A A A A A
අවුරුද්දකින් බයිබලය
ඔක්තෝම්බර් 15

ජෙරමියා 15:1-21
1. එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “මෝසෙස් හා සාමුවෙල් මා ඉදිරියෙහි සිට කන්නලව් කළත්, මේ සෙනඟට මම අනුකම්පා නොකරමි. මා ඉදිරියෙන් ඔවුන් පහ කරන්න; ඔවුන් පලවා හරින්න.
2. ‘අප කොතැනට යා යුතු දැ’යි නුඹෙන් ඇසූ විට, ඔවුන්ට මා මෙසේ වදාළ බව කියන්න. ‘වසංගතයට නියම වූ අය වසංගතයටත්, කඩුවට නියම වූ අය කඩුවටත්, සාගතයට නියම වූ අය සාගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත් යා යුතු ය.’
3. ඔවුන් විනාශ කිරීමට මාරක සතරක් ස්වාමීන් වන මා නියම කර ඇත. එනම්, මරාදමන පිණිස කඩුව ද ඉරාදමන පිණිස බල්ලෝ ද කාදමා නැති කරන පිණිස අහසේ පක්ෂීහු හා පොළොවේ මෘගයෝ ද යන සතර ය.
4. ජුදාහි රජ වූ හෙසකියාගේ පුත් මනස්සේ ජෙරුසලමේ කළ දේ නිසා, ලොවේ සියලු ජාතීන්ගේ පිළිකුලට ඔවුන් භාජන කරන්නෙමි.
5. එම්බා ජෙරුසලම! නුඹට අනුකම්පා කරන්නේ කවරෙක් ද? නුඹ ගැන වැලපෙන්නේ කවරෙක් ද? නුඹේ සුව දුක් අහන්නට නුඹ ළඟට එන්නේ කවරෙක් ද?
6. නුඹලා මා ප්‍රතික්ෂේප කර මට පිටුපා ගොස් ඇත. මෙසේ කියන්නේ ස්වාමීන් වන මම ය. ලතැවීමෙන් මා වෙහෙසට පත් වී සිටින බැවින් මම මාගේ අත නුඹලාට විරුද්ධ ව ඔසවා නුඹලා විනාශ කෙළෙමි.
7. මම කුල්ලකින් පොළන්නාක් මෙන් දේශයේ හැම නගරයක දී ඔවුන් පොළාදැමුවෙමි. ඔවුන් කෙරේ වියෝ දුක පැමිණෙව්වෙමි. මාගේ සෙනඟ වන නුඹලා නුඹලාගේ නපුරු මාර්ගවලින් හැරී නොපැමිණි බැවින් මම නුඹලා අත්හැර විනාශ කෙළෙමි.
8. මම වැන්දඹුවන්ගේ ගණන මුහුදේ වැලිවලටත් වඩා වැඩි කෙළෙමි. ජීවිතයේ ඉර මුදුන් වේලාවේ මම නුඹලාගේ තරුණයන්ගේ මවුවරුන්ට සිත් වේදනාව ද භීතිය ද හදිසියේ ඇති වන්නට සැලසුවෙමි.
9. දරුවන් හත්දෙනෙකු වැදූ මව දුර්වල වී ක්ලාන්ත වූවා ය. ඇගේ එළිය දවාලෙහි ම අඳුරට හැරී ඇත. ඈ ලජ්ජාවටත්, නින්දාවටත් පත් වූවා ය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේ දී කඩුවට භාර දෙන්නෙමි. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”
10. අහෝ මාගේ මෑණියෙනි! මුළු දේශය සමඟ තරඟ ද විවාද ද කරන මිනිසෙකු වීමට ඔබ මා වැදූ නිසා මට සිදු වී ඇති විපතක මහත! මා කිසිවෙකුට ණයට දුන්නේ වත්, කිසිවෙකුගෙන් ණයට ගත්තේ වත් නැත. එහෙත්, සියල්ලෝ ම මට සාප කරති.
11. සමිඳුනි! ඔවුන්ගේ යහපත පිණිස මම යාච්ඤා නොකෙළෙම් නම්, කරදර කාලයෙහිත්, විපත් කාලයෙහිත් සතුරා උදෙසා ඔබ වහන්සේට කන්නලව් නොකෙළෙම් නම්, මේ සාප මා පිට පැමිණේ වා!
12. යකඩ කඩන්නට පුළුවන් කවරෙකුට ද? විශේෂයෙන් ම උතුරු දිශාවේ ලෝකඩ මිශ්‍ර යකඩ කඩන්නට පුළුවන් කවරෙකුට ද?
13. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “දේශයේ හැම තැන ම ඔවුන් කර ඇති ඔවුන්ගේ පව් නිසා, මාගේ සෙනඟගේ සම්පත හා වස්තුව කොල්ලයක් මෙන් පැහැරගෙන යන්නට මම සලස්වන්නෙමි.
14. මාගේ උදහසින් සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබෙන බැවින් මම ඔවුන් තමන් නොදන්න දේශයක සතුරන්ට සේවය කරන්නට සලස්වන්නෙමි.”
15. එවිට ජෙරමියා මෙසේ පිළිතුරු දුන්නේ ය: “සමිඳුනි, ඔබ සියල්ල දන්න සේක, මා සිහි කොට, මා දෙස බලා මට පීඩා කරන්නන්ගෙන් මා වෙනුවෙන් පළිගත මැනව. ඔවුන් කෙරේ ඇති ඔබේ ඉවසිලිවන්තකම නිසා මා තුරන් නොකළ මැනව. ඔබ නිසා මා නින්දාව ඉසිලූ බව සිහි කළ මැනව.
16. ඔබ මට කතා කළ විට, මම ඒවාට සවන් දුන්නෙමි. ඒවා මට ප්‍රීතියක් ද මාගේ සිතට සතුටක් ද වේ. මන්ද, සියලු බලැති දෙවි ස්වාමීන් වහන්ස, මම ඔබේ නාමය දරමි.
17. විනෝදකාමීන්ගේ සමාගමෙහි හිඳගෙන මම ප්‍රීති නොවීමි. මට විරුද්ධ ව අත එසෙවූ බැවින් ඔවුන්ගෙන් වෙන් වී මම කෝපයෙන් පිරී සිටියෙමි.
18. මාගේ වේදනාවට කෙළවරක් නැත්තේ මන් ද? මාගේ තුවාළ අසාධ්‍ය ව තිබෙන්නේ මන් ද? ඒවා සුව නොවන්නේ මන් ද? ඔබ දිය සිඳී යන රැවටලිකාර දිය පාරක් මෙන් වන සේක් ද?”
19. මෙයට සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දුන් සේක: “නුඹ ආපසු ආවොත් මම නුඹ නැවත පිළිගන්නෙමි. නුඹ ද මා ඉදිරියේ සිටින්නෙහි ය. නුඹ නොවටින දේ නොව, අගනා දේ කතා කරන්නෙහි නම්, නුඹ මාගේ මුඛය මෙන් වන්නෙහි ය. එවිට සෙනඟ නුඹ වෙත හැරී එනු ඇත. ඔවුන් වෙත යන්න නුඹට වුවමනාවක් නොවනු ඇත.
20. මම මේ සෙනඟට විරුද්ධ ව නුඹ බලවත් ලෝකඩ පවුරක් මෙන් කරන්නෙමි. ඔව්හු නුඹට විරුද්ධ ව යුද්ධ කරතත් නුඹෙන් ජය නොගනිති. මන්ද, නුඹ ගළවන්නත්, නිදහස් කරන්නත් මම නුඹ සමඟ සිටිමි.
21. මම නපුරන්ගේ අතින් නුඹ නිදහස් කරන්නෙමි. බලහත්කාරකම් කරන්නන්ගේ බලයෙන් නුඹ මුදන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

ජෙරමියා 16:1-21
1. සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කොට මෙසේ වදාළ සේක:
2. “මේ ස්ථානයෙහි නුඹ ස්ත්‍රියක සරණ පාවා නොගන්න. දරුදැරියෝ ද නුඹට නොසිටිත් වා!
3. මෙහි උපදින දරුදැරියන්ටත්, ඔවුන් දැරූ මවුවරුන්ටත්, ඔවුන් ජනිත කළ පියවරුන්ටත් සිදු වන්න යන දේ මම නුඹට කීවෙමි.
4. ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
5. “වැලපීම ඇති නිවෙසට ඇතුළු නොවන්න; ළතෝනි කියන්නට නොයන්න; ඔවුන් ගැන ශෝක නොවන්න. මාගේ සාමදානයත්, ස්ථිර ප්‍රේමයත්, අනුකම්පාවත් මේ සෙනඟගෙන් ඉවත් කරගතිමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
6. මේ දේශයේ ලොකු කුඩා අය මැරෙනු ඇත. ඔවුන් වළලනු ලබන්නේ වත්, කිසිවෙකු ඔවුන් ගැන විලාපයක් කියන්නේ වත් නැත. කිසිවෙකු ශෝකයෙන් සිය ශරීරය කපාගන්නේ වත්, හිස මුඩු කරගන්නේ වත් නැත.
7. මළවුන් නිසා වියෝ දුක ඇති අයෙකුගේ සැනසීම සඳහා ඔහු සමඟ දානයක් වළඳන කෙනෙක් නොවන්නෝ ය; දෙමවුපියන් නිසා ඔහුට සැනසීමේ කුසලාන දෙන කෙනෙක් ද නොවන්නෝ ය.
8. “මංගල භෝජනයක් පවත්වන ගෙදරකට ඇතුළු නොවන්න. එහි සිටින්නන් සමඟ කන බොන පිණිස වාඩි නොවන්න.
9. ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් වන, සියලු බලැති ස්වාමීන් වන මා කියන දේට සවන් දෙන්න. ඔවුන්ගේ ඇස් හමුයෙහි ම, ඔවුන් ජීවත් ව සිටින කාලයේ දී ම ප්‍රීති ප්‍රමෝද නාදය ද මනාලයා සහ මනාලියගේ හඬ ද මේ ස්ථානයෙන් මම තුරන් කරන්නෙමි.
10. “නුඹ මේ කරුණු මේ සෙනඟට දැන්වූ විට ඔවුන් නුඹෙන් මෙසේ අසනු ඇත: ‘මේ සියලු බරපතල විපත්ති සමිඳාණන් වහන්සේ අප පිට පැමිණෙව්වේ මන් ද? අපේ අපරාධය කුමක් ද? අපේ දෙවි ස්වාමීන් වහන්සේට විරුද්ධ ව අප කළ පාපය කුමක් ද?’ ”
11. එවිට සමිඳාණන් වහන්සේ මෙසේ කියනු ඇතැ යි ඔවුන්ට කියන්න. ‘නුඹලාගේ පියවරු මා අත්හැර අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවය කර, නමස්කාර කර, මා අත්හැර දමා මාගේ ව්‍යවස්ථාව ද නොපැවැත්වූ හ.
12. නුඹලා නුඹලාගේ පියවරුන්ටත් වඩා නපුරු ලෙස ක්‍රියා කර ඇත. නුඹලා මට සවන් නො දී, නුඹලාගේ මුරණ්ඩු නපුරු සිතුවිලි අනුව හැසිරෙන්නහු ය.
13. එබැවින්, නුඹලා වත්, නුඹලාගේ පියවරුන් වත් දැන නොගත් දේශයකට මම නුඹලා නෙරපාදමන්නෙමි. එහි නුඹලා රෑ දහවල් අන් දෙවිවරුන්ට සේවය කරනු ඇත. මම නුඹලාට කිසි අනුකම්පාවක් නොදක්වමි.’
14. “ ‘ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා තවත් දිවුරන්නට නොහැකි කාලය පැමිණෙන්නේ ය.
15. ඒ වෙනුවට, ‘ඉශ්රායෙල් සෙනඟ උතුරු දේශයෙන් ද ඔවුන් විසුරුවා හැරි දේශවලින් ද ගෙනා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමය’ කියා දිවුරන කාලය පැමිණෙන්නේ ය. මා ඔවුන්ගේ පියවරුන්ට දුන් ඔවුන්ගේ දේශයට ඔවුන් නැවත පමුණුවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
16. “මේ සෙනඟ අල්ලන පිණිස මම මසුන් අල්ලන්නන් බොහෝ දෙනෙකු එවන්නෙමි. ඉන්පසු සියලු කඳුවල ද සියලු හෙල්වල ද පර්වත විවරවල ද දඩයමින් මෙන් ඔවුන් ගෙනෙන පිණිස දඩයම්කාරයන් මම එවන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
17. ඔවුන් කරන සියලු දේ මට පෙනේ; කිසිවක් මාගෙන් සැඟවී නැත; ඔවුන්ගේ අයුතුකම් මාගේ ඇස් ඉදිරියෙන් සැඟවී නැත.
18. මළකඳන් වැනි අශික්ෂිත පිළිමවලින් ඔවුන් මාගේ දේශය දූෂණය කර, දේශය පිළිකුල් කටයුතු දෙවිවරුන්ගෙන් පුරවා ඇති නිසා මම ඔවුන්ගේ අයුතුකමටත්, පාපයටත් දෙගුණයක් ප්‍රතිවිපාක ගෙන දෙන්නෙමි.”
19. සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.
20. මිනිසෙකුට තමා උදෙසා ම දෙවිවරුන් සාදාගත හැකි ද? නැත. ඒවා ඇත්තට ම දෙවිවරු නොවෙති”යි කියති.
21. “එබැවින් මාගේ බලයත්, මාගේ පරාක්‍රමයත් මේ වතාවේ නිශ්චය වශයෙන් ඔවුන්ට දැනගන්නට සලස්වන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ”යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.

ගීතාවලිය 118:21-24
21. මම ඔබට ස්තුති කරන්නෙමි, මන්ද, ඔබ මට පිළිතුරු දී මාගේ ගැළවීම වූ සේක.
22. ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත.
23. මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.
24. මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.

හිතෝපදේශ 27:10-10
10. ඔබේ ම මිත්‍රයා ද පියාගේ මිත්‍රයා ද අත් නාරින්න. විපතේ දී නෑයින් වෙත නොයන්න. ළඟ සිටින මිතුරා දුර සිටින නෑයාට වඩා අගනේ ය.

1 තෙසලෝනික 2:1-20
1. සහෝදරවරුනි, ඔබ වෙත අපේ පැමිණීම නිෂ්ඵල නුවූ බව ඔබ ම දන්නහු ය.
2. ඔබ දන්නා පරිදි, ඊට පෙර පිලිප්පියෙහි දී, අපි දුකට හා නිග්‍රහයට භාජනය වීමු. එහෙත් බොහෝ විරුද්ධවාදිකම්වලට මුහුණ පාමින් වුව ද, ඔබට සුබ අස්න දේශනා කිරීමට දෙවියන් වහන්සේ අප ධෛර්යවත් කළ සේක.
3. අපගේ අයැදීම මුළාවෙන් හෝ, අපිරිසුදු චේතනාවෙන් හෝ වන්නක් නොවේ. රැවටීමට උත්සාහයක් ද අප තුළ නැත.
4. එහෙත් ධර්මදූත සේවය පැවරීමට අප සුදුස්සන් යයි දෙවියන් වහන්සේ අප අනුමත කළ ලෙසින් ඒ අනුව අපි කතා කරමු. මිනිසුන් සතුටු කිරීමට නොව, නිතර ම අපගේ සිත් විමසන දෙවියන් වහන්සේ සතුටු කිරීමට උත්සාහ කරමු.
5. ඔබ දන්නා පරිදි අප කිසි කලෙක ඉච්ඡා වචන ව්‍යවහාර කළේත්, අපගේ තණ්හාව සැඟවීමට උපා යෙදුවේත් නැත. ඒ බවට දෙවියන් වහන්සේ සාක්ෂි දරන සේක.
6. අපි කිසි දිනක ඔබගෙන් හෝ, අන්‍යයන්ගෙන් හෝ, මනුෂ්‍ය ප්‍රශංසාව නොසෙව්වෙමු.
7. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේරිතයන් මෙන් එසේ සෙවීමට අපට අයිතියක් තිබුණ නමුත් අපි එසේ නොකෙළෙමු. කිරි මවක් සිය දරුවන් මෘදු ලෙස පෝෂණය කරන්නාක් මෙන් අපි ඔබ අතරෙහි මෘදු ලෙස සිටියෙමු.
8. ඔබ අපට කෙතරම් ප්‍රේමාන්විත වූවහු ද යත්, දෙවියන් වහන්සේගේ සුබ අස්න දීමට පමණක් නොව, අපගේ ම ජීවිත පවා ඔබට දීමට සතුටු ව සිටියෙමු. ඔබ අපට එතරම් ප්‍රිය මනාප වූවහු ය.
9. මන්ද, සහෝදරවරුනි, අපි කෙතරම් වීර්යයෙන් හා වෙහෙස මහන්සියෙන් සේවය කළෙමු දැ යි ඔබට මතක ඇත. අපි ඔබෙන් කිසිවෙකුට බරක් නොවන පිණිස දිවා රෑ දෙක්හි රැකියාවක යෙදෙමින් දෙවියන් වහන්සේගේ සුබ අස්න ඔබට දේශනා කළෙමු.
10. ඇදහිලිවතුන් වන ඔබ අතරෙහි අපි කෙතරම් ශුද්ධ ව, දැහැමි ව, නිදොස් ව හැසුරුණෙමු ද කියා ඔබ පමණක් නොව දෙවියන් වහන්සේත් සාක්ෂි දරන සේක.
11. පියෙකු සිය දරුවන්ට සලකන පරිදි අප ඔබ ගැන සැලකූ හැටි ඔබ දන්නහු ය.
12. දෙවියන් වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් කැඳවනු ලැබූ ඔබ, උන් වහන්සේට ඔබින පරිදි ජීවත් වන ලෙස අපි ඔබ එකිනෙකාට අනුශාසනා කළෙමු, ධෛර්යය දුනිමු, ආයාචනා කළෙමු.
13. තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.
14. සහෝදරවරුනි, ක්‍රිස්තියානි සහභාගිකමට ඇතුළත් ජුදයේ දෙවියන් වහන්සේගේ සභාවන්ට සිදු වූ දෙය ම ඔබටත් සිදු විය. ඔවුන් ජුදෙව්වරුන්ගෙන් පීඩා ලැබූ ලෙස ම ඔබත් ඔබගේ ම රටවැසියන්ගෙන් පීඩා ලැබුවහු ය.
15. ඒ ජුදෙව්වරු ජේසුස් ස්වාමීන් වහන්සේ ද, දිවැසිවරයන් ද මරණයට පත් කර, අප පලවා හැරියහ. ඔව්හු දේව කැමැත්තට පිටුපා සියලු මනුෂ්‍යයන්ට සතුරු ව සිටිති.
16. විජාතීන්ට ගැළවීම සලසන පණිවුඩය දේශනා කිරීම පවා අපට තහනම් කර ඇත. මෙසේ ඔව්හු තමන්ගේ පාපවල කෙළවරට ම පැමිණ සිටිති. අවසාන කොට, දැන් දේව උදහස ඔවුන් පිට පැමිණ තිබේ.
17. සහෝදරවරුනි, ටික කලකට අපි ඔබ ඇසින් නුදුටුවත්, සිතින් අමතක නොකෙළෙමු. ඒ කාලයේ දී ඔබගේ මුහුණ දැකීමට අපි ඉමහත් ආශාවකින් බොහෝ සේ උත්සාහ කෙළෙමු.
18. ඔබ වෙත පැමිණීමට අපි පුල පුලා සිටියෙමු. ඇත්තට ම, පාවුලු වන මම කීප වරක් ම උත්සාහ කෙළෙමි. එහෙත් සාතන් අපට බාධා කෙළේ ය.
19. අපගේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ ආගමනයේ දී, උන් වහන්සේ ඉදිරියෙහි අපගේ බලාපොරොත්තුවත්, ප්‍රීතියත් ප්‍රෞඪ කිරීටයත් කවරෙක් ද? ඔබ ම නොවන්නහු ද?
20. එසේ ය, ඔබ අපගේ ගෞරවයත් ප්‍රීතියත් ය.