A A A A A
අවුරුද්දකින් බයිබලය
නොවැම්බර් 13

එසකියෙල්ගේ 17:1-24
1. සමිඳාණන් වහන්සේ මට කතාකොට මෙසේ වදාළ සේක:
2. “මනුෂ්‍ය පුත්‍රය, නුඹ ඉශ්රායෙල් වංශයට ප්‍රහේලිකාවක් ද උපමාවක් ද කියමින්,
3. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි පවසන්න. ‘විශාල පියාපත් ද දිග පිහාටු ද නා නා පැහැ ඇති පිහාටු රැසකින් ද විසිතුරු වූ යෝධ රාජාලියෙක් ලෙබනොන්ට අවුත් කිහිරි ගහේ මුදුන කඩා ගත්තේ ය.
4. ඔහු එහි මුදුන් රිකිලි කඩා, වෙළහෙළඳාම් කරන දේශයකට එය ගෙනවුත් වෙළෙඳුන්ගේ නුවරක එය සිටෙව්වේ ය.
5. ඔහු දේශයෙන් පැළෑටියක් රැගෙන සාරවත් බිමක සිටෙව්වේ ය. ඔහු එය බොහෝ දිය ඇති ගඟක් ළඟ පැළෑටියක් මෙන් සිටෙව්වේ ය.
6. එය වැඩී පැතිරී යන විට මිදි වැලක් වී ය. එහි අතු රාජාලියා දෙසට වැඩී ගියේ ය. එහි මුල් ගැඹුරට ඇදී ගියේ ය. මෙසේ එහි අතු රිකිලි විහිදී මිදි වැලක් විය.
7. “ ‘තවද, මහා පියාපත් සහ බොහෝ පිහාටු ඇති තවත් යෝධ රාජාලියෙක් විය. එවිට අර මිදි වැල සිය මුල් ඔහු දෙසට හරවා, ඔහු එයට වතුර වත් කරනු ඇතැ යි යන බලාපොරොත්තුවෙන් එහි පිහිටුවා තිබුණු පාත්තිවලින් එහි අතු ඔහු දෙසට හැරෙව්වේ ය.
8. සරු සාර මිදි වැලක් වනු වස්, අතු ලියලා පල දෙන පිණිස එය සාරවත් බිමක බොහෝ දිය ඇති ගඟක් ළඟ හිටවා තිබුණේ ය.
9. “ ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ අසන සේකැ යි කියන්න. ඒ මිදි වැල සඵල වේ ද? එය වියළී යන පිණිස පළමු රාජාලියා එහි මුල් උදුරා, පල කඩාදමා සියලු ළා දලු වියළී යන්නට හරින්නේ නැද් ද? මුල් පිටින් එය උදුරාදමන්නට ශක්තිසම්පන්න හස්තයක් වත්, බලවත් සෙනඟ වත් ඕනෑ නොවන්නේ ය.
10. එය අන් තැනක සිටුවා තිබෙන නමුත්, එය සශ්‍රීක වේ ද? පෙරදිග සුළඟ ඊට වදින විට එය සහමුලින් ම වියළී නොයන්නේ ද? එය වැඩෙන පාත්තිවල ම එය වියළී යන්නේ නැද් ද?’ “
11. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
12. “මේ කරුණු කවරේ ද කියා නුඹලා දන්නේ නැද්දැ”යි කැරලිකාර වංශයට කියන්න. බබිලෝනියේ රජ ජෙරුසලමට අවුත් එහි රජු සහ එහි අධිපතීන් ද රැගෙන තමා සමඟ බබිලෝනියට ගෙන ගියේ ය.
13. “ඔහු රාජ වංශයේ කෙනෙකු ගෙන, ඔහු සමඟ ගිවිසුමක් කොට, ඔහු විශ්වාස ව සිටින බවට දිවුරුම් ගත්තේ ය. ඉක්බිති ඔහු දේශයේ ප්‍රධානීන් ගෙන ගියේ ය.
14. මෙසේ කෙළේ, රාජ්‍යය පහත් තත්ත්වයේ ම සිට උසස් නොවන පිණිසත්, ගිවිසුම පවත්වන බවට සහතික වන ලෙසත් ය.
15. එහෙත්, ජුදාවේ රජ කැරලිගසා අශ්වයන් සහ බොහෝ සෙනඟ ලබාගන්න පිණිස තමාගේ තානාපතියන් මිසරයට යැව්වේ ය. ඔහු ජය ගනීවි ද? මෙබඳු දේ කරන්නාට ගැළවෙන්න පුළුවන් ද? ගිවිසුම කඩ කළායින් පසුත් ඔහුට ගැළවෙන්න හැකි වේ ද?
16. “මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ‘ඔහු රජකමට පත් කළ රජුගේ දිවුරුම් ඔහු සුළු කොට ඔහුගේ ගිවිසුම කඩ කළ නිසා, ඔහු ඒ රජු වාසය කරන බබිලෝනියේ දී ම ඒ රජු ළඟ ම නසින්නේ ය.
17. ඔහු බොහෝ දෙනෙකු සිඳදමන පිණිස පස් කඳු සාදා බලකොටු ගොඩනඟන කල, යුද්ධයෙහි දී පාරාවෝ තමාගේ බලවත් සේනාව ද මහා සමූහය ද ඇති ව ඔහු උදෙසා කිසි උදව්වක් කරන්නේ නැත.
18. මන්ද, ඔහු ගිවිසුම කඩ කර දිවුරුම සුළු කෙළේ ය. ඔහු අත හිත දී තිබුණ නමුත්, මේ සියල්ල කෙළේ ය. ඔහු නොගැළවෙන්නේ ය.’ “
19. එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි: ඔහු සුළු කෙළේ මාගේ දිවුරුම ය; ඔහු කඩ කෙළේත් මාගේ ගිවිසුම ය; මම ද ඔහුට දුර්විපාක දෙන්නෙමි.
20. මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි. ඔහු මාගේ මලපතට අසු වන්නේ ය. මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධ ව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහි දී ඔහු විනිශ්චයයට පමුණුවන්නෙමි.
21. ඔහුගේ සියලු හමුදාවලින් පලා යන සියල්ලන් කඩු පහරින් වැටෙනු ඇත. ඉතිරි වන අය සියලු දිශාවලට විසුරුවනු ලබනු ඇත. නුඹලා ද සමිඳාණන් වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහු ය.”
22. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “උස් වූ කිහිරි ගස් මුදුනෙන් මම ම රිකිල්ලක් ගෙන එය සිටුවන්නෙමි. එහි මුදුන් රිකිලිවලින් ළපටි රිකිල්ලක් කඩාගෙන උසට උසේ ඇති කන්දක් මුදුනේ සිටුවන්නෙමි.
23. මම එය උස් වූ ඉශ්රායෙල් කන්ද උඩ සිටුවන්නෙමි. එයින් අතු ලියලන්නේ ය; එහි පලදාව හටගන්නේ ය; එය උතුම් කිහිරි ගසක් වන්නේ ය. පියාපත් ඇති සියලු ආකාර පක්ෂීහු යට ලගින්නෝ ය. ඒ අතුවල සෙවණෙහි උන් ලගිනු ඇත.
24. එවිට, ස්වාමීන් වන මා උස් ගහ පහත් කළ බවත්, මිටි ගහ උස් කළ බවත්, සරු ගහ වියළි කළ බවත්, වියළි ගහ සරුකර ඇති බවත් දේශයේ සියලු ගස් දැනගනු ඇත. ස්වාමීන් වන මම මෙසේ වදාළෙමි; වදාළ ලෙස ම කරමි.”

එසකියෙල්ගේ 18:1-32
1. සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක:
2. “ ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය; දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඉශ්රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද?
3. “ඉශ්රායෙල්හි මේ ප්‍රස්තාව පිරුළ මින්පසු කියනු නොලැබේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි.
4. බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය; පියාගේ ජීවිතය මෙන් පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය.
5. “දැහැමි මිනිසා නීති ගරුක, අහිංසක පුද්ගලයෙකි,
6. ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත; ඔසප් වී සිටින ස්ත්‍රියක වෙත ළඟා වන්නේ නැත;
7. කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් නොකරන්නේ ය; සාගින්නේ පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;
8. ඔහු පොලියට මුදල් නොදෙයි; අයුතු ලාභ නොගනියි; නපුරෙන් වැළකෙයි. එකිනෙකා අතරේ සාධාරණ ලෙස යුක්තිය ඉටු කරයි;
9. මාගේ පණත් ප්‍රකාර හැසිරෙයි. මාගේ නියමයන් අවංක ව පවත්වයි. එවැනි මිනිසෙක් ධර්මිෂ්ඨ ය. ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.
10. “මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්,
11. මේ පුත්‍රයා කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ ය; අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ ය.
12. අසරණයාට ද දිළින්දාට ද පීඩා කොට කොල්ලකන්නේ ය; ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු නොදෙන්නේ ය; දේව රූප දෙසට නෙත් යොමා,
13. පිළිකුල් ක්‍රියා කරන්නේ ය; පොලියට දී අයුතු ලාභ ද ගන්නේ ය. ඒ පුත්‍රයා ජීවත් වන්නේ ද? නැත. ඔහු ජීවත් වන්නේ නැත. ඔහු මේ සියලු පිළිකුල් ක්‍රියා කළ බැවින් ඔහු සැබැවින් ම නසින්නේ ය. ඔහුගේ විනාශයට ඔහු ම වගකිව යුතු වේ.
14. “එහෙත්, ඒ මිනිසාගේ මේ පුත්‍රයාට, තමාගේ පියා කළ සියලු පාප දැක, බිය වී, එලෙස නොකරන පුතෙකු සිටින්නට පුළුවන.
15. ඔහු කිසි කලක කඳු මත පූජාස්ථානවල කෑම කන්නේ නැත; ඉශ්රායෙල්හි දේව රූප දෙසට නෙත් යොමු කරන්නේ නැත. අන් කෙනෙකුගේ භාර්යාව දූෂණය කරන්නේ නැත.
16. කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;
17. ඔහු නපුරෙන් වැළකී සිටියි. පොලියට මුදල් නොදෙයි. අයුතු ලාභ නොගනියි. මාගේ නියෝග පිළිපැද මාගේ පණත් අනුව හැසිරෙන්නේ ය. මේ මිනිසා තමාගේ පියාගේ අයුතුකම නිසා නොනැසී සැබැවින් ම ජීවත් වන්නේ ය.
18. “අනිත් අතට ඔහුගේ පියා කෲර ලෙස පීඩා කොට, තමාගේ සහෝදරයාගෙන් කොල්ලකා, තමාගේ සෙනඟ අතරේ නපුරු දේ කළ හෙයින් තමාගේ ම අපරාධ නිසා නැසුණේ ය.
19. “එහෙත්, පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පණත් පිළිපැද, ඒවා ඉටු කර තිබේ නම්, ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය.
20. පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිවයුත්තෙක් නොවේ; පියා ද පුත්‍රයාගේ අයුතුකමට වගකිවයුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේ ය.
21. “එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාපවලින් හැරී, මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත්, ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය.
22. ඔහු කළ ඔහුගේ සියලු වරද ඔහුට විරුද්ධ ව සිහි නොකරනු ලැබේ. ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨකම නිසා ඔහු ජීවත්වන්නේ ය.
23. දුෂ්ටයා තමාගේ මාර්ගයෙන් හැරී ජීවත් වීම මිස ඔහු නැසී යාම කිසි ලෙසකින් වත් මට සතුටක් වනු ඇද්දැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ අසන සේක.
24. “එහෙත්, ධර්මිෂ්ඨයෙක් තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කොට, දුෂ්ටයා කරන සියලු ම පිළිකුල් ක්‍රියා කළොත්, ඔහු ජීවත් වේ ද? ඔහු කළ ඔහුගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් කිසිවක් සිහි කරනු නොලැබේ. ඔහු කළ ඔහුගේ ද්‍රෝහිකම් නිසාත්, ඔහු කළ ඔහුගේ පාප නිසාත් ඔහු නසින්නේ ය.
25. “එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා අසාධාරණ ය”යි නුඹලා කියන්නහු ය. අහෝ ඉශ්රායෙල්වරුනි! අසන්න. මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
26. ධර්මිෂ්ඨයෙකු තමාගේ ධර්මිෂ්ඨකමෙන් හැරී, අධර්මිෂ්ඨකම් කරමින් සිට නසින කල ඔහු නසින්නේ, තමා කළ තමාගේ අධර්මිෂ්ඨකම් නිසා ය.
27. යළිත්, දුෂ්ටයා තමා කළ දුෂ්ටකමෙන් හැරී, නීති ගරුක ව ද අවංක ව ද සිටින කල ඔහු තමාගේ ජීවිතය රැකගන්නේ ය.
28. ඔහු වරද තේරුම්ගෙන තමාගේ සියලු ම වැරදිවලින් හැරෙන නිසා, ඔහු නොනැසී ජීවත් වන්නේ ම ය.
29. එහෙත්, සමිඳාණන් වහන්සේගේ ක්‍රියා සාධාරණ නැතැ යි ඉශ්රායෙල් වංශය කියති. අහෝ ඉශ්රායෙල් වංශය! මාගේ ක්‍රියා සාධාරණ නොවේ ද? සාධාරණ නැත්තේ නුඹලාගේ ක්‍රියා නොවේ ද?
