A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 26

ජෙරමියා 37:1-21
1. ජෙහෝයාකිම්ගේ පුත් කෝනියා වෙනුවට බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් විසින් ජුදා දේශයෙහි ජොෂියාගේ පුත් ශෙදෙකියා රජකමට පත් කරනු ලැබ ඔහු රජකම් කෙළේ ය.
2. එහෙත්, ඔහු වත්, ඔහුගේ සේවකයෝ වත්, දේශයේ සෙනඟ වත් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයා වන ජෙරමියා මඟින් ප්‍රකාශ කරන ලද උන් වහන්සේගේ වචනවලට සවන් නුදුන්නෝ ය.
3. එහෙත්, ශෙදෙකියා රජු ෂෙලෙමියාගේ පුත් ජෙහුකල් ද පූජක වූ මයසේයාගේ පුත් ශෙපනියා ද අත, “අනේ! අප උදෙසා අපේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි දිවැසිවරයා වන ජෙරමියාට කියා යැවී ය.
4. සෙනඟ අතරේ නිදහසේ යමින් එමින් ජෙරමියා සිටියේ ය. මන්ද, ඒතාක් කල් ඔවුන් ඔහු හිරගෙයි දමා තිබුණේ නැත.
5. ඒ අතරතුරේ දී පාරාවෝගේ සේනාව මිසරයෙන් පිටත් ව ආවෝ ය. ජෙරුසලම වටලාගෙන සිටි බබිලෝනිවරු ඒ ආරංචිය අසා ජෙරුසලමෙන් ඉවත් ව ගියෝ ය.
6. එවිට ඉශ්රායෙල්හි දෙවි ස්වාමීන් වහන්සේ දිවැසිවර ජෙරමියාට මෙසේ වදාළ සේක:
7. “මාගෙන් විමසන පිණිස නුඹලා මා වෙත එවූ ජුදාහි රජුට මෙසේ කියන්න: ‘මෙන්න, නුඹලාට සහායට පැමිණි පාරාවෝගේ සේනාව තමන්ගේ දේශය වන මිසරයට හැරී යනු ඇත.
8. බබිලෝනිවරුන් හැරී අවුත් මේ නුවරට විරුද්ධ ව යුද්ධ කොට, මේක අල්ලා ගින්නෙන් දවාදමනු ඇත.
9. බබිලෝනිවරුන් ආපසු නොඑති යි සිතමින් නොරැවටෙන ලෙස ස්වාමීන් වන මම නුඹලාට අවවාද කරමි. ඔවුන් ආපසු එනු ඇත.
10. නුඹලාට විරුද්ධ ව යුද්ධ කරන බබිලෝනිවරුන්ගේ මුළු සේනාවට නුඹලා පහර දී ඔවුන් අතරෙන් දරුණු තුවාළ ලත් අය පමණක් ඔවුන්ගේ කූඩාරම් වල ඉතිරි කරන නමුත්, ඔවුන් නැඟිට මේ නගරය ගින්නෙන් දවා දමනු ඇත.’ “
11. තවද, පාරාවෝගේ සේනාවට බියෙන් බබිලෝනිවරුන්ගේ සේනාව ජෙරුසලම කෙරෙන් ගිය කල,
12. ජෙරමියා බෙන්ජමින් දේශයේ සෙනඟ අතරේ තමාගේ උරුම කොටස ලබාගන්න පිණිස ජෙරුසලමෙන් පිටත් ව ගියේ ය.
13. ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.
14. “එය බොරුවක් ය; මම බබිලෝනිවරුන්ට එකතු වන්නට නොයමි”යි ජෙරමියා කී ය. එහෙත්, ඉරියා ජෙරමියාට සවන් නො දී, ඔහු අල්ලාගෙන, අධිපතීන් ළඟට ගෙන ගියේ ය.
15. එවිට අධිපතීහු ජෙරමියාට විරුද්ධ ව කිපී, ඔහුට තළා හිර නිවසක් මෙන් සැලකුණ ජොනතන් ලේකම්ගේ ගෙයි ඔහු හිර අඩස්සි කළෝ ය.
