Instagram
English
A A A A A
අවුරුද්දකින් බයිබලය
ජනවාරි 27

නික්මයාම 3:1-22
1. මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තැන වන ජෙත්රෝගේ එළු බැටළු පට්ටි රැකබලාගනිමින් සිටියේ ය. ඔහු ඒ පට්ටි පාළුකරය හරහා දක්කාගෙන ගොස්, හොරෙබ් නම්, දෙවියන් වහන්සේගේ කන්දට පැමිණි කල,
2. සමිඳාණන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැඟුණු ගිනි ජාලාවක ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිළී ගිය නමුත් එය නොදැවෙන බව දිටී ය.
3. මෝසෙස්, “මෙය පුදුමයකි. මම දැන් ඊට ළං වී, පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි”යි තමාට ම කියාගත්තේ ය.
4. ඔහු එය බලන පිණිස ඊට ළං වන බව සමිඳාණන් වහන්සේ දුටු විට, දෙවියන් වහන්සේ පඳුර මැදින්, “මෝසෙස්, මෝසෙස්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, “මම මෙහි ය”යි කීවේ ය.
5. එවිට දෙවියන් වහන්සේ කතා කොට, “මෙතැනට ළං නොවන්න; නුඹේ පාදවලින් වහන් ගලවාදමන්න; නුඹ සිටින ස්ථානය ශුද්ධ භූමියෙකැ”යි වදාළ සේක.
6. තවදුරටත් උන් වහන්සේ කතා කරමින්, “නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මම ය, ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද මම ය”යි වදාළ සේක. මෝසෙස් ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේ ය.
7. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.
8. මිසර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා, ඒ රටින් ඔවුන් පිට කරවා, සාරවත් විශාල දේශයකට, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට, එනම් කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශයට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආවෙමි.
9. දැන් ඉතින්, මෙන්න, ඉශ්රායෙල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැඟී ඇත. තවද, මිසර වාසීන් දෙන දරුණු පීඩාවන් ද මා දැක ඇත.
10. එබැවින් දැන් ඉතින් එන්න, මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යන පිණිස, මම නුඹ පාරාවෝ වෙත යවමි.”
11. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “පාරාවෝ වෙත යාමටත්, ඉශ්රායෙල් ජනයා මිසරයෙන් පිටතට ගෙන ඒමටත් මම කවරෙක් දැ”යි ඇසී ය.
12. දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.
13. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට, “එසේ නම් මා, ඉශ්රායෙල් සෙනඟ වෙත ගොස්, ‘නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේකැ’යි කී විට, ඔවුන් ද, ‘උන් වහන්සේගේ නම කුමක් දැ’යි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කියම් දැ”යි ඇසී ය.
14. උන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින්, “මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ‘ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි නුඹ ඉශ්රායෙල් ජනයාට කිව යුතු ය”යි වදාළ සේක.
15. තවදුරටත් උන් වහන්සේ මෝසෙස්ට කතා කරමින්, මෙසේ වදාළ සේක: “ ‘ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකැ’යි කිව යුතු ය; සදහට ම මෙය මාගේ නාමය වේ; මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති.”
16. “නුඹ ගොස් ඉශ්රායෙල් ජනයාගේ ප්‍රජා මූලිකයන් රැස් කොට, ඔවුන් අමතා, ‘ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවියන් වහන්සේ වන, ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මට දර්ශනය වී කතා කොට, මම සැබැවින් ම ඔබ වෙත පැමිණ, මිසර වාසීන් ඔබට කරන දේ දිටිමි.
17. එබැවින් ඔබ පීඩා විඳින මිසර දේශයෙන් මා ඔබ පිටත්කොට කානානිවරුන්ගේ හා හිත්තීවරුන්ගේ ද අමෝරිවරුන්ගේ හා පෙරිස්සිවරුන්ගේ ද හිවීවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ ද දේශය වන, කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට ඔබ ගෙන එන්ට මම ඉටාගෙන සිටිමි’යි කියන්න.
18. ඔව්හු ද නුඹේ හඬට සවන් දෙනු ඇත. නුඹ ද ඉශ්රායෙල්ගේ ප්‍රජා මූලිකයන් ද මිසරයේ රජු වෙත ගොස් ඔහුට කතා කොට, ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ අපට හමු වූ සේක. එබැවින් අපගේ දෙවි සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරන ලෙස, තුන් දවසක ගමනක්, පාළුකරයට යන්නට අපට අවසර දෙන ලෙස අපි ඔබෙන් බැගෑපත් ව ඉල්ලමු’යි කියන්න.
19. එහෙත් මිසරයේ රජ, තදින් බල කරනු ලැබුවොත් මිස නුඹලාට යන්නට අවසර නොදෙන බව මට සහතික ය.
20. මම ද මාගේ බාහු බලය පා, මා එහි කරන්ට යන හාස්කම් සියල්ලෙන් මිසරයට පහර දෙන්නෙමි. ඉන්පසු ඔහු නුඹලාට යන්ට අවසර දෙනු ඇත.
21. තවද, මම මිසර දේශ වාසීන් ඉදිරියෙහි මේ සෙනඟට අනුග්‍රහය පාන්නෙමි. එබැවින් නුඹලා පිටත් වී යන විට හිස් අතින් නොයන්නහු ය.
22. සෑම කාන්තාවක ම තම අසල්වැසියාගෙන් ද ඇගේ ගෘහයේ නැවතී සිටින තැනැත්තියගෙන් ද රිදී හා රන් ආභරණ ද වස්ත්‍ර ද ඉල්ලා ගන්නී ය. නුඹලා ඒවා නුඹලාගේ පුත්‍රයන්ට ද දූවරුන්ට ද පැළඳවිය යුතු ය. මෙලෙස නුඹලා මිසර වාසීන්ගේ වස්තුව කොල්ල කෑ යුතු ය.”

නික්මයාම 4:1-31
1. එවිට මෝසෙස් පිළිතුරු දෙමින්, “හොඳයි, ඔව්හු මා විශ්වාස නොකොට, මාගේ හඬට සවන් නො දී, සමිඳාණන් වහන්සේ ඔබට දර්ශනය නො වූ සේකැ’යි කීවොත් කුමක් කරන්න දැ”යි ඇසී ය.
2. සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹේ අතේ තිබෙන්නේ කුමක් දැ”යි ඇසූ සේක. ඔහු, “සැරයටියකැ”යි කී ය.
3. උන් වහන්සේ කතා කොට, “එය බිම දමන්නැ”යි වදාළ සේක. ඔහු එය බිම දැමී ය, එය සර්පයෙක් විය. එවිට මෝසෙස් ඌ ඉදිරියෙන් අහකට පැන්නේ ය.
4. සමිඳාණන් වහන්සේ ඔහු අමතමින්, “නුඹේ අත දිගු කොට උගේ වල්ගයෙන් අල්ලාගන්නැ”යි වදාළ සේක. මෝසෙස් ද අත දිගු කොට, ඌ වල්ගයෙන් අල්ලා ගත් විට, ඌ ඔහුගේ අතෙහි සැරයටියක් බවට හැරිණි.
5. උන් වහන්සේ ද, “ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ ද ඊසාක්ගේ දෙවියන් වහන්සේ ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේ ද වන ඔවුන්ගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹට දර්ශනය වූ බව ඔවුන් විශ්වාස කරන පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
6. තවදුරටත් උන් වහන්සේ ඔහුට කතා කරමින්, “දැන් නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ සේක. ඔහු තම අත ළයෙහි තැබී ය. ඔහු එය අහකට ගත් විට, පුදුමයකි, ඔහුගේ අත හිම මෙන් සුදු කුෂ්ඨයකින් වැසී තිබිණි.
7. යළිත් උන් වහන්සේ කතා කොට, “නැවත නුඹේ අත ළයෙහි තබන්නැ”යි වදාළ විට ඔහු තම අත ළයෙහි තැබී ය. එය ළයෙන් ඉවතට ගත් විට, පුදුමයකි, එය තම මාංසය මෙන් ප්‍රකෘති ස්වභාවයට හැරී තිබිණි.