30. “එබැවින්, අහෝ ඉශ්රායෙල්වරුනි, මම නුඹලා එකින් එකා පෞද්ගලික වශයෙන් තම තමාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන්නෙමි යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. පසුතැවී සිත් හරවා ගෙන නුඹලා කළ සියලු වරද හැර දමන්න; එවිට අයුතුකම නුඹලාගේ විනාශයට කාරණයක් නොවන්නේ ය.
31. නුඹලා කළ නුඹලාගේ සියලු වරද නුඹලා වෙතින් ඉවතදමා අලුත් සිතක් ද අලුත් මනසක් ද නුඹලාට ම සලසාගන්න. ඉශ්රායෙල්වරුනි, නුඹලා නසින්නේ කුමට ද?
32. කිසිවෙකු මැරෙනවාට මාගේ කැමැත්තක් නැත. එබැවින්, පාපයෙන් හැරී ජීවත් වන්න. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”

ගීතාවලිය 124:1-8
1. දාවිත් විසිනි. ඉශ්රායෙල් මෙසේ කියත් වා! “අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
2. අපට විරුද්ධ ව සතුරන් නැඟිට ආ කල, අපේ පැත්තට සමිඳාණෝ නොසිටි සේක් නම්,
3. ඔවුන්ගේ උදහස අපට විරුද්ධ ව ඇවුළුණු කල, අප පණපිටින් ගිල ගන්නට ඔවුන්ට ඉඩ තිබිණි.
4. එවිට ජලයෙන් අප වැසී යන්නට ඉඩ තිබිණි; දිය දහරින් අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
5. සැඬ ජල කඳ අප යට කොට ගසාගෙන යන්නට ඉඩ තිබිණි.
6. අපේ සතුරන්ට අප ගොදුරු වීමට ඉඩ නුදුන් සමිඳාණන්ට ප්‍රශංසා වේ වා!
7. පක්ෂි වැද්දාගේ උගුලෙන් ගැළවී යන පක්ෂියෙකු මෙන් අපි මිදුණෙමු; උගුල බිඳී ගියේ ය. අපි ගැළවුණෙමු.
8. අපේ පිහිටට ඇත්තේ, අහසත්, පොළොවත් මැවූ සමිඳුන්ගේ නාමය ය.”

හිතෝපදේශ 28:21-21
21. තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.

හෙබ්‍රෙව් 9:1-28
1. සැබැවින් ම පළමු වන ගිවිසුම සම්බන්ධයෙන් පවා පූජා විධාන ද භෞමික ශුද්ධස්ථානයක් ද තිබුණේ ය.
2. එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් රොටි ද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.
3. දෙ වන තිරය පිටුපස අතිශුද්ධස්ථානය යයි නම් ලත් මණ්ඩපය තිබිණි.
4. එහි රන්මුවා ධූම පූජාසනය ද සහමුලින් රන් ආලේප කළ ගිවිසුම් කරඬුව ද තිබුණේ ය. ඒ කරඬුවේ මන්නා දැමූ රන් බඳුන ද ආරොන්ගේ දලු ලෑ සැරයටිය ද ගිවිසුමේ ශිලාලේඛන ද විය.
5. ඒ මත කෙරුබ්වරු දිව්‍ය තේජසින් කරුණාසනය වසා සිටියහ. දැන් මේවා ගැන දීර්ඝ විස්තරයක් කිරීමට ඉඩක් නැත.
6. මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති.
7. එහෙත් දෙ වන මණ්ඩපයට නායක පූජකයා පමණක් වසරකට වරක් ඇතුළු වේ. ඔහු තමා උදෙසාත්, සෙනඟගේ පව් උදෙසාත් ඔප්පු කරන පිණිස ලේ රැගෙන එහි ඇතුළු වෙයි.
8. ඒ පළමු වන මණ්ඩපය තිබෙන තුරු ශුද්ධස්ථානයට පැමිණෙන මාර්ගය ප්‍රකාශ වී නැති බව මෙයින් ශුද්ධාත්මයාණන් වහන්සේ පැහැදිලි ව පෙන්වන සේක.
9. මේ සියල්ල වර්තමාන තත්ත්වය හඟවන සංකේතයකි. එහි නියම කර ඇති පඬුරු හා පූජා ඒවා ඔප්පු කරන්නා හට අභ්‍යන්තර පරිපූර්ණත්වයක් ගෙන නොදෙයි.
10. මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.
