Instagram
English
A A A A A
උත්පත්ති 43:1-34
1. සාගතය රටේ තදබල විය.
2. මිසරයෙන් ගෙනා ධාන්‍ය කා නිම කළ පසු, ඔවුන්ගේ පියා ඔවුන්ට කතා කොට, “නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්නැ”යි කී ය.
3. එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.
4. ඔබ අපේ සහෝදරයා අප සමඟ යවන්නෙහි නම්, අපි ගොස් ඔබට ආහාර මිලයට ගන්නෙමු.
5. එහෙත් ඔබ ඔහු යවන්නේ නැත්නම්, අපි ද නොයන්නෙමු. ඒ මන්ද, ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ නැත්නම් නුඹලා මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට කීවේ ය”යි පැවසී ය.
6. එවිට ඉශ්රායෙල් කතා කොට, “නුඹලාට ‘තව සහෝදරයෙකු ඇතැ’යි කීමෙන් මට වද කරන්නේ මන්දැ”යි ඇසී ය.
7. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ ‘නුඹලාගේ පියා තව ම ජීවත් ව සිටිනවා ද? නුඹලාට තව සහෝදරයෙක් ඉන්නවා ද?’ කියා මිනිසා අප ගