ගංගා තෙල් මෙන් ගලා යන්නටත් සලස්වන්නෙමි.
15. මා මිසර දේශය නිර්ජන කර, එහි ඇති සියලු දේශ නැති කර, එහි සියලු වැසියන්ට මා පහර දෙන කල ද මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.
16. මිනිසුන් අතර නඟන විලාපය මේ ය: ‘ජාතීන්ගේ කාන්තාවන් ඒ ගැන විලාප කියනු ඇත. මිසරය ගැනත්, එහි මුළු සමූහය ගැනත් ඔවුන් විලාප කියනු ඇත.’ මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”
17. තවද, දොළොස් වන අවුරුද්දේ පළමු වන මාසයේ පහළොස් වන දා සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:
18. “මනුෂ්‍ය පුත්‍රය, නුඹ මිසරයේ මුළු ජනගහණය ගැන විලාප ගීයක් ගයන්න. ඔවුන් සහ බලවත් ජාතීන්ගේ කාන්තාවන් ද වළ පල්ලට යන අය සමඟ පොළොවේ යට ඇති පාතාලයට හෙළන්න.
19. නුඹ කවරෙකුට වඩා රූපසම්පන්න වන්නෙහි ද? නුඹ බැස ගොස් අචර්මඡේදිතයන් සමඟ වැටී හිඳින්න.
20. “කඩුවෙන් මැරුම් කන අය අතරෙහි ඔවුන් වැටෙනු ඇත. ඈ සහ ඇගේ සියලු සමූහයන් මැරී සිටිනු ඇත.
21. බලවතුන්ගේ උත්තමයෝ ඔහුගේ සහකාරයන් සමඟ පාතාලය මැද සිට ඔහුට කතා කරති. අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය බැස ගොස් වැටී සිටිති.
22. “අසිරියාව සහ ඇගේ මුළු හමුදාව එහි ය. ඔවුන්ගේ මිනී වළවල් ඔහු අවටින් ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම කඩුපහරින් වැටී මැරුම් කෑහ.
23. ඔවුන්ගේ මිනී වළවල් පාතාලයේ ඉතා ගැඹුරු තැන්වල සාදා තිබේ. ඇගේ හමුදාව ඇගේ මිනී වළ වටකර සිටිති. ජීවත් වෙන්නවුන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ.
24. “එහි ඒලාම් සහ ඇගේ මිනී වළ වටකර ඇගේ මුළු හමුදාව සිටිති. ඔව්හු සියල්ලෝ ම කඩු පහරින් වැටී මැරුම් කෑහ. ජීවත්වූවන්ගේ දේශයෙහි භීතිය ඉපදවූ ඔව්හු අචර්මඡේදිත ව පොළොවේ පාතාල තැන්වලට බැස ගියෝ ය. ඔව්හු ද වළ පල්ලට යන අය සමඟ තමන්ගේ නින්දාව දරා සිටිති.
25. මැරුම්කෑ අය කෙරෙහි ඇගේ මුළු හමුදාව මධ්‍යයෙහි ඈට යහනක් තබා තිබේ. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩුපහරින් මැරුම්කෑ අය ය. ජීවත් ව සිටිය දී ඔව්හු භීතිය පතුරුවා හැරියෝ ය. එහෙත්, දැන් ඔව්හු මරණයට ගොදුරු වී පාතාල ලෝකයට බැස යන්නන් සමඟ නින්දාවට පත් වෙති.
26. “එහි මෙෂෙක් ද තුබල් ද ඇගේ මුළු හමුදාව සමඟ සිටිති. ඔවුන්ගේ මිනී වළවල් ඈ වටකර ඇත්තේ ය. ඔව්හු සියල්ලෝ ම අචර්මඡේදිත වූ, කඩු පහරින් මැරුම්කෑ අය වෙති. එහෙත් වරක් ඔව්හු ජීවත් ව සිටින්නන් භීතියට පත් කළහ.
27. වැටී තමන්ගේ යුද්ධායුධ පිටින් පාතාලයට බැස ගියාවූ, තමන්ගේ කඩු තමන්ගේ හිස යට තබාගත්, තමන්ගේ පලිස් තමන්ගේ ඇටකටු මත තබාගත්, අචර්මඡේදිත බලවතුන් සමඟ ඔව්හු වැටී නොසිටින්නෝ ය. කුමක්නිසා ද, ජීවත් ව සිටින්නන්ගේ දේශයෙහි ඔව්හු බලවතුන්ට භීතියක් ව සිටියෝ ය.
28. “එහෙත්, අචර්මඡේදිතයන් අතරෙහි නුඹ පොඩි වී නැසුණු අය සමඟ වැටී සිටින්නෙහි ය.
29. “එහි ඒදොම් සහ ඇගේ රජවරු ද ඇගේ සියලු ම අධිපතීහු ද සිටිති. ඔව්හු බලවන්තයන් ව සිටි නමුත්, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ තැන්පත් කරනු ලැබුවෝ ය. ඔවුන් අචර්මඡේදිතයන් ද වළ පල්ලට යන්නන් ද සමඟ වැටී සිටිනු ඇත.
30. “එහි උතුරු දිශාවේ සියලු උත්තමයෝ ද සියලු සීදොන්වරු ද සිටිති. ඔව්හු මැරුම්කෑ අය සමඟ බැස ගියෝ ය. ඔව්හු තමන්ගේ බලවන්තකමෙන් ඉපදවූ භීතිය ගැන ලජ්ජා වී, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ වැටී ඉඳ, වළ පල්ලට යන්නන් සමඟ තමන්ගේ නින්දාව දරති.
31. “පාරාවෝ සහ ඔහුගේ මුළු සේනාව කඩුවෙන් මැරුම්කෑ අය දැක සතුටුවන්නෝ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
32. “වරක් ජීවත් ව සිටින අයගේ දේශය මුළුල්ලේ භීතිය පැතිරෙව්වේ ය. එහෙත්, පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී සිටිති. දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