16. ජෙරමියා හිරගෙයි බිම්ගෙවලට පැමිණ එහි බොහෝ දවස් නැවතී සිටි පසු, ශෙදෙකියා රජු ඔහු කැඳවා ඔහු පිළිගෙන,
17. “සමිඳාණන් වහන්සේගෙන් පණිවුඩයක් තිබේ දැ”යි තමාගේ මාලිගාවේ දී රහසින් ඔහුගෙන් ඇසුවේ ය. ජෙරමියා ද, “පණිවුඩයක් තිබේ. ඔබ බබිලෝනියේ රජුගේ අතට අසු වන්නෙහි ය”යි කීවේ ය.
18. තවද, ජෙරමියා ශෙදෙකියා රජුට කතා කොට, “මා හිරගෙයි දැමීමට ඔබට වත්, ඔබේ සේවකයන්ට වත්, මේ සෙනඟට වත් විරුද්ධ ව මා කළ වරද කුමක් ද?
19. ‘බබිලෝනියේ රජ ඔබට වත්, මේ දේශයට වත් විරුද්ධ ව නොඑන්නේ යැ’යි ඔබට දිවැස් වැකි කීවාවූ ඔබේ දිවැසිවරයා ඉතින් කොයි ද?
20. එබැවින් මාගේ ස්වාමීන් වන රජතුමනි, අනේ! මාගේ බස් අසා, මාගේ කන්නලව්ව පිළිගෙන, මා එහි නොනසින පිණිස ජොනතන් ලේකම්ගේ ගෙට මා නැවත නොහැරිය මැනව”යි කීවේ ය.
21. ශෙදෙකියා රජ ද ජෙරමියා හිරගෙයි රැකවල් මළුවට යවන්නටත්, රොටි සියල්ල ම නගරයෙන් ඉවර වී යන තුරු දවස්පතා රොටියක් බැගින් රොටි සාදන්නන්ගේ වීදියෙන් ඔහුට ගෙන දෙන්නටත් අණ දුන්නේ ය. මෙසේ ජෙරමියා රැකවල් මළුවෙහි නැවතී සිටියේ ය.

ජෙරමියා 38:1-28
1. එකල මත්තාන්ගේ පුත් ෂෙපතියා ද පෂ්හුර්ගේ පුත් ගෙදලියා ද ෂෙලෙමියාගේ පුත් ජුකල් ද මල්කියාගේ පුත් පෂ්හුර් ද ජෙරමියා සියලු සෙනඟට කී වචන ඇසූ හ.
2. “සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේකැ”යි ජෙරමියා කීවේ ය: “මේ නගරයේ නවතින යමෙක් වේ ද, ඔහු කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ ය. එහෙත්, බබිලෝනිවරුන් වෙත ගොස් ඔවුන්ට භාර වන තැනැත්තා ජීවත් වන්නේ ය. ඔහුට අභය ලැබෙන්නේ ය.
3. සැබැවින් මේ නගරය බබිලෝනියේ රජුගේ සේනා අතට අසු වී ඔහු ඒක අල්ලාගන්නේ යයි සමිඳාණන් වහන්සේ වදාරන සේක.”
4. එවිට අධිපතීහු කතා කොට, “මේ මනුෂ්‍යයා මරනු ලැබේ වා! මන්ද, මෙසේ මෙබඳු වචන කීමෙන්, මොහු නගරයේ ඉතුරු ව සිටින යුද්ධ භටයන් ද සියලු සෙනඟ ද අධෛර්ය කරන්නේ ය. මේ මිනිසා සෙනඟගේ යහපත නොව ඔවුන්ගේ විනාශය පතන්නේ යැ”යි කී හ.
5. ශෙදෙකියා රජ ද, “මෙන්න, ඔහු ඔබේ අතෙහි ය. ඔබට විරුද්ධ ව කිසිවක් කරන්නට රජුට බැරි ය”යි කීවේ ය.
6. එකල ඔව්හු ජෙරමියා ගෙන හිරගෙයි මළුවෙහි තිබුණු මල්කියා රජ කුමරුගේ ළිඳට ඔහු ලණුවලින් බැස්සෙවුවෝ ය. ඒ ළිඳේ වතුර නොව මඩ තිබිණි. ජෙරමියා එහි මඩේ එරුණේ ය.
7. ජෙරමියා ළිඳේ දැමූ බව ඇසූ රජ ගෙදර සිටි නපුංසකයෙකු වූ කුෂිය ජාතික එබෙද්-මෙලෙක් රජ ගෙදරින් නික්ම, බෙන්ජමින් දොරටුවේ ඉඳගෙන හුන් රජු වෙත ගොස්,
8. රජුට කතා කොට, “මාගේ ස්වාමීන් වන රජතුමනි, මේ මනුෂ්‍යයන් විසින් ළිඳේ දමන ලද දිවැසිවර ජෙරමියාට ඔවුන් කළ සියල්ල කෲරතර ය. ඔහු එහි බඩගින්නෙන් මැරෙනු ඇත. මන්ද, නගරයෙහි තවත් කෑමට රොටි නැතැ”යි කී ය.
9. ***
10. එවිට රජ කුෂිය ජාතික එබෙද්-මෙලෙක්ට අණ කරමින්, “ඔබ, සමඟ මෙතැනින් මනුෂ්‍යයන් තුන්දෙනෙකු කැඳවාගෙන ගොස්, දිවැසිවර ජෙරමියා මැරෙන්නට පෙර ඔහු ළිඳෙන් ගොඩට ගන්නැ”යි කීවේ ය.
11. එබෙද්-මෙලෙක් ද ඒ මිනිසුන් තමා සමඟ කැඳවාගෙන රජ ගෙදර ගබඩාවට වැද, අල්මාරියකින් පරණ රෙදි කෑලි ද පරණ වැරහැලි ද ගෙන, ඒවා ළිඳ ඇතුළට ජෙරමියා ළඟට ලණුවලින් බෑවේ ය.
12. කුෂිය ජාතික එබෙද්-මෙලෙක්, “මේ පරණ රෙදි කෑලි සහ වැරහැලි ඔබේ කිහිලිවල ලණු යට තබාගන්නැ”යි ජෙරමියාට කීවේ ය. ජෙරමියා එසේ කෙළේ ය.
13. එවිට ඔව්හු ජෙරමියා ලණුවලින් ඇද ළිඳෙන් ගොඩට ගත්හ. ජෙරමියා රැකවල් මළුවේ සිටියේ ය.
14. එවිට ශෙදෙකියා රජ දිවැසිවර ජෙරමියා කැඳවා, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තුන් වන දොරටුවට පිළිගෙන, ඔහුට කතා කොට, “මම ඔබෙන් කාරණයක් අසමි. කිසිවක් මාගෙන් නොසඟවන්නැ”යි කී ය.
15. ජෙරමියා පිළිතුරු දෙමින්, “මම ඔබට දැන්නුවොත් සැබැවින් ඔබ මා නොමරන්නෙහි ද? මා ඔබට දැනුමැතිකම් දුන්නත් ඔබ මට සවන් දෙන්නේ නැතැ”යි ශෙදෙකියාට කීවේ ය.
16. එවිට ශෙදෙකියා රජ, “මා ඔබ මරන්නේ වත්, ඔබේ ප්‍රාණය හානි කරන්නට සොයන ඒ මනුෂ්‍යයන් අතට ඔබ පාවා දෙන්නේ වත් නැතැ යි අපට දිවි දුන් ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි ජෙරමියාට රහසින් දිවුරුම් දුන්නේ ය.
17. එකල ජෙරමියා ශෙදෙකියා අමතමින්, “සියලු බලැති දෙවියන් වහන්සේ වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කීවේ ය. “නුඹ ඇත්තට ම බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර වූවොත්, නුඹේ පණ බේරා ගන්නෙහි ය. මේ නගරය ද ගින්නෙන් දවනු නොලබන්නේ ය. නුඹත්, නුඹේ වංශයත් ජීවත්වන්නෝ ය.
