A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 3

යෙසායා 57:1-21
1. ධර්මිෂ්ඨයා මිය යන්නේ ය, එහෙත් කිසිවෙක් එය සිතට නොගන්නේ ය. බැතිමත්හු අභාවයට යති. එහෙත් කිසිවෙක් එය තේරුම් නොගනිති. මන්ද, විපත පැමිණෙන්න පෙර ඔව්හු ගෙනයනු ලබති.
2. අවංකකමින් ජීවත් වන අය මරණයේ දී ශාන්තියට පිවිස විවේක සුවයෙන් පසු වෙති.
3. එහෙත්, මායාකාරියගේ පුත්‍රයන් වන, පාරදාරිකයන්ගේත්, වේශ්‍යාවන්ගේත් වංශය වන නුඹලා, මෙහි පැමිණෙන්න.
4. නුඹලා කට අයා, දිව දික්කර, කවටකම් කරන්නේ කාට විරුද්ධ ව ද? නුඹලා කැරලිකාරකමේ දරුවන් ද වංචනික වංශයක් ද නොවන්නහු ද?
5. ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය. මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය.
6. නමස්කාර කරන පිණිස නුඹලා මිටියාවතේ ගල් ගෙන ඒවාට පාන පූජා වගුරුවා, ආහාර පූජා කරන්නහු ය. නුඹලා මේ දේවල් කරද්දී මම සතුටු වන්නෙම් ද?
7. නුඹලා පූජා ඔප්පු කරනු පිණිස උස් කඳුවලට ගොස් එහි කම් සැපෙහි යෙදෙන පිණිස යහන් පිළියෙළ කරන්නහු ය.
8. දොරටත්, උළුවස්සටත් පිටුපසින් නුඹලාගේ දේව පිළිම නුඹලා තබාගන්නහු ය. නුඹලා මා අත් හැර, නුඹලාගේ ඇඳුම් ගලවා, කුලියට ලබා ගත් පෙම්වත් අය සමඟ විශාල යහන්වලට වී කම් සැපෙහි යෙදෙන්නහු ය.
9. නුඹලා සුවඳ ද්‍රව්‍ය ගාගෙන මොලෙක් දෙවියාට නමස්කාර කරන පිණිස යන්නහු ය. නමස්කාර කිරීමට දෙවිවරුන් සොයාගන්න පිණිස නුඹලා පණිවුඩකාරයන් දස දෙස, පාතාල ලෝකයට පවා යවන්නහු ය.
10. අන් දෙවිවරුන් සොයාගැනීමටත් නුඹලා වෙහෙස වන්නහු ය. එහෙත්, නුඹලාගේ සෙවීම අත්නාරින්නහු ය. නුඹලා නව පණක් ලබාගත් බැවින් නුඹලා දුර්වල නොවන්නහු යයි සිතන්නහු ය.
11. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා බොරු කීවේත්, මා සහමුලින් ම අමතක කළේත් කවරෙකුට බියෙන් ද? නුඹලා මට බිය නොවන්නේ මා බොහෝ කලක් නිශ්ශබ්ද ව සිටි නිසා ද?
12. නුඹලාගේ ඔය දැහැමිකමත්, නුඹලාගේ ක්‍රියාත් මම හෙළි කරන්නෙමි. නුඹලාගේ දේව රූපවලින් නුඹලාට පිහිටක් නොවේ.
13. නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”
14. “මහා මඟක් සාදන්න; මාගේ සෙනඟගේ බාධා ඉවත් කොට, මාර්ගය පහදා, සමතලා කර සූදානම් කරන්නැ”යි කියන හඬක් ඇසෙන්නේ ය.
15. උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.
16. මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.
17. ඔවුන්ගේ තණ්හාව හා වරද නිසා මම උදහස් වීමි. ඒ නිසා මාගේ කෝපයෙන් මම ඔවුන්ට දඬුවම් කොට, ඔවුන් අත්හළෙමි. එහෙත්, ඔව්හු මුරණ්ඩු ව, හිතුමතේ ජීවත් වූ හ.
18. ඔවුන් ක්‍රියා කර ඇති අන්දම මම දිටිමි. එහෙත්, මම ඔවුන්ට සුවය දෙමි. මම ඔවුන්ට මඟපෙන්වා, පිහිට වී, ශෝක වන්නන් සිනා රැල්ලෙන් සනසන්නෙමි.
19. ළඟ හෝ දුර හෝ වේ වා, සියලු දෙනාට, ‘ශාන්ති වේ වා! ශාන්ති වේ වා! මම ඔවුන්ට සුවය දෙමි’යි සමිඳාණන් වන මම කියමි.
20. එහෙත්, දුෂ්ටයෝ වනාහි කැළඹී ඇති කුණු කසළ සෝදාගෙන, ගොඩට නොනැවතී ගලා එන, රළ පතර ඇති මුහුද හා සමාන වෙති.
21. ‘දුෂ්ටයන්ට ශාන්තියක් නැතැ’යි මාගේ දෙවිඳාණෝ වදාරන සේක.”

