A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 4

යෙසායා 59:1-21
1. ගළවන්න බැරි වන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත, නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත.
2. නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.
3. නුඹලාගේ අත්වල ලේ තැවරී ඇත. නුඹලාගේ ඇඟිලි අපරාධවලින් කිළුටු වී ඇත; තොල්වලින් නුඹලා බොරු කියා ඇත; දිවෙන් නුඹලා නපුරු දේ පවසා ඇත.
4. යුක්ති සහගත නඩු කියන, අවංක සිතින් උසාවියට යන කෙනෙක් නැත. ඔව්හු නිරර්ථක පැමිණිලි විශ්වාස කොට බොරු කියන්නෝ ය. නපුර පිළිසිඳගෙන අයුක්තිය බිහි කරන්නෝ ය. පොළොං බිජු රකින සේ,
5. මකුළු දැල් වියන සේ උපායයන් යොදන්නෝ ය. පොළොං බිජු අනුභව කරන්නෝ නසින්නෝ ය. බිජුවක් බිඳින විට එයින් තවත් පොළඟෙක් නික්ම එයි.
6. එහෙත්, ඒ උපායයන් ඇඳුම් සඳහා මකුළු දැල් වියාගැනීමක් මෙන් නිෂ්ඵල ය. නුඹලාගේ වැඩ අපරාධ වැඩ ය. නුඹලාගේ අත්වලින් නිතර බලහත්කාරකම් කරන්නහු ය.
7. නපුරුකම් කිරීමට නුඹලා යුහුසුළු වන්නහු ය. නිදොස් අයගේ ලේ වැගිරීමට ඉක්මන් වන්නහු ය. නුඹලාගේ සිතුවිලි පාපතර සිතුවිලි ය. නුඹලා යන යන තැන නාස්තිය හා විනාශය ඇති වේ.
8. සාම මාර්ගය නුඹලා නොදන්නහු ය. නුඹලාගේ මාර්ගයේ යුක්තිය නැත. නුඹලා ඇද මාවත් සාදාගෙන ඇත. එහි ගමන් ගත් කිසිවෙක් සාමය නොදනිති.
9. සෙනඟ මෙසේ කියති: “යුක්තියත් දැහැමිකමත් අපෙන් දුරු ව තිබෙන්නේ මන්දැ යි අපි දනිමු. අප එළිය සොයන නමුත්, ඇත්තේ අන්ධකාරය ය; දීප්තිය සොයන නමුත්, අප යන්නේ කළුවරෙහි ය.
10. අන්ධයන් මෙන් අපි බිත්ති අත පත ගාමින් මඟ සොයමු. ඉර මුදුන් වේලාවේ අපි අඳුරේ මෙන් පැකිළී, ජීවතුන් මැද මළවුන් මෙන් සිටිමු.
11. අපි සියල්ලෝ ම වලසුන් මෙන් ගොරවමු; කොබෙයියන් මෙන් කෙඳිරි ගාමු. අප යුක්තිය සෙව්වත් එය දක්නට නැත; ගැළවීම ගැන බලා සිටියත් එය අපෙන් ඈත් ව තිබේ.
12. සමිඳුනි, ඔබට විරුද්ධ ව අපේ අපරාධ බොහෝ ය; අපේ අපරාධ අපට විරුද්ධ ව සාක්ෂි දෙයි. ඒවා අප සමඟ ය, අපේ පව් අපි දනිමු.
13. අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.
14. යුක්තිය බැහැර කොට ඇත; දැහැමිකම දුරින් දුරු වී ඇත. සත්‍යය ප්‍රසිද්ධ තැන්වල වැටී බිඳී ඇත. ඇත්තට තැනක් නැත.
15. සැබෑකම දක්නට නැත; නපුර හෙළා දකින තැනැත්තා සොර මුළට ගොදුරක් වේ. සමිඳාණෝ මේ දේ දැක, යුක්තිය නුවූ බැවින් අප්‍රසන්න වූ සේක.”
16. පීඩිතයන්ට උපකාර කිරීමට කිසිවෙකු නැති බව දැක එතුමාණෝ පුදුම වූ සේක. එබැවින් එතුමාණෝ ඔවුන් ගැළවීමටත්, ඔවුන්ට ජය අත්පත් කර දීමටත් සිය බලය මෙහෙයවන සේක.
17. එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.
18. එතුමාණෝ ඔවුන්ගේ ක්‍රියා අනුව දඬුවම් කරන සේක. විරෝධකරුවන්ට උදහස ද සතුරන්ට විපාක ද පමුණුවන සේක. මුහුදුබඩ වසන්නන්ටත් එසේ ම කරන සේක.
19. එවිට නැගෙනහිර සිට බස්නාහිර දක්වා සියලු දෙන එතුමන්ගේ නමටත් බිය වන්නෝ ය. එතුමන්ගේ තේජාලංකාරය දකින්නෝ ය; එතුමාණෝ තද සුළඟක් මෙන් නැඟී වේගයෙන් ගලා යන දිය පාරක් මෙන් වඩින සේක.
20. සමිඳාණෝ සෙනඟට මෙසේ වදාරන සේක: “පාපයෙන් හැරෙන ජාකොබ්ගේ වංශයේ සියලු දෙනා ගළවන්නත්, ජෙරුසලමේ සිටින නුඹලා ආරක්ෂා කරන්නත් මම එන්නෙමි.
21. නුඹලා සමඟ මම ගිවිසුමක් කරන්නෙමි. එය මෙසේ ය. නුඹලා කෙරෙහි පවරා ඇති මාගේ ආත්මානුභාවය ද නුඹලාගේ මුවෙහි තබන ලද මාගේ වචන ද නුඹලාගේ මුඛයෙන් වත්, නුඹලාගේ දරුවන්ගේ මුඛයෙන් වත්, ඔවුන්ගේ දරුවන්ගේ මුඛයෙන් වත් මෙතැන් සිට සදාකාලයට ම පහ නොවන්නේ ය.”

යෙසායා 60:1-22
1. ජෙරුසලම, නැඟිටින්න, බැබළෙන්න. ඔබේ ආලෝකය දැන් උදා වී ඇත. සමිඳුන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි බැබළේ.
2. පොළොව අඳුරෙන් ද ජාතීන් ගන’ඳුරෙන් ද වසනු ලබන නමුත්, සමිඳාණෝ ඔබ මත බබළන සේක. එතුමන්ගේ තේජාලංකාරය ඔබ කෙරෙහි දිස් වන්නේ ය.
3. ජාතීන් ඔබේ ආලෝකය වෙතටත්, රජවරුන් උදා වන ඔබේ දීප්තිය දෙසටත් පැමිණෙනු ඇත.
4. ඔබේ ඇස් ඔසවා අවට බලන්න; ඔව්හු සියල්ලෝ රැස් ව ඔබ වෙත එති. ඔබේ පුත්‍රයන් දුර සිට පැමිණෙනු ඇත. ඔබේ දූවරු උකුලේ හොවාගෙන ගෙනෙනු ලබති.
5. මෙය දැක ඔබ ප්‍රීති වන්නහු ය. ඔබේ සිත ප්‍රීති ප්‍රමෝදයෙන් පිනා යන්නේ ය. මන්ද, මුහුදු මඟින් ගෙනෙන යසඉසුරු ඔබ වෙත ගලා එන්නේ ය. ජාතීන්ගේ වස්තුව ඔබ වෙත පැමිණෙන්නේ ය.
6. ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.
7. කේදාර් හා නෙබායොත්හි සියලු එළු බැටළු පට්ටි පූජා කරනු සඳහා නුඹ වෙත ගෙනෙනු ලබති; උන් සමිඳුන්ගේ පූජාසනය පිට ඔප්පු කරනු ලබති. සමිඳාණෝ සිය තේජාන්විත දේව මාලිගාව අලංකාරවත් කරන සේක.