ගීතාවලිය 130:1-4
1. සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.
2. සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
3. සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
4. එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.

හිතෝපදේශ 28:28-28
28. නොදැහැමි අය බලයට පත් වන විට වැසියෝ බියෙන් සැඟවෙති; ඔවුන් වැනසෙන විට දැහැමියෝ බලයට පත් වෙති.

ජාකොබ් 1:1-27
1. දෙවියන් වහන්සේගේත් ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේත් සේවකයෙකු වන ජාකොබ් නම් මම, ලොව පුරා විසිර සිටින ගෝත්‍ර දොළොසට සුබ පතමින් මෙය ලියා එවමි.
2. මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන,
3. විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න.
4. ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේ වා.
5. ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.
6. එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය.
7. එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා.
8. ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය.
9. පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද,
10. ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය.
11. දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි.
12. කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.
13. පරීක්ෂා කරනු ලබන කල, “මා පොළඹවන්නේ දෙවියන් වහන්සේ ය”යි කිසිවෙක් නොකියා වා. දෙවියන් වහන්සේ නපුරෙන් පෙළඹෙන්නේ නැත. කිසිවෙකු පොළඹවන්නෙත් නැත.
14. ඒ ඒ මිනිසාට පරීක්ෂාව පැමිණෙන්නේ තම තමාගේ ම තෘෂ්ණාවෙන් මුළා වී පෙළඹෙන විට ය.
15. මෙසේ තෘෂ්ණාව පිළිසිඳ, පාපය බිහි කරයි. පාපය ද මුහුකුරා ගොස් මරණය සිදු කරයි.
16. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, නොරැවටෙන්න.
17. සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.
18. උන් වහන්සේ මැවූ සත්ත්වයන් අතර අප මුදුන් මල්කඩ වීමේ පෙර ලකුණු වශයෙන්, සිය අරමුණ අනුව උන් වහන්සේ සත්‍ය වචනයෙන් අප ජනිත කළ සේක.
19. මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, මෙය තේරුම්ගන්න. ඔබ එකිනෙකා සවන් දීමට ඉක්මන් වන්න, කතා කිරීමටත් කෝප වීමටත් පමා වන්න.
20. මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත.
21. එහෙයින් සියලු අධම දෙය ද දමනය කළ නොහැකි දුෂ්ටකම ද ඉවත ලා ඔබට ගැළවීම සාදා දිය හැකි, ඔබ සිත් සතන්හි මුල් බැසගත් දහම් පණිවුඩය යටහත් ලෙස පිළිගන්න.
22. එහෙත්, තමන් ම රවටා නොගෙන දහම් පණිවුඩය අසන්නන් පමණක් නොවී, එය පිළිපදින්නෝ වන්න.
23. මන්ද යමෙක් දහම් පණිවුඩය අසන නමුත් එය නොපිළිපදින්නේ නම්, ඔහු කැඩපතකින් තමාගේ මුහුණ ඇති සැටියෙන් බලන මනුෂ්‍යයෙකුට සමාන ය.
24. ඔහු තම රූපය දෙස බලා අහක් ව ගිය පසු, තමා කෙබඳු මනුෂ්‍යයෙක් දැ යි වහා ම අමතක කරයි.
25. එහෙත් නිදහස ගෙනදෙන සර්ව සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස මැනැවින් බලා, එය අසා අමතක කරන්නෙකු නොවී එය ක්‍රියාවෙහි යොදමින් ඒ අනුව ජීවත් වන තැනැත්තේ එසේ කිරීමෙන් ආසිරි ලබන්නේ ය.
26. යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.
27. අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.