යෙසායා 58:1-14
1. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
2. ඔව්හු දැහැමි ක්‍රියා කරන, දෙවිඳුන්ගේ නියෝග අත්නෑර සිටින ජාතියක් යයි සිතාගෙන, දවස් පතා මා සොයති; මාගේ මාර්ගයන් දැනගන්න ප්‍රසන්න වෙති; සාධාරණ විනිශ්චයයන් මාගෙන් ඉල්ලති; දෙවිඳුන් වෙත ළඟා වීමට ප්‍රසන්න වෙති.”
3. “සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.
4. නුඹලා උපවාසයේ යෙදී සිටින අතර, විවාදයටත්, තරඟයටත්, දුෂ්ට පහර දීමටත් පෙළඹෙන්නහු ය. මෙලෙස මෙදින උපවාස කිරීමෙන් නුඹලාගේ යැදුම් සගයට නොනැඟේ.
5. නුඹලා උපවාස කරන දවසේ දී නුඹලාට ම වද වේදනා කරගෙන පන් ගසක් මෙන් හිස නමාගෙන, ගෝණි රෙදි සහ අළු අතුරා ඒ පිට හිඳගන්නහු ය. උපවාසයෙන් නුඹලා අදහස් කරන්නේ එය ද? එවැනි උපවාස දවසක් සමිඳුන්ට ප්‍රසන්න යයි නුඹලා සිතන්නහු ද?
6. මට ප්‍රියමනාප උපවාසය මෙය වේ, දුෂ්ටකමේ විලංගු මුදා හැර, අයුක්තියේ බැඳුම් ලිහා හැර, පීඩිතයන් නිදහස් කර හැර, සියලු වියගස් බිඳදැමීම ය.
7. සාගින්නෙන් පෙළෙන අය සමඟ ආහාර බෙදාගැනීම ද ගේදොර නැති අසරණයන් ඔබේ ගෙදරට කැඳවීම ද ඇඳුම් නැති අය දුටු විට ඇඳුම් සපයා දීම ද සැබෑ මිතුරන් මඟ නොහැර යුතුකම් ඉටු කිරීම ද නියම උපවාසය වේ.
8. එවිට අරුණෝදය මෙන් මාගේ එළිය උදා වී, ඉක්මනින් නුඹලාට සුවසෙත ගෙන දේවි. ඔබේ දැහැමි සිරිය ඔබ පෙරටුවෙන් ද සමිඳුන්ගේ තෙද සිරිය ඔබ පසුපස ද ඔබේ සුරැකියාව සඳහා ගමන් ගන්නේ ය.
9. එකල නුඹලා යාච්ඤා කරන විට මම පිළිතුරු දෙන්නෙමි. මට නුඹලා හඬ නඟන විට ‘මම මෙහි ය’යි පිළිතුරු දෙන්නෙමි. නුඹලා අනුන්ට කරන බලහත්කාරකම් ද අනුන් හෙළා දැකීම ද නපුරු ලෙස කතා කිරීම ද නුඹලා වෙතින් පහ කරන්නහු නම්,
10. සාගිනි ඇත්තාට අනුකම්පා කර, අසරණයන් තෘප්තියට පමුණුවන්නහු නම්, නුඹේ අඳුර එළිය වන්නේ ය; ඝනාන්ධකාරය මද්දහන මෙන් එළිය වන්නේ ය.
11. මම නිතර ම නුඹලාට මඟපෙන්වා, යහපත් දෙයින් තෘප්තියට පමුණුවා සනීප ශක්තිය නුඹලාට ගෙන දෙන්නෙමි. නුඹලා ජලයෙන් සාරවත් උයනක් මෙන් ද දිය නොසිඳී යන උල්පතක් මෙන් ද වන්නහු ය.
12. නුඹලාගේ බොහෝ කලක සිට පැවත එන නටබුන් ව තිබුණු තැන් ගොඩනඟනු ලබන්නේ ය. පැරණි අත්තිවාරම් පිට ගොඩනැඟිලි නැවත ඉදි කරනු ලබන්නේ ය. කැඩුම්බිඳුම් සෑදූ, වාසය පිණිස නටබුන් නැවත අලුත්වැඩියා කළ අය වශයෙන් නුඹලා හඳුන්වනු ලබන්නහු ය.”
13. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පවත්වා, ඒ දවසේ දී නුඹගේ කැමැත්ත නොකර, සමිඳුන්ගේ සබත ප්‍රිය වන ගෞරවණීය දවසක් යයි කියන්නහු නම්, ඒ දවසේ දී ගමන් බිමන් නොගොස්, ගනුදෙනු නොකර, අල්ලාප සල්ලාප නොදොඩා ඒ දවසට ගෞරව කරන්නහු නම්,
14. මට සේවය කිරීමෙන් ඇති වන ප්‍රීතිය නුඹලා භුක්ති විඳින්නහු ය. ලොවෙහි උසස් ම ගෞරවය නුඹලාට අත් කර දෙන්නෙමි. නුඹලාගේ පිය වූ ජාකොබ්ට උරුමයක් වශයෙන් දුන් දේශය නුඹලා භුක්ති විඳින්නහු ය. මෙසේ වදාරන්නේ සමිඳුන් වන මම ය.”

ගීතාවලිය 114:1-8
1. ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය.
2. එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.
3. රතු මුහුද එය දැක පලා ගියා ය; ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.
4. කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.
5. එම්බා රතු මුහුද! නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?
6. එම්බා කඳු! නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?
7. එම්බා මිහිකත! පර්වත දිය පොකුණක් බවට ද ගිනි ගල දිය උල්පතක් බවට ද හරවන දෙවිඳුන්,
8. එනම්, ජාකොබ්ගේ දෙවිඳුන් වඩින විට එතුමන් අබියස බියෙන් ඇලළෙමින් වෙවුලන්න.

හිතෝපදේශ 26:22-22
22. කටකතා රසවත් අහරකි, එය ගිලගැනීමට කවුරුත් කැමැති ය.

එපීස 5:1-16
1. ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමණීය දරුවන් වන බැවින්, උන් වහන්සේ මෙන් වන්නට උත්සාහ කරන්න.
2. ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.
3. ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ වන බැවින්, කාමමිථ්‍යාචාරය හෝ සියලු ආකාර අශිෂ්ටකම් හෝ තණ්හාව හෝ ඔබ අතර සඳහන් කිරීමවත් සුදුසු නැත.
4. අශික්ෂිත, මෝඩ කතා හා නීච කවටකම් යන මේවාත් සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීමේ වචන පවසන්න.
5. මේ දේ තරයේ සිතට ගන්න: කාමමිථ්‍යාචාරය කරන්නෙකුට වත්, අශිෂ්ට කෙනෙකුට වත්, ලෝභයෙකුට වත්, මෙවැනි රූප වන්දනාවන් කරන කෙනෙකුට වත්, ක්‍රිස්තුන් වහන්සේගේ ද දෙවියන් වහන්සේගේ ද රාජ්‍යයෙහි උරුමයක් නොලැබෙන්නේ ම ය.
6. පුහු තර්කවලින් ඔබ රවටන්ට කිසිවෙකුට ඉඩ නොදෙන්න. මන්ද, අකීකරුවූවන් පිට දේව උදහස පැමිණෙන්නේ මේ කාරණා නිසා ම ය.
7. එවැන්නන් සමඟ කිසි ම ගනු දෙනුවක් නොකරන්න.
8. මන්ද, වරක් ඔබ අන්ධකාරයෙහි සිටිය නමුත්, දැන් සමිඳාණන් වහන්සේ තුළ ආලෝකයෙහි සිටින්නහු ය.
9. ආලෝකයට අයිති දරුවන් මෙන් හැසිරෙන්න. ආලෝකයේ ප්‍රතිඵල නම්, සියලු ආකාර යහපත්කමත්, දමිටුකමත්, සැබෑකමත් ය.
10. සමිඳාණන් වහන්සේට ප්‍රිය මනාප දේ කුමක් දැ යි විමසා බලන්න.
11. අන්ධකාරයේ නිෂ්ඵල ක්‍රියාවලට හවුල් නොවී, ඒවා එළිකරන්න.
12. සැබැවින් ම ඔවුන් රහසිගත ව කරන දේ ගැන කතා කිරීම පවා පිළිකුලකි.
13. එහෙත් ආලෝකයෙන් එළි වන සියල්ලේ නියම ස්වභාවය සක්සුදක් සේ පැහැදිලි ව පෙනෙයි.
14. එසේ එළි වන දේ ආලෝකය බවට හැරේ. එබැවින් මෙසේ කියා ඇත: “නිදා සිටින ඔබ අවදි වන්න, මරණින් නැඟිටින්න, එවිට ක්‍රිස්තුන් වහන්සේ ඔබගේ ආලෝකය වන සේක.”
15. එබැවින් ඔබ ජීවත් වන පිළිවෙළ ගැන ඉතා සැලකිලිමත් වන්න. අඥානයන් මෙන් නොව, ඥානවන්තයන් මෙන් ජීවත් වන්න.
16. කාලය නපුරු බැවින්, ඇති හැම අවස්ථාවකින් ම ප්‍රයෝජන ගන්න.