11. එහෙත් ක්‍රිස්තුන් වහන්සේ දැනට ම ඇති යහපත් දේ පිළිබඳ උත්තම පූජකයාණන් වශයෙන් පැමිණි විට, උන් වහන්සේ වඩා උතුම් හා වඩා සම්පූර්ණ, මිනිස් අතින් නොසෑදූ, එනම්, මේ භෞතික මැවිල්ලට අයිති නොවන මණ්ඩපය මැදින් වැඩිය සේක.
12. උන් වහන්සේ එළුවන්ගේත්, වස්සන්ගේත් ලෙයින් නොව, තමන්ගේ ම ලෙයින් අප උදෙසා සදාතන විමුක්තිය ලබා සදහට ම එක වරක් ශුද්ධස්ථානයට ඇතුළු වූ සේක.
13. මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.
14. එසේ නම්, ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස ඔබගේ හෘදය සාක්ෂිය නිෂ්ඵල ක්‍රියාවලින් පිරිසිදු කරනු ලැබීම, සදාතන ආත්මයාණන් මඟින් තමන් ම කැළලක් නැති ව දෙවියන් වහන්සේට පූජා වූ, ක්‍රිස්තුන් වහන්සේගේ ලේ කරණකොටගෙන, ඊටත් ඉතා වැඩියෙන් පිරිසිදු නොවන්නේ ද?
15. මේ කාරණය නිසා, කැඳවනු ලැබූවන්ට සදාතන උරුමයේ පොරොන්දුව ලැබෙන පිණිස උන් වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාරයාණෝ වන සේක. එසේ වන්නේ පළමු වන ගිවිසුමේ කාලයේ දී කළ පාප ක්‍රියාවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිදු වූ බැවිනි.
16. අන්තිම කැමැති පත්‍රයක් වලංගු වීමට නම්, එහි අත්සන් කළ තැනැත්තා මළ බව ඔප්පු කළ යුතු ය.
17. එවැනි ගිවිසුමක් ස්ථීර වන්නේ මරණයෙන් පසු ව ය. ගිවිසුම කළ තැනැත්තා ජීවත් ව සිටිනතුරු එය කොහෙත් ම වලංගු නැත.
18. පළමු වන ගිවිසුම වුව ද ලේ නැති ව පිහිටුවනු නොලැබුවේ ඒ නිසා ය.
19. මන්ද, මෝසෙස් ව්‍යවස්ථාව අනුව මුළු ජනතාවට සියලු ආඥා කියා දුන් පසු, වස්සන්ගේත්, එළුවන්ගේත් ලේ සමඟ වතුර ද රතු ලොම් ද හිසොප් ද ගෙන:
20. “මේවා දෙවියන් වහන්සේ විසින් ඔබ ගැන නියෝග කළ ගිවිසුමේ ලේ ය”යි කියමින් පොතත් මුළු ජනතාවත් මත ඉස්සේ ය.
21. එසේ ම ඔහු මණ්ඩපයටත්, සියලු තේවා භාජනවලටත් ලේ ඉස්සේ ය.
22. ව්‍යවස්ථාව අනුව සියලු දෙය ම ලෙයින් පවිත්‍ර කරනු ලැබේ යයි කිව හැකි ය. ලේ වැගිරීමක් නැති ව පව් කමාවක් නැත.
23. එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය.
24. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.
25. නායක පූජකයා අනුන්ගේ ලේ රැගෙන අවුරුදුපතා ශුද්ධස්ථානයට, ඇතුළු වන්නාක් මෙන්, උන් වහන්සේ නැවත නැවතත් තමන් ම ඔප්පු කරන පිණිස ඇතුළු නො වූ සේක.
26. එසේ නොවූයේ නම්, ලෝකය මැවීමේ පටන් නොයෙක් වර, උන් වහන්සේට වද වේදනා විඳීම අවශ්‍ය වනු ඇත. එහෙත් උන් වහන්සේ තමන් ම පූජා කිරීමෙන් පාපය දුරු කරන පිණිස මේ යුගාන්තයේ දී සදහට ම එක වරක් ප්‍රකාශ වූ සේක.
27. තවද එක වරක් මරණයත්, ඉන්පසු විනිශ්චයත් මිනිසාට නියම ව ඇති සේ ම,
28. බොහෝ දෙනෙකුගේ පව් දුරු කරන පිණිස එක ම වරක් ක්‍රිස්තුන් වහන්සේ දිවි පිදූ සේක. තවද, පාපය දුරු කරන පිණිස නොව, උන් වහන්සේගේ ආගමනය බලා සිටින්නන්ට ගැළවීම දෙන පිණිස, උන් වහන්සේ දෙ වන වර ප්‍රකාශ වන සේක.