Instagram
English
A A A A A
ජෙරමියා 27:1-22
1. ජොෂියාගේ පුත් ජුදාහි රජ වූ ශෙදෙකියා රජකම් කරන්නට පටන්ගත් කාලයේ ද සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ජෙරමියා වෙත පැමිණියේ ය.
2. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “වියබාන් හා වියගස් සාදාගෙන ඔහුගේ ගෙල වටේ දමාගන්නැ”යි වදාළ සේක.
3. තවද, ජුදාහි රජු වූ ශෙදෙකියා බැහැදැකීම පිණිස ජෙරුසලමට පැමිණි තානාපතිවරුන් අත ඒදොම්, මෝවබ්, අම්මොන්, තීර්, සීදොන් යන රටවල රජවරුන් වෙත පණිවුඩයක් යවන්නට සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.
4. “ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ ඒ රජවරුන්ට මෙසේ වදාරන සේකැ”යි ඒ තානාපතිවරුන්ට කියන ලෙස සමිඳාණන් වහන්සේ ජෙරමියාට වදාළ සේක.
5. ඒ කෙසේ ද යත්: “මම මාගේ ඉමහත් බලයෙන් ද පරාක්‍රමවත් බාහුවෙන් ද පොළොව සහ පොළොව මතුපිට සිටින මිනිසුන් ද තිරිසනුන් ද මැවීමි. මා කැමැති කෙනෙකුට මට ඒවා දිය හැකි ය.
6. මම මේ සියලු රටවල් මාගේ සේවක වන නෙබුකද්නෙශර්ගේ අතට පාවා දිනිමි. ඔහුට සේවය කරන පිණිස ගවමහිෂයන් පවා ඔහුට දිනිමි.
7. ඔහුගේ රටේ වැටීම ඇති වන තෙක්, සියලු ජාතීන් ඔහුටත්, ඔහුගේ පුත්‍රයන්ටත්, පුත්‍රයන්ගේ පුත්‍රයන්ටත් සේවය කරනු ඇත. ඉන්පසු ඔහුගේ රාජ්‍යය, බලවත් අන් රාජ්‍යයන්ටත්, උසස් රජවරුන්ටත් සේවය කරනු ඇත.
8. “යම් ජාතියක් හෝ රාජ්‍යයක් හෝ බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, ඔහුගේ පාලනය නමැති වියගහට කර තබන්නේ නැත්නම්, මා ඒ ජාතිය හෝ රාජ්‍යය හෝ නෙබුකද්නෙශර් ලවා වනසාදම්මන තුරු, මම එයට කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
9. එබැවින්, ‘නුඹලා බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ’යි කියන නුඹලාගේ දිවැසිවරුන්ට ද පේන කියන්නන්ට ද සිහින දකින්නන්ට ද මායම්කාරයන්ට ද අනවිනකාරයන්ට ද සවන් නොදෙන්න.
10. එයින් සිදු වන්නේ, මුසාවෙන් ඔවුන් නුඹලා මුළා කිරීම වේ. නුඹලා මා විසින් නුඹලාගේ දේශයෙන් නෙරපා, පන්නා දමනු ලැබ විනාශයට පත් වන්නහු ය.
11. එහෙත්, බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ කර තබාගෙන ඔහුට සේවය කරන ඕනෑ ම ජාතියකට සිය රටෙහි නැවතී, එය වගා කර, එහි වාසය කරන්නට මම ඉඩ හරින්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
12. ජුදාහි රජු වූ ශෙදෙකියාට ද ජෙරමියා එම දේ කීවේ ය. කෙසේ ද යත්, “බබිලෝනියේ රජුගේ පාලනය නමැති වියගහ ඔබේ කරට ගෙන ඔහුට සහ ඔහුගේ සෙනඟට සේවය කරන්න. එවිට ඔබ ජීවත් වන්නෙහි ය.
13. බබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑ ම ජාතියක් සම්බන්ධයෙන් සමිඳාණන් වහන්සේ කියා ඇති පරිදි ඔබ සහ ඔබේ සෙනඟ කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද මැරෙන්නේ කුමට ද?
14. බබිලෝනියේ රජුට සේවය නොකරන්නැ යි කියන දිවැසිවරුන්ට සවන් නොදෙන්න. ඔව්හු ඔබට බොරු දිවැස් වැකි කියති.
15. සමිඳාණන් වහන්සේ ඒ දිවැසිවරුන් නොඑවූ බවත්, උන් වහන්සේගේ නමින් ඔවුන් බොරු කියන බවත් සමිඳාණන් වහන්සේ ම වදාළ සේක. ඒ නිසා, උන් වහන්සේ ඔබ ද ඔබට දිවැස් වැකි පවසන දිවැසිවරුන් ද පලවා හරින සේක. ඔබ සියල්ලන් ම මරු මුවට පත් වනු ඇත.”
16. එවිට ජෙරමියා, පූජකවරුන්ටත්, දිවැසිවරුන්ටත් කතා කරමින් මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. දේව මාලිගාවේ භාණ්ඩ ඉක්මනින් ම බබිලෝනියෙන් නැවත ගෙනෙනු ලැබේ යයි නුඹලාට දිවැස් වැකි කියන නුඹලාගේ දිවැසිවරුන්ගේ වචනවලට සවන් නොදෙන්න. ඔව්හු නුඹලාට බොරු දිවැස් වැකි පවසති.
17. ඔවුන්ට සවන් නොදෙන්න. බබිලෝනියේ රජුට සේවය කර ජීවත් වන්න. මේ නගරය පාළුකරයක් කරන්නට ඉඩ තබන්නේ කුමට ද?
18. ඔව්හු සැබෑවට ම මාගේ වචනය පවසන දිවැසිවරු නම්, දේව මාලිගාවේත්, ජුදා රජුගේ මාලිගාවේත්, ජෙරුසලමේත් ඉතිරි ව ඇති භාණ්ඩ බබිලෝනියට ගෙන නොයන ලෙස සියලු බලැති ස්වාමීන් වන මට කන්නලව් කරත් වා.
19. “බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්, ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද ජුදාහි හා ජෙරුසලමේ ප්‍රධානීන් ද අල්ලාගෙන බබිලෝනියට යද්දී, ඔහු කුළුණු, ලෝකඩ තටාකය, මැසි හා දේව මාලිගාවේ අනික් භාණ්ඩ ගෙන ගියේ නැත.
20. ***
21. “ඉන්පසු ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ද ජුදාහි රජ මැදුරෙහි ද ඉතිරි ව ඇති ඒ භාණ්ඩ ගැන ස්වාමීන් වන මා වදාරන දේට සවන් දෙන්න.
22. ඒවා බබිලෝනියට ගෙනයනු ලබන්නේ ය; මා ඒවා සලකා බලන දවස දක්වා ඒවා එහි තිබෙන්නේ ය. එවිට මම ඒවා ගෙනවුත් නැවත මේ ස්ථානයට පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

ජෙරමියා 28:1-17
1. එම අවුරුද්දේ ම එනම්, ජුදාහි රජු වූ ශෙදෙකියාගේ රාජ්‍ය කාලයේ සතර වන අවුරුද්දේ පස් වන මාසයේ දී, අස්සුර්ගේ පුත් ගිබියොන්හි පදිංචි දිවැසිවර හනනියා දේව මාලිගාවේ දී පූජකයන් සහ මුළු සෙනඟ ඉදිරියේ ජෙරමියාට කතා කෙළේ ය.
2. “ඉශ්රායෙල්හි සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි ඔහු කී ය: “බබිලෝනියේ රජුගේ බලය මම බිඳදැමීමි.
3. බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් මේ ස්ථානයෙන් රැගෙන බබිලෝනියට ගෙන ගිය දේව මාලිගාවේ සියලු ම භාණ්ඩ අවුරුදු දෙකක් ඇතුළත දී නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි.
4. ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජු වූ ජෙකොනියා ද බබිලෝනියට ගෙනයනු ලැබූ සියලු ම ජුදෙව්වරුන් ද මම නැවත මේ ස්ථානයට ගෙනෙන්නෙමි. බබිලෝනියේ රජුගේ බලය මම සිඳදමන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
5. එවිට දිවැසිවර ජෙරමියා පූජකයන් ද දේව මාලිගාවේ සිටි සියලු සෙනඟ ද ඉදිරියෙහි සිට දිවැසිවර හනනියාට කතා කොට මෙසේ කී ය:
6. “එසේ ම වේ වා! සමිඳාණන් වහන්සේ එසේ කරන සේක් වා! ‘දේව මාලිගාවේ භාණ්ඩ ද අල්ලාගෙන යනු ලැබූ සියල්ලන් ද නැවත බබිලෝනියෙන් මේ ස්ථානයට ගෙනෙත් වා!’යි ඔබ කී දිවැස් වැකි සමිඳාණන් වහන්සේ ඉටු කරන සේක් වා!
7. එසේ වුවත්, ඔබ ඉදිරියේත්, මේ සෙනඟ ඉදිරියේත් සියල්ලන්ට ඇසෙන පරිදි මා කියන මේ වචනය අසන්න.
8. මටත්, ඔබටත් පෙර, පුරාණයේ පටන් සිටි දිවැසිවරුත්, ‘බොහෝ රටවලට සහ බලවත් රාජ්‍යවලට විරුද්ධ ව යුද්ධය ද විපත්තිය ද වසංගතය ද ඇති වේ’ යයි දිවැස් වැකි පැවසූ හ.
9. ‘සාමය ඇති වේ’ යයි දිවැස් වැකි පවසන ලද දිවැසිවරයා, සැබැවින් ම සමිඳාණන් වහන්සේ විසින් එවන ලද දිවැසිවරයෙක් යයි හඳුනාගත හැක්කේ ඔහුගේ වචන ඉෂ්ට වූ විට ය.”
10. එවිට හනනියා, ජෙරමියාගේ බෙල්ලෙන් වියගහ හැරගෙන එය කැඩුවේ ය.
11. මුළු සෙනඟ ඉදිරියේ හනනියා කතා කොට, “බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර් ජාතීන්ගේ ගෙල මත තබා ඇති වියගහ අවුරුදු දෙකක් ඇතුළත දී සමිඳාණන් වහන්සේ කඩාදමන්නේ මෙසේ ය”යි කී ය. ජෙරමියා එතැනින් යන්නට ගියේ ය.
12. තවද, ජෙරමියාගේ ගෙල මත තිබූ වියගහ හනනියා කඩාදැමූ පසු, සමිඳාණන් වහන්සේ ජෙරමියාට කතා කොට,
13. හනනියාට මෙසේ කියන්න යයි වදාළ සේක: “නුඹ ලී වියගහක් කඩාදැමුවෙහි ය. එහෙත්, ඒ වෙනුවට යකඩ වියගහක් සාදන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
14. බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය කරන පිණිස යකඩ වියගහක් සියලු ජාතීන්ගේ ගෙල මත තබන්නෙමි යි ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ වදාරා ඇත. ගවමහිෂයන් පවා නෙබුකද්නෙශර්ට සේවය කරන්නට සලස්වන්නෙමි යි සමිඳාණන් වහන්සේ වදාරා ඇත.”
15. තවද, ජෙරමියා හනනියාට මෙසේ කීවේ ය: “හනනියා, සවන් දෙන්න. සමිඳාණන් වහන්සේ ඔබ එවා වදාළේ නැත. මිථ්‍යා මතයන් කෙරෙහි විශ්වාසය තබන්නට ඔබ මේ සෙනඟට සැලැසුවෙහි ය.
16. ‘නුඹ පොළොව මතුපිටින් මම පහකරන්නෙමි’යි සමිඳාණන් වහන්සේ ම වදාරන සේක. ඔබ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිකාර වචන ප්‍රකාශ කළ නිසා ඔබ මේ අවුරුද්දේ මැරෙන්නෙහි ය.”
17. ඒ කී ලෙස හනනියා එම අවුරුද්දේ සත් වන මාසයේ දී මළේ ය.

ගීතාවලිය 119:33-40
33. සමිඳුනි, ඔබේ ශික්ෂා මාර්ගය මට ඉගැන්නුව මැනව. එය දිවි හිමියෙන් මම පිළිපදින්නෙමි.
34. මට මනා අවබෝධය දුන මැනව. එවිට ඔබේ ව්‍යවස්ථාව රක්ෂා කරන්නෙමි; එසේ ය, මාගේ මුළු සිතින් එය පිළිපදින්නෙමි.
35. ඔබේ ශික්ෂා මාර්ගයෙහි මා කැඳවාගෙන යනු මැනව. මන්ද, එය මාගේ ප්‍රීතිය වේ.
36. අයුතු ලාභයට නොව, ඔබේ ශික්ෂා පදවලට මාගේ සිත යොමු කළ මැනව.
37. නිසරු දේ නැරඹීමෙන් මාගේ නෙත් වැළකුව මැනව; ඔබේ වචනයෙන් මා ප්‍රාණවත් කළ මැනව.
38. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තන් හට ඔබ දෙන පොරොන්දුව ඔබේ මෙහෙකරුවාට ඉටුකර දුන මැනව.
39. මා තුළ බිය උපදවන මාගේ නින්දාව මා කෙරෙන් පහකළ මැනව. මන්ද, ඔබේ විශ්වාසවන්තකම යහපත් ය.
40. ඔබේ නියෝගයන්ට ආශා වීමි. ඔබේ දැහැමි බවෙහි මා ප්‍රාණවත් කළ මැනව.

හිතෝපදේශ 27:18-18
18. අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.

2 තෙසලෝනික 3:1-18
1. අවසන්කොට, සහෝදරවරුනි, ඔබ අතර සිදු වූ ලෙස ම අන් තැන්වලත් සමිඳාණන් වහන්සේගේ පණිවුඩය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් ගෞරවයට පැමිණෙන පිණිස, අප උදෙසා යාච්ඤා කරන්න.
2. හිතුවක්කාර නපුරු මිනිසුන්ගෙන් අප ගැළවෙන පිණිස ද යාච්ඤා කරන්න. මන්ද, ඇදහීම සියල්ලන්ට ම ලැබී නැත.
3. එහෙත් සමිඳාණන් වහන්සේ විශ්වාසවන්ත ය. උන් වහන්සේ ඔබ ශක්තිමත් කොට නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.
4. තවද, අප ඔබට අණ කරන දේ ඔබ දැනටත්, මතුවටත් ඉටු කරනු ඇතැ යි සමිඳාණන් වහන්සේ ඔබ ගැන අපට සහතිකයක් දී ඇත.
5. සමිඳාණන් වහන්සේ ඔබගේ සිත් දෙවියන් වහන්සේගේ ප්‍රේමයටත්, ක්‍රිස්තුන් වහන්සේගෙන් වන ඉවසීමටත් පමුණුවන සේක් වා!
6. තවද, සහෝදරවරුනි, අපෙන් ලැබූ උපදෙස් අනුව නොව, අලසකමින් හැසිරෙන සියලු සහෝදරයන්ගෙන් වෙන් ව සිටින මෙන් අපගේ ජේසුස් ක්‍රිස්තුස් සමිඳාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔබට අණ කරමු.
7. අපේ ආදර්ශය ඔබ අනුගමනය කළ යුත්තේ කෙසේ දැ යි ඔබ ම දන්නහු ය. අප ඔබ අතර අලසකමින් හැසුරුණේ නැත.
8. අපි කිසිවෙකුගෙන් පිනට කෑම නොකෑවෙමු. ඔබෙන් කිසිවෙකුට බරක් නො වන පිණිස, අපි වෙහෙස මහන්සියෙන් දිවා රෑ දෙක්හි වැඩ කළෙමු.
9. අප මෙය කෙළේ ඔබෙන් ආධාර ලැබීමට අපට අයිතියක් නැති නිසා නොව, අනුගමනය කිරීම සඳහා ඔබට ආදර්ශයක් දෙන පිණිස ය.
10. “වැඩ නොකරන්නෝ ආහාර නොවළඳත් වා”යි අපි ඔබ අතර සිටිය දී පවා ඔබට අණ කෙළෙමු.
11. ඔබෙන් සමහරෙකු කිසි වැඩක් නොකර, අනුන්ගේ කාරණාවලට ඇඟිලි ගසමින් අලසකමින් හැසිරෙන බව අපට සැළ වී ඇත.
12. එබඳු අය සන්සුන් ලෙස වැඩ කොට, සිය දිවි පෙවෙත උපයාගන්නා ලෙස ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් අණ දී අවවාද කරමු.
13. එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න.
14. යමෙක් මේ හසුනේ සඳහන් අපගේ අවවාදවලට කීකරු නොවන්නේ නම් ඔහු සිතේ තබා ගෙන, ඔහු ලජ්ජාවට පමුණුවන පිණිස ඔහු ඇසුරු නොකරන්න.
15. එහෙත් ඔහු සතුරෙකු මෙන් නොසලකා, සහෝදරයෙකුට මෙන් ඔහුට දැනමුතුකම් දෙන්න.
16. සාමදානයේ සමිඳාණන් වහන්සේ ම, නිතර ම, සියලු අයුරින් ම ඔබට සාමදානය දෙන සේක් වා! සමිඳාණන් වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක් වා!
17. හැම හසුනක ම මා අත්සන් තබන පරිදි, පාවුලු නම් මම, මාගේ ම අතින් මේ ආචාරය ලියා එවමි.
18. අප ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඔබ සියල්ලන් සමඟ වේ වා!