8. එවිට උන් වහන්සේ ඔහු අමතමින්, “පළමු වන හාස්කමින් ඔව්හු නුඹ විශ්වාස නොකරත් නම්, නුඹේ හඬට සවන් නොදෙත් නම්, දෙ වන හාස්කමින් ඔවුන් නුඹේ කීම විශ්වාස කරනු ඇත.
9. ඔව්හු මේ හාස්කම් දෙක ම විශ්වාස නොකරත් නම්, නුඹ ගංගාවෙන් වතුර රැගෙන වියළි පොළොවට වත් කරන්න; එවිට නුඹ ගංගාවෙන් ගත් වතුර වියළි පොළොව මත ලේවලට හැරෙන්නේ ය”යි වදාළ සේක.
10. ඉන්පසු මෝසෙස් සමිඳාණන් වහන්සේ අමතා, “මාගේ ස්වාමීනි, ඔබ වහන්සේ ඔබේ දාසයා හා සමඟ කතා කළ පසු වේ වා, ඊට පෙර වේ වා, මම ව්‍යක්ත කථිකයෙක් නො වීමි. කීමෙහි බිණීමෙහි දුබල ය, දිව ගොතගහන සුලු ය”යි කී ය.
11. සමිඳාණන් වහන්සේ ඔහුට උත්තර දෙමින්, “මිනිසාගේ මුඛය නිර්මාණය කෙළේ කවරෙක් ද? යමෙකු ගොළු කරන්නේ හෝ බිහිරි කරන්නේ හෝ යමෙකුට පෙනීම දෙන්නේ හෝ යමෙකු අන්ධයෙකු කරන්නේ හෝ කවරෙක් ද? එසේ කරනුයේ සමිඳාණන් වහන්සේ වන මම නොවෙම් ද?
12. එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.
13. එහෙත්, ඔහු පිළිතුරු දෙමින්, “අනේ මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබ කැමැති අන් කෙනෙකු යැව්ව මැනවැ”යි කී ය.
14. එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස් සමඟ උදහසින් ඇවිළී, “නුඹේ සහෝදරයා වන ලෙවීයකු වූ ආරොන් ඉන්නවා නොවේ ද? ඔහු කතාවට දක්ෂයෙකු බව මම දනිමි. මෙන්න, නුඹ හමු වීමට ඔහු එනු ඇත; ඔහු ද නුඹ දකින විට තම හද පත්ලෙන් සතුටු වනු ඇත.
15. නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.
16. ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.
17. ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.
18. මෝසෙස් තම මාමණ්ඩි වන ජෙත්රෝ වෙත ආපසු ගොස්, ඔහුට කතා කොට, “මිසරයේ සිටින මාගේ ඥාතීන් වෙත ආපසු ගොස් ඔව්හු ජීවත් ව සිටිත් දැ’යි බලනු පිණිස මට යන්න, කරුණාකර, අවසර දෙන්නැ,”යි ඉල්ලී ය. ජෙත්රෝ ද, “සුව සේ යන්නැ”යි මෝසෙස්ට කීවේ ය.
19. සමිඳාණන් වහන්සේ මිදියන්හි දී මෝසෙස් අමතමින්, “මිසරයට ආපසු යන්න, නුඹව මරන්නට සෙවූ සියල්ලෝ ම මළ හ”යි වදාළ සේක.
20. මෝසෙස් ද තම බිරිඳ හා පුතුන් රැගෙන, ඔවුන් කොටළුවෙකු පිට නංවාගෙන යළි මිසර දේශයට ගියේ ය. දෙවියන් වහන්සේ දුන් සැරයටියත් ඔහු අතට ගත්තේ ය.
21. උන් වහන්සේ ඔහුට කතා කොට, “නුඹ මිසරයට ආපසු ගිය විට, මා නුඹට ඉටු කරන්න බලය දුන් ඒ සියලු හාස්කම් පාරාවෝ ඉදිරියෙහි පෑ යුතු ය. එහෙත්, මම ඔහුගේ හිත දැඩි කරමි. සෙනඟට පිට වී යාමට ඔහු ඉඩ නොදෙනු ඇත.
