A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 6

යෙසායා 63:1-19
1. ඒදොම්හි සිට රතු ලේ පැහැති ඇඳුම් ඇඳ, අලංකාර වස්ත්‍රවලින් සැරසී, මහා බලසම්පන්න ව ගමන් කරමින් බොශ්රාවෙන් එන මේ තැනැත්තා කවරෙක් ද? ඒ වනාහි, ජයග්‍රහණය ප්‍රකාශ කරන පිණිස ගැළවීම ගෙන දෙන්න බලවත් වන සමිඳාණෝ ය.
2. ඔබේ ඇඳුම් රතු ව තිබෙන්නේ කුමක් නිසා ද? ඔබේ වස්ත්‍ර මිදි පැසේ මිදි පාගන්නෙකුගේ ඇඳුම් මෙන් තිබෙන්නේ කුමක් නිසා ද?
3. සමිඳාණෝ මෙසේ පිළිතුරු දෙන සේක: “මම මිදි යන්ත්‍රයක මිදි පල මෙන් ජාතීන් තනියම පෑගුවෙමි. මාගේ උදව්වට සෙනඟගෙන් කිසිවෙක් නොසිටියේ ය. එමෙන් මාගේ උදහසින් ඔවුන් පෑගුවෙමි. මාගේ කෝපයෙන් ඔවුන් පොඩි කෙළෙමි. ඔවුන්ගේ රුධිරය මාගේ ඇඳුම්වල ඉසී තිබේ; එයින් මාගේ සියලු ඇඳුම් කැළැල් වී ඇත.
4. මාගේ සෙනඟ ගළවාගත යුතු කාලය පැමිණ ඇති බවත්, ඔවුන්ගේ සතුරන්ට දඬුවම් දිය යුතු දවස පැමිණ ඇති බවත් මම සිතට ගතිමි.
5. මා බැලූ කල මට උදව් වන්න කිසිවෙකු නොසිටි බව දුටු විට මම පුදුම වීමි. එහෙත්, මාගේ කෝපයෙන් මම වේගවත් ව මාගේ ම ශක්තියෙන් ජය අත්කර ගතිමි.
6. මාගේ උදහසින් ජාතීන් පාගාදමා, මාගේ කෝපයෙන් ඔවුන් මත් කරවා, ඔවුන්ගේ රුධිරය බිම වැගිරෙව්වෙමි.”
7. සමිඳුන්ගේ ස්ථිර ප්‍රේමය ගැන ද එතුමාණන් අපට කර ඇති සියල්ල ගැන ද එතුමාණන්ගේ දයානුකම්පාවත්, සීමා රහිත දයාවත් අනුව ඉශ්රායෙල් සෙනඟට දුන් සියලු ආසිරි ගැන ද සිහි කොට මම එතුමන් පසසමි.
8. ‘ඔව්හු මාගේ සෙනඟ ය, ඔව්හු වංචා නොකරති’යි සමිඳාණෝ වදාළ සේක. ඒ නිසා එතුමාණෝ ඔවුන්ගේ ගැළවුම්කාරයාණෝ වූ සේක.
9. ඔවුන්ගේ සියලු දුක් කරදරවල දී දුක් වූ සේක. ඔවුන් ගැළෙව්වේ දේව දූතයෙකු නොව සමිඳාණෝ ම ය. එතුමාණෝ ස්වකීය ප්‍රේමයෙන් හා දයාවෙන් ඔවුන් මුදාගත් සේක. පසුගිය කාලයේ දී නොකඩවා ඔවුන් නැඟිටුවා, එතුමාණෝ ආරක්ෂා කළ සේක.
10. එහෙත්, ඔව්හු කැරලි ගසා, උන් වහන්සේගේ ශුද්ධාත්මයට දුක් දුන්නෝ ය. ඒ නිසා, එතුමාණෝ ඔවුන්ට සතුරු වී ඔවුන්ට විරුද්ධ ව සටන් කළ සේක.
11. එහෙත්, ඔව්හු සමිඳුන්ගේ සේවක මෝසෙස් සිටි අතීත කාලය සිහි කර මෙසේ ප්‍රශ්න කළහ. එතුමන්ගේ සෙනඟගේ නායකයන් මුහුදෙන් ගළවාගත් සමිඳාණෝ දැන් කොහේ ද? තමන්ගේ ශුද්ධ ආත්මානුභාවය ඔහුට දුන් තැනැන් වහන්සේ කොහේ ද?
12. සදාකාල කීර්තිය තමන්ට ලබාගන්න පිණිස ස්වකීය බලය මෙහෙයවා මෝසෙස් ලවා බලවත් දේ කළ,
13. කාන්තාරයේ යන අශ්වයන් මෙන් නොපැකිළෙන හැටියට ඔවුන් ගැඹුර මැදින් ගෙන ගිය තැනැන් වහන්සේ කොහේ ද?
14. ගව රැළ මිටියාවතට බසින්නාක් මෙන් සමිඳුන්ගේ ආත්මානුභාව ඔවුන් විශ්‍රාමයට ගෙන ගියේ ය. ඔබට තෙදවත් නමක් දිනාගන්න පිණිස සමිඳාණෝ ඔබේ සෙනඟ කැඳවාගෙන ගිය සේක.
15. සමිඳුනි, ස්වර්ගයේ සිට ඇස් යොමා, ඔබේ ශුද්ධ තේජාන්විත භවනයේ සිට බැලුව මැනව. අප කෙරේ සැලකිල්ල කොයි ද? ඔබේ බලය කොහි ද? ඔබේ ප්‍රේමයත්, අනුකම්පාවත් අපෙන් ඉවත් නොකළ මැනව.
16. ඔබ අපේ පියාණෝ ය; ආබ්‍රහම් අප නොදන්න නමුත්, ඉශ්රායෙල් අප නාඳුනන නමුත්, සමිඳාණෙනි, ඔබ අපේ පියාණෝ ය, අපේ මිදුම්කාරයාණෝ ය. එය අතීතයේ සිට ඔබේ නාමය වේ.
17. සමිඳුනි, ඔබේ මාර්ගවලින් අප මුළාව යන්නත්, ඔබ කෙරෙහි බිය නොවන සේ අපේ සිත් දැඩි වන්නත් හරින්නේ කුමක් නිසා ද? ඔබේ සේවකයන් නිසාත්, ඔබේ උරුමයට අයිති ගෝත්‍ර නිසාත් අප වෙත හැරී එනු මැනව.
18. ටික කලකට ඔබ වහන්සේගේ ශුද්ධ සෙනඟ ශුද්ධස්ථානය අත්කර ගත්හ. එහෙත් අපේ සතුරෝ එය පාගා දැමූහ.
19. අපි ඔබ විසින් කිසි කලක පාලනය නොකරන ලද්දවුන් මෙන් ද ඔබේ නාමය නොදරන ලද අය මෙන් ද වී සිටියෙමු.

යෙසායා 64:1-12
1. ඔබ අහස පළාගෙන නොබසින්නේ මන් ද? එවිට කඳු ඔබ තුමාණන් දැක බියෙන් කම්පා වනු ඇත.
2. ලැව් ගින්න කැළෑව දල්වන්නාක් මෙන් ද ගින්න වතුර උතුරවන්නාක් මෙන් ද ඔබ ඉදිරියෙහි ජාතීන් කම්පා වන පිණිස ඔබේ බලය සතුරන්ට පෙන්වනු මැනව.
3. අප බලාපොරොත්තු නොවූ භයානක දේ එක් කලක ඔබ කළ විට කඳු ඔබ ඉදිරියේ බියෙන් කම්පා වුණේ ය.
4. තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
5. දැහැමි ක්‍රියාවන් ප්‍රිය කරන, ඔබේ මාර්ගය මෙනෙහි කරන අයට ඔබ මඟපෙන්වන සේක; අප පව් කළ විට ඔබ අප සමඟ කෝප වී සිටි සේක; ඔබ කෝප වූ බැවින් අපි පුරාණයේ සිට පාපයෙහි ඇලී ගැලී සිටියෙමු. අපට ගැළවීම ලැබේ ද?
6. අපි සියල්ලෝ ම අපවිත්‍ර ව සිටියෙමු; අපේ සියලු දැහැමි ක්‍රියා කිළුටු වස්ත්‍ර වැනි ය. අපි සියල්ලෝ ම ගහක කොළයක් මෙන් පර වී යන්නෙමු. අප කරන අපරාධ නිසා සුළඟකින් මෙන් අප ගසාගෙන යයි.
7. ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.
8. එහෙත් සමිඳුනි, ඔබ අපේ පියාණෝ ය. අපි මැටි ය; ඔබ අපේ කුඹල්කාරයාණෝ ය. ඔබ අප නිර්මාණය කළ සේක.