8. වලාකුළු ගසාගෙන යන්නාක් මෙන් ද පරෙවියන් උන්ගේ කූඩුවලට ඉගිලෙන්නාක් මෙන් ද වේගයෙන් ගමන් කරන්නේ මොනවා ද?
9. මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති. නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත. දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත. නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි. මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.
10. සමිඳාණෝ ජෙරුසලමට මෙසේ වදාරන සේක: “විදේශීහු නුඹේ පවුරු ගොඩනඟන්නෝ ය. ඔවුන්ගේ රජවරු ද නුඹට සේවය කරන්නෝ ය.
11. ජාතීන්ගේ සම්පත් ඔවුන්ගේ රජවරුන් පෙරටු කොටගෙන නුඹ වෙත ගෙනෙන පිණිස නුඹේ දොරටු රෑ දාවල් දෙක්හි නොවසා, නිතර ම ඇර තබනු ලැබේ.
12. ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.
13. මාගේ ශුද්ධස්ථානය අලංකාර කිරීමටත්, මා වැඩවසන ශුද්ධ මන්දිරය තේජවන්ත කිරීමටත්, ලෙබනොන්හි අනර්ඝ දේවදාර ගස් ද හල් ගස් ද නුඹ වෙත ගෙනෙනු ඇත.
14. නුඹට පීඩා කළ අයගේ පුත්‍රයන් දණින් වැටී නුඹ වෙත පැමිණෙනු ඇත. නුඹ හෙළා දැක්ක සියල්ලන් ද නුඹේ පාමුල වැඳ වැටෙනු ඇත. ඔවුන් නුඹට, ‘සමිඳුන්ගේ නගරය’ කියාත්, ‘සියොන් නම් ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේගේ නුවර ය’ කියාත් කියනු ඇත.
15. එපා කරන ලද, ද්වේෂයට භාජනය වූ, පාළු වූ, නුවරක් වූ නමුත්, මම නුඹ උතුම්, අලංකාර, සදහට ම ප්‍රීතිය ඇති ස්ථානයක් කරන්නෙමි.
16. මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.
17. මම ලෝකඩ වෙනුවට රත්රන් ද යකඩ වෙනුවට රිදී ද ලී වෙනුවට ලෝකඩ ද ගල් වෙනුවට යකඩ ද ගෙනෙන්නෙමි. නුඹේ නායකයන් විසින් යුක්තියෙන් හා සාමයෙන් නුඹ පාලනය කරනු ලැබීමට මම සලස්වන්නෙමි.
18. නුඹේ දේශ සීමා තුළ බලහත්කාරකම ද නාස්තිය හා විනාශය ද ගැන තවත් අසන්න නොලැබෙන්නේ ය. නුඹේ පවුරුවලට ‘ගැළවීම’ කියා ද නුඹේ දොරටුවලට ‘ප්‍රශංසාව’ කියා ද නුඹ කියන්නෙහි ය.
19. මින්පසු, දවල් කාලේ හිරු තවත් ඔබේ එළිය නොවන්නේ ය; රෑ කාලේ සඳ, එළිය දෙන්න ඔබ කෙරේ නොබබළන්නේ ය; සමිඳාණෝ ඔබේ සදාතන ආලෝකය වන සේක. ඔබේ දෙවිඳාණෝ ඔබේ තේජාලංකාරය වන සේක.
20. ඔබේ හිරු තවත් බැස යන්නේ නැත; ඔබේ සඳ බැස යන්නේත් නැත. සමිඳාණෝ ඔබේ සදාතන එළිය වන සේක. ඔබේ වැලපීමේ දවස් කෙළවර වන්නේ ය.