18. එහෙත්, නුඹ බබිලෝනියේ රජුගේ අධිපතීන්ගේ අතට භාර නුවූවොත්, මේ නුවර බබිලෝනිවරුන් අතට පාවා දෙනු ලබන්නේ ය. ඔවුන් එය ගිනිබත් කරනු ඇත. නුඹ ද ඔවුන්ගේ අතින් ගැළවෙන්නේ නැතැ”යි කී ය.
19. එවිට ශෙදෙකියා කතා කරමින්, “බබිලෝනිවරුන්ට එකතු වූ ජුදෙව්වරුන් ගැන මම බිය වෙමි. මට වද වේදනා කරන පිණිස ඔවුන් අතට මා පාවා දෙනු ලැබේ දැ යි මට සැක ය”යි කී ය.
20. ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “ඔවුන් ඔබ පාවා දෙන්නේ නැත. මා ඔබට කියන හැටියට සමිඳාණන් වහන්සේගේ හඬට කීකරු වුව මැනව. එයින් ඔබට ශුභසිද්ධ වී ඔබ ජීවත් වන්නෙහි ය.
21. එහෙත්, ඔබ ඔවුන්ගේ අතට භාර වන්නේ නැතැ යි කියන්නෙහි නම්, ඔබට වන මේ දේ සමිඳාණන් වහන්සේ මට දර්ශනයකින් පෙන් වූ සේක.
22. බලන්න, ජුදාහි රජුගේ ගෙදර ඉතිරි ව සිටින සියලු ස්ත්‍රීහු බබිලෝනියේ රජුගේ අධිපතීන් වෙත ගෙනයනු ලබති. ඔව්හු කතා කරමින්, ‘ඔබේ හිතමිතුරෝ ඔබ රවටා ඔබෙන් ජය ගත්තෝ ය. ඔබේ පාද දැන් මඩෙහි එරී ඇති බැවින් ඔබේ මිතුරන් ඔබ කෙරෙන් වෙන් ව ගොස් ඇතැ’යි ද කියති.”
23. තවදුරටත් ජෙරමියා කතා කරමින්, “ඔබේ සියලු භාර්යාවෝ ද දරුවෝ ද බබිලෝනිවරුන් වෙත ගෙනයනු ලබන්නෝ ය. ඔබත් ඔවුන්ගේ අතින් බේරෙන්නේ නැත. බබිලෝනියේ රජු විසින් ඔබ හිර අඩස්සි කරනු ලබන්නෙහි ය. මේ නගරයත් ගින්නෙන් දවාලනු ලබන්නේ ය”යි කී ය.
24. ශෙදෙකියා පිළිතුරු දෙමින්, “මේ වචන කිසිවෙක් දැන නොගනිත් වා! එවිට ඔබ මරණයට පත් වන්නේ නැත.
25. එහෙත්, මා ඔබ සමඟ කතා කළ බව අධිපතීන් අසා, ඔබ ළඟට අවුත්, ‘ඔබ රජුට කීවේ කුමක් ද’ කියාත්, ‘අපෙන් නොසඟවා අපට දන්වන්න. එවිට අපි ඔබ නොමරන්නෙමු’යි කියාත් ඔබට කීවොත්,
26. ‘මා ජොනතන්ගේ ගෙයි නසින්නට එහි මා නැවත නොඅරින ලෙස මාගේ බැගෑපත් කන්නලව්ව රජු ඉදිරියෙහි ඔප්පු කෙළෙමි’යි කියන්නැ”යි ජෙරමියාට කීවේ ය.
27. එවිට සියලු අධිපතීහු ජෙරමියා ළඟට අවුත් ඔහුගෙන් ඒ ගැන විචාළෝ ය. රජු ඔහුට අණ කළ ලෙස ජෙරමියා ඔවුන්ට පිළිතුරු දුන්නේ ය. ඔව්හු නිශ්ශබ්ද වී යන්නට ගියෝ ය. මන්ද, රජු සමඟ කෙරුණු කතාව කිසිවෙකුට නොඇසුණේ ය.
28. මෙසේ ජෙරුසලම සතුරන්ගේ අතට අසු වූ දවස දක්වා ජෙරමියා රැකවල් මළුවේ තබන ලදී.