9. සමිඳුනි, අප කෙරේ අධික ලෙස උදහස් නුවුව මැනව. අපේ අපරාධ සදහට ම අමතක කළ මැනව. අනේ බැලුව මැනව! අපි සියල්ලෝ ම ඔබේ සෙනඟ ය.
10. ඔබේ ශුද්ධ නගරය පාළුකරයක් මෙන් වී ඇත. ජෙරුසලම පාළු නටබුන් නගරයක් වී ඇත.
11. අපේ මුතුන්මිත්තන් ඔබට පැසසුම් පැවැත්වූ ස්ථානය වන අපේ අලංකාර දේව මාලිගාව ගිනිබත් වී ඇත. සියලු සුන්දර තැන් නටබුන් වී ඇත.
12. සමිඳුනි, මේ ගැන ඔබ කම්පා වන්නේ නැද් ද? ඔබ නිශ්ශබ්ද ව සිට අප තද දුකට පමුණුවන සේක් ද?

ගීතාවලිය 115:14-18
14. සමිඳාණෝ ඔබ හා ඔබේ දරුවන් වඩ වඩා වර්ධනය කරන සේක් වා!
15. අහසත්, පොළොවත් මැවූ සමිඳාණෝ ඔබට ආශීර්වාද කරන සේක් වා!
16. ස්වර්ගය වනාහි සමිඳුන්ට පමණක් අයිති ය. එහෙත්, පොළොව එතුමාණෝ මිනිසුන්ට දුන් සේක.
17. මියගිය අය වත්, පාතාල ලෝකයේ අය වත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.
18. එහෙත් අපි, ජීවත් ව සිටින අපි, මෙතැන් පටන් සදහට ම සමිඳුන්ට ප්‍රශංසා කරන්නෙමු. සමිඳුන්ට ප්‍රශංසා කරන්න.

හිතෝපදේශ 26:27-27
27. ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.

පිලිප්පි 1:1-30
1. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සේවකයන් වන පාවුලු ද තිමෝතියස් ද යන අපි, පිලිප්පියෙහි වසන සභා නායකයන් සහ උපස්ථායකවරුන් ඇතුළු සකල කිතුනු සැදැහැවතුන් වෙත ලියා එවමු.
2. අපගේ දෙවි පියාණන් වහන්සේගෙන් ද ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගෙන් ද කරුණාවත් ශාන්තියත් ඔබ හට වේ වා!
3. මට ඔබ සිහි වන සෑම විට ම මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි;
4. මා යාච්ඤා කරන සෑම විට ම, ඔබ සියලු දෙනා උදෙසා යාච්ඤා කරමින් ප්‍රීතියෙන් පිරී සිටිමි.
5. මා එසේ කරන්නේ පළමු දවස පටන් මේ වන තුරු ධර්මදූත සේවයට ඔබ සහභාගි වූ නිසා ය.
6. ඔබ තුළ යහපත් කාර්යයක් ඇරඹු උන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ පැමිණීමේ දවස දක්වා එය සම්පූර්ණ කරනු ඇතැ යි මම ඒකාන්තයෙන් ම විශ්වාස කරමි.
7. ඔබ මට ඉතා හිතවත් බැවින් ද මා සිරගත ව සිටිය දී ද සුබ අස්න ගැන වගඋත්තර දීමේ දී හා එය ස්ථිර කිරීමේ දී ද මා ලැබූ දේව වරප්‍රසාදයන්ට ඔබ පංගුකාරයන් වූ බැවින් ද ඔබ හැම ගැන මා මෙසේ සිතීම යුතු ය.
8. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ සෙනෙහසින් මා ඔබට සැබැවින් ම ප්‍රේම කරන බව දෙවියන් වහන්සේ දන්නා සේක.
9. ඔබ උදෙසා මාගේ යාච්ඤාව මේ ය: විශිෂ්ටතම දේවල් වටහාගැනීමට හැකි වන පිණිස, දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් ඔබගේ ප්‍රේමය බොහෝසෙයින් වර්ධනය වේ වා.
10. ක්‍රිස්තුන් වහන්සේගේ දවස දක්වා අවංක ව හා නිදොස් ව සිටීමට ඔබට හැකි වේ වා.
11. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ ගෞරවය හා ප්‍රශංසාව පිණිස ඔබ දැහැමි ජීවිතයක ඵලවලින් පූර්ණ වේ වා.