21. ඔබේ සෙනඟ සියල්ලෝ ම දැහැමි ව, සදහට ම දේශය උරුම කරගන්නෝ ය; ඔව්හු මා විසින් පැළ කරන ලද මාගේ පැළෑටියක් හා සමාන ය; මාගේ මහිමය ප්‍රකාශ කරන පිණිස මා විසින් මවන ලද්දෝ වෙති.
22. කුඩා තැනැත්තා වංශයක් ද සුළු තැනැත්තා බලවත් ජාතියක් ද වන්නේ ය. නියම කාලය පැමිණි විට මෙය ඉක්මනින් සිදු වීමට මම සලස්වන්නෙමි. මම සමිඳු වෙමි.”

ගීතාවලිය 115:1-8
1. සමිඳුනි, අප නිසා නොව, අප නිසා නොව, ඔබේ තිර පෙම නිසාත්, සත්‍යවාදිකම නිසාත්, ඔබේ නාමය නිසාත් ඔබේ මහිමාලංකාරය ප්‍රකාශ කළ මැනව.
2. “ඔවුන්ගේ දෙවිඳාණෝ දැන් කොතැන්හි දැ”යි ජාතීන්ට අසන්න ඉඩ දෙන්නේ කුමට ද?
3. අපේ දෙවි තුමාණෝ ස්වර්ගයේ ය; තමන් කැමැති කුමන දෙයක් වුවත් එතුමාණෝ කරන සේක.
4. ඔවුන්ගේ දේවතා රූප රිදීයෙන් හා රනින් ය; මිනිසුන්ගේ දෑතේ වැඩ ය.
5. ඒවාට කටවල් ඇත, එහෙත්, කතා නොකරයි; ඇස් ඇත, එහෙත්, නොදකියි;
6. කන් ඇත, එහෙත්, නොඇසෙයි; නාස් ඇත, එහෙත්, ගඳ සුවඳ නොදැනෙයි;
7. ඒවාට දෑත ඇත, එහෙත්, ස්පර්ශ නොකරයි; පාද ඇත, එහෙත්, නොඇවිදියි; උගුරෙන් ශබ්ද නොකරයි.
8. ඔවුන් සාදන්නෝ ඔවුන් වාගේ ම ය; ඔවුන් විශ්වාස කරන සියල්ලෝත් එසේ ම ය.

හිතෝපදේශ 26:23-23
23. නපුරු හදවත් සඟවාගෙන කරන සිනිඳු කතාව රිදී ගෑ මැටි බඳුනක් වැන්න.

එපීස 5:17-33
17. එබැවින් අනුවණයන් නොවී, සමිඳාණන් වහන්සේගේ කැමැත්ත කිමෙක් ද කියා තේරුම්ගන්න.
18. මුද්‍රික පානයෙන් මත් නොවන්න. එයින් අනාචාරකම් හටගන්නේ ය. ඒ වෙනුවට ආත්මයාණන්ගෙන් පූර්ණ වන්න.
19. ගීතිකා, තුති ගී හා ශුද්ධ ගී එකිනෙකාට ගයන්න. ඔබ හදවත් තුළ තුති නද දෙමින් සමිඳුන්ට ගී ගයන්න.
20. අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.
21. ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න.
22. භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න.
23. මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක.
24. එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය.
25. පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න.
26. උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර,
27. එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය.
28. එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය.
29. කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය. මන්ද, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි.
30. අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු.
31. මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය.
32. මෙය මහා අබිරහසකි. මට හැඟෙන පරිදි එය අදාළ වන්නේ ක්‍රිස්තුන් වහන්සේට සහ සභාවට ය.
33. එහෙත් එය පෞද්ගලික වශයෙන් ඔබටත් අදාළ වන්නේ ය. හැම පුරුෂයෙකු ම තමාට මෙන් තම භාර්යාවට ප්‍රේම කළ යුතු ය. හැම භාර්යාවක් ම තම ස්වාමි පුරුෂයාට ගෞරව දැක්විය යුතු ය.