ගීතාවලිය 119:73-80
73. සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව.
74. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි.
75. සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.
76. ඔබේ මෙහෙකරුවාට ඔබ පොරොන්දු වූ පරිදි ඔබේ මහ කුළුණු ගුණය මාගේ සැනසීම පිණිස වේ වා!
77. මා ජීවත් වන පිණිස මට අනුකම්පා කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව මාගේ ප්‍රීතිය වේ.
78. උඩඟු අය අයුතු ලෙස මා හෙළා දැමූ බැවින්, ඔව්හු ලජ්ජාවට පැමිණෙත් වා! එහෙත්, මම ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි.
79. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා වෙත හැරී එත් වා! එවිට ඔව්හු ඔබේ ශික්ෂා පද තේරුම්ගන්නෝ ය.
80. මා පරාජයට පත් නොවන පිණිස ඔබේ පණත් අනුව ජීවත් වන්නට මා හද පිරිසිදු කළ මැනව.

හිතෝපදේශ 27:23-27
23. ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.
24. ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.
25. තණපත් මැලවුණ විට ළා තණ නැගෙයි. කඳු මත පලා ජාති එක්රැස් කරනු ලැබෙයි.
26. ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.
27. ඔබේ ද ඔබේ ගෙයි වැසියන්ගේ ද කෑම පිණිසත්, ඔබේ සේවිකාවන්ගේ නඩත්තුව පිණිසත්, සෑහෙන තරම් එළු කිරි ලැබෙනු ඇත.

1 තිමෝති 5:1-25
1. වැඩිමහල්ලෙකුට සැරෙන් කතා නොකරන්න, පියෙකුට මෙන් ඔහුට අවවාද කරන්න. තරුණයන් සහෝදරයන් මෙන් ද,
2. වැඩිමහල් ස්ත්‍රීන් මවුවරුන් මෙන් ද තරුණියන් සහෝදරියන් මෙන් ද සෑම විට ම පිරිසිදු සිතින් සලකන්න.
3. ඇත්තට ම අසරණ ව සිටින වැන්දඹුවන් පිළිබඳ වගකීම භාරගන්න.
4. එහෙත් යම් වැන්දඹුවකට දරුවන් හෝ මුණුබුරන් හෝ ඇත්නම්, තම පවුල් වෙත යුතුකම් දැන ප්‍රථමයෙන් සිය දෙමවුපියන් පිළිබඳ යුක්තිය ඉෂ්ට කළ යුත්තෝ ඔව්හු ය. මන්ද, එය දෙවියන් වහන්සේට ප්‍රිය හෙයිනි.
5. එහෙත් ඇත්තෙන් ම අසරණ ව සිටින වැන්දඹුව දෙවියන් වහන්සේට කැප වී, දිවා රෑ දෙක්හි ආයාචනාවල ද යාච්ඤාවල ද යෙදෙයි.
6. කම්සැපෙහි ලොල් වූ තැනැත්තී, ජීවත් ව සිටිය දී ම මැරී සිටින්නී ය.
7. ඔවුන්ගේ ජීවිත නිදොස් වන ලෙස මේවා ඔවුන්ට සිහිපත් කරවන්න.
8. යමෙක් තමාගේ නෑයන්, විශේෂයෙන් තමාගේ පවුලේ අය, නොසලකා හරින්නේ නම්, ඔහු ඇදහිල්ල අත්හැර දැමූවෙකි; මිථ්‍යාදෘෂ්ටිකයෙකුට වඩා අයහපත් තැනැත්තෙකි.
9. වැන්දඹුවක ලෙස නාම ලේඛනයෙහි ඇතුළත් කළ යුත්තේ අවුරුදු හැටක් වත් වයසැති, එක ම පුරුෂයෙකුට භාර්යාව වී සිටි ස්ත්‍රියෙකි.
10. ඈ යහපත් ක්‍රියාවෙන් සාක්ෂි දැරීම ද, දරුවන් ඇතිදැඩි කිරීම ද ආගන්තුක සත්කාර කිරීම ද සැදැහැවතුන්ගේ පා සේදීම ද පීඩා විඳින්නන්ට උපකාර කිරීම ද සියලු ආකාර යහපත් ක්‍රියාවල යෙදීම ද පිළිබඳ ප්‍රසිද්ධියක් දරන තැනැත්තියක් විය යුතු යි.
11. එහෙත් යෞවන වැන්දඹුවන් නාම ලේඛනයෙහි ඇතුළත් නොකරන්න. ස්වාභාවික කාමතෘෂ්ණාවල බලපෑම නිසා, ක්‍රිස්තුන් වහන්සේගෙන් වෙන් වී, ඔවුන් නැවත විවාහයට පෙළඹෙන්නට පිළිවන.
12. මේ නිසා ඔව්හු පළමු පොරොන්දුව කඩකර වරදට පැමිණෙති.
13. තවද ඔව්හු, ගෙන්-ගෙට යමින් අලස වීමට පුරුදු වෙති. අලස වෙනවා පමණක් නොව, වාචාලකමින් අනුන්ගේ දේවලට ඇඟිලි ගැසීමට ද, නුසුදුසු දේ දෙඩීමට ද පුරුදු වෙති.
14. යෞවන වැන්දඹුවන් විවාහ වී දරුවන් ලබනවාටත්, ගේදොර රැකබලාගන්නවාටත් මම කැමැති වෙමි. එවිට නින්දා කිරීම සඳහා විරුද්ධවාදීන්ට කිසි ඉඩක් නොලැබේ.
15. මන්ද, දැනටමත් සමහරු අහක් වී සාතන් අනුව ගොස් සිටිති.
16. යම් කිසි ක්‍රිස්තු භක්තික ස්ත්‍රියකට, වැන්දඹු නෑදෑයින් ඇත්නම්, සභාවට වියදම් දරන්නට ඉඩ නොහැර, ඇය ඔවුන් නඩත්තු කළ යුතු ය. එවිට කාත් කවුරුනුත් නැති වැන්දඹුවන්ට උපකාර කරන්නට සභාවට පුළුවන් වේ.
17. යහපත් ලෙස මූලිකයන් වශයෙන් කටයුතු කරන සභාමූලිකයන්ට, එනම්, විශේෂයෙන් දේශනා කිරීමෙහිත්, ඉගැන්වීමෙහිත් වෙහෙස දරන අයට දෙගුණයක් වේතන ගෙවිය යුතු යි.
18. ගොයම් පාගන විට ගවයාගේ කට නොබැඳිය යුතු ය කියා ද, වැඩ කරන්නාට කුලියක් ලැබිය යුතු ය කියා ද, ශුද්ධ ලියවිල්ලේ සඳහන් කොට ඇත.
19. දෙතුන් දෙනෙකුගේ සාක්ෂි නැත්නම්, සභාමූලිකයෙකුට විරුද්ධ ව ඉදිරිපත් කරන කිසි ම චෝදනාවකට සවන් නොදෙන්න.
20. අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.
21. කලින් ගත් තීරණයක් අනුව වත්, පක්ෂපාතකමින් වත් කිසිවක් නොකර, සාධාරණ ව ක්‍රියා කිරීම ඔබේ යුතුකමක් ලෙස දෙවියන් වහන්සේ ද ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ද තෝරාගත් දේව දූතයන් ද ඉදිරියෙහි ඔබට අණ කරමි.
22. ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න.
23. වතුර පමණක් නොබී, කෑම දිරවීම පිණිසත්, නිතර ඇති වන අසනීප ගතිය නිසාත්, මිදියුස ටිකක් භාවිතා කරන්න.
24. සමහරුන්ගේ වැරදි, විනිශ්චයක් කිරීමටත් පෙර, පැහැදිලි ය. එහෙත් සමහරුන්ගේ වැරදි, එළිදරව් වන්නේ පසු ව ය.
25. එසේ ම පැහැදිලි ව පෙනෙන යහපත් ක්‍රියා ද ඇත. එසේ නොපෙනුණත්, ඒවා සැඟවී තිබෙන්නට නොහැකි ය.