12. සහෝදරවරුනි, මට සිදු වූ කාරණා සුබ අස්නේ ම දියුණුවට හැරී තිබෙන බව ඔබට දන්වනු කැමැත්තෙමි.
13. මා සිරගත වීම ක්‍රිස්තුන් වහන්සේ නිසා වූ බව රාජකීය මුර සෙබළුන් ද සෙසු අය ද දැනගෙන ඇත.
14. මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.
15. සමහරු ඊර්ෂ්‍යාවෙන් හා විරුද්ධ වාදිකමින් ද සමහරු හොඳ සිතින් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.
16. පසුව කී අය, මා සිරගත ව සිටින්නේ සුබ අස්න ආරක්ෂා කිරීමට බව දැන ප්‍රේමයෙන් ද
17. මුලින් කී අය, මා සිරගත ව සිටින විට වඩාත් කරදර ඇති කරවීමේ අදහසින්, අවංක ලෙස නොව, ආත්මාර්ථකාමී චේතනාවෙන් ද ක්‍රිස්තුන් වහන්සේ ප්‍රකාශ කරති.
18. කෙසේ වූවත් කමක් නැත. වංක ලෙස වේ වා, අවංක ලෙස වේ වා, හැම අයුරින් ම ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරනු ලබන බැවින් ඒ ගැන ප්‍රීති වෙමි. මතු ද ප්‍රීති වන්නෙමි.
19. ඔබගේ යාච්ඤා නිසා ද, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ආත්මයාණන්ගෙන් මට ලැබෙන ආධාරය නිසා ද, මේ කරුණු මාගේ නිදහසට ඉවහල් වන බව මම දනිමි.
20. මාගේ දැඩි බලාපොරොත්තුව හා පැතීම මෙය වේ: මා කිසිවක් ගැන ලජ්ජාවට නොපැමිණ, හැම අයුරින් ම නිර්භීත ව සිට, මැරෙතත්, ජීවත් වෙතත්, මාගේ ජීවිතයෙන්, පෙර සේ ම දැනුත් ක්‍රිස්තුන් වහන්සේ මහිමයට පැමිණවීම ය.
21. මට ජීවත් වීම නම්, ක්‍රිස්තුන් වහන්සේ උදෙසා ජීවත් වීම ය. මරණය මට වාසියකි.
22. එහෙත් මිහි පිට ජීවත්වීමෙන් යම් වැඩදායි සේවයක් කළ හැකි නම්, මේ දෙකින් කුමක් තෝරාගන්නට දැ යි මම නොදනිමි.
23. මම මේ දෙක මැද හිර වී සිටිමි. මාගේ ආශාව නම් මෙලොවින් තුරන් වී ගොස්, ක්‍රිස්තුන් වහන්සේ සමඟ විසීම ය. මෙය වඩාත් හොඳ ය.
24. එහෙත් ඔබ උදෙසා මිහි පිට විසීම ඊටත් වඩා අවශ්‍ය වේ.
25. මේ ගැන මට සහතික ය. එබැවින් මා ජීවතුන් අතර සිට, ඔබගේ ඇදහීමේ වර්ධනය හා ප්‍රීතිය සඳහා ඔබ සියල්ලන් සමඟ සිටින්නට යන බව මම දනිමි.
26. මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.
27. කෙසේ වෙතත්, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට ඔබින ලෙස ම හැසිරෙන්න. එවිට ඔබ දැකීමට මා ආවත්, නාවත්, ඔබ ස්ථීර ව, එක්සත් ව සිටින බව ද, ඔබ හැම, එකෙකු මෙන් සුබ අස්නේ ඇදහිල්ල සඳහා වීර්ය කරන බව ද,
28. ඔබේ විරුද්ධවාදීන්ට අභීත ව මූණ පාන බව ද, ඇසීමට මට හැකි වනු ඇත. ඒ අභීතකම ඔවුන්ට විනාශයේ ලකුණක් ද ඔබට විමුක්තියේ ලකුණක් ද ලෙස දෙවියන් වහන්සේගෙන් ම පැමිණෙන්නේ ය.
29. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි අදහන්නට පමණක් නොව, උන් වහන්සේ උදෙසා දුක් විඳින්නටත් වරප්‍රසාදයක් ඔබට දෙන ලද්දේ ය.
30. වරක් මා යෙදී සිටි සටන ඔබ දුටුවහු ය. තවමත් මා ඒ සටනෙහි යෙදෙන බව ඔබ අසා ඇත. ඔබට ඇත්තේත් එම සටන ම ය.