22. නුඹ ද පාරාවෝට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි කියන්න: ‘ඉශ්රායෙල් ජනතාව මාගේ කුලුඳුල් පුත්‍ර රත්නය ය.
23. එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.
24. මෝසෙස් මෙසේ යන විට, එක්තරා නවාතැනක දී සමිඳාණන් වහන්සේ ඔහුට හමු වී, ඔහු මරාදැමීමට සෙවූ සේක.
25. එවිට ශිප්පොරා මුවහත් ගලක් ගෙන ඇගේ පුතුගේ චර්මාග්‍රය කපා මෝසෙස්ගේ පාද එයින් ස්පර්ශ කොට, “දැන් ඉතින් ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි”යි කීවා ය.
26. උන් වහන්සේ එවිට මෝසෙස්ට ජීවත් වෙන්න ඉඩ හැරිය සේක. චර්මඡේදනය නිසා, ‘ඔබ චර්මඡේදනය ලැබූ සැමියෙකි’ යි ඈ කීවේ එවිට ය.
27. සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට, “මෝසෙස් හමු වීමට පාළුකරයට යන්නැ”යි වදාළ සේක. ඔහු එහි ගොස් දෙවියන් වහන්සේගේ කන්දෙහි දී මෝසෙස් හමු වී, ඔහු සිපගත්තේ ය.
28. එවිට දෙවියන් වහන්සේ තමා එවූ විට වදාළ සියලු දේ ද තමාට උන් වහන්සේ අණ කළ සියලු හාස්කම් ද ආරොන්ට දැන්වී ය.
29. පසුව මෝසෙස් සහ ආරොන් ගොස් ඉශ්රායෙල් ජනතාවගේ ප්‍රජා මූලිකයන් සියලු දෙන රැස් කරවූ හ.
30. ඉන්පසු ආරොන්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට වදාළ සියල්ල කියා දී, සෙනඟ ඉදිරිපිට හාස්කම් පෑවේ ය.
31. සෙනඟ ද ඔවුන් විශ්වාස කළහ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් ජනතාව බලන්නට පැමිණ, ඔවුන් විඳින දුක බලා එය තේරුම්ගත් නිසා, ඔව්හු හිස නමා නමස්කාර කළහ.

ගීතාවලිය 16:1-6
1. දාවිත්ගේ මික්තාම් නම් කාව්‍යයකි. දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
2. මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
3. මිහි මත වසන බැතිමත්හු උතුම් වන්නෝ ය; ඔවුන් පිළිබඳ විපුල සතුටක් මට ඇත්තේ ය.
4. අන් දෙවි පිහිටක් පතා දුවන අයගේ දුක බොහෝ වන්නේ ය. පානීය ලේ පූජා මම ඔවුන්ට නොපුදන්නෙමි; ඔවුන්ගේ නාම මා මුවින් නොපවසන්නෙමි.
5. සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
6. මාගේ වතු පිටිවල සීමා රම්‍ය තැන්වල පිහිටා ඇත්තේ ය. මා සතු උරුමය ප්‍රියංකර ය.

හිතෝපදේශ 5:1-6
1. මාගේ පුත්‍රය, මාගේ ප්‍රඥා සම්පතට සිත යොමු කරන්න; මාගේ විමංසන බුද්ධියට අවධානය යොමු කරන්න.
2. එවිට ඥාන සම්පතින් ඔබ රැකෙනු ඇත. ඔබේ කතාව ප්‍රඥාසාර වනු ඇත.
3. වෙසඟනගේ දෙතොලින් මී පැණි වෑහෙයි; ඇගේ තෙපුල් ඔලීව තෙලට වඩා සුමුදු ය;
4. එහෙත් ඒවා අවසානයේ දී දිවි කදුරු මෙන් තිත්ත වනු ඇත; දෙපිට කැපෙන කඩුපතක් මෙන් තියුණු වනු ඇත.
5. ඇගේ දෙපා මරණය බලා යයි; ඇගේ පියවර පාතාල ලෝකයට යයි;
6. ඇය ජීවන මාර්ගය ගැන නොසලකයි; ඇගේ ක්‍රියා මාර්ග අස්ථිර ය, වගකීමෙන් තොර ය.

ශුද්ධවර මතෙව් 18:1-20
1. එවේලෙහි ශ්‍රාවකයෝ ජේසුස් වහන්සේ වෙතට අවුත්, “ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ කවරෙක් දැ”යි ඇසූහ.
2. එවිට උන් වහන්සේ කුඩා දරුවෙකු තමන් වෙතට කැඳවා ඔවුන් මැද සිටුවා මෙසේ වදාළ සේක:
3. “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ වෙනස් වී කුඩා දරුවන් මෙන් නොවූවොත්, කිසි සේත් ස්වර්ග රාජ්‍යයට ඇතුළු නො වන්නහු ය.
4. එබැවින් මේ කුඩා දරුවා මෙන් යටහත් වන යමෙක් ඇද්ද, ස්වර්ග රාජ්‍යයෙහි ඉතා ම උතුම් වන්නේ ඔහු ය.
5. තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.”
6. “මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යමෙක් වේ ද, ඔහුගේ ගෙළ වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදු ගැඹුරෙහි ගිල්වා දැමීම ඔහුට යහපත.
7. මෙවැනි බාධා ලොවේ ඇතිවීම කොතරම් දුකක් ද? බාධා ඇතිවීම නියත ය; එසේ වුව ද යමෙකු නිසා බාධා ඇති වේ ද, ඒ තැනැත්තාට වන විපතක මහත!
8. ඔබගේ වැටීමට හේතුව ඔබගේ අත හෝ පය හෝ වේ නම්, එය කපා ඉවත ලන්න. දෑත දෙපා ඇති ව සදාතන ගින්නට හෙළනු ලැබීමට වඩා අබ්බාගාත ව නොහොත් කොර ව ජීවනයට පිවිසීම ඔබට යහපත ය.
9. ඔබගේ වැටීමට හේතුව ඔබගේ ඇස නම්, එය උපුටා අහක දමන්න. දෑස ඇති ව නිරාගින්නට හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇති ව ජීවනයට පිවිසීම ඔබට යහපත.”
10. “මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.
11. මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය.
12. “ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් එකෙකු මුළා ව ගියොත්, ඉතිරි අනූ නවදෙනා කඳුකරයේ ඉන්න හැර, මුළා ව ගිය එකා සොයා යන්නේ නැද් ද?
13. සැබැවින් ම ඔබට කියමි, ඌ සම්බ වුනොත් මුළා ව නොගිය අනූනව දෙනා ගැන ප්‍රීති වෙනවාට වඩා ඌ ගැන ප්‍රීති වන්නේ ය.
14. එසේ ම මේ බාලයන් එක් කෙනෙකු වත් විනාශ වීම ස්වර්ගයෙහි වැඩ වසන ඔබගේ පියාණන් වහන්සේගේ කැමැත්ත නො වේ.”
15. “ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ ව පව් කළොත්, පෞද්ගලික ව ඔහු හමු වී ඔහුගේ වරද පෙන්වා දෙන්න. ඔබ කියන දේ ඔහු පිළිගත්තොත්, ඔබ ඔබේ සහෝදරයා දිනාගත්තෙහි ය.
16. නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.
17. ඔහු ඔවුන් කියන දේත් නොපිළිගත්තොත්, සභාවට දන්වන්න. සභාව කියන දේත් නොපිළිගත්තොත්, ඔහු විජාතිකයෙකු හෝ අයකැමියෙකු මෙන් සලකන්න.
18. “සැබැවින් ම මම ඔබට කියමි, ඔබ පොළොවෙහි දී යමක් බඳින්නහු ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නහු ද, එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය.
19. “නැවතත් මම ඔබට කියමි, පොළොවෙහි ඔබෙන් දෙදෙනෙක් තමන් අයැදින කවර දෙයක් ගැන වුව ද එකඟ වන්නෝ නම්, ස්වර්ගයෙහි වසන මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දෙය ඔවුන්ට ලැබෙන්නේ ය.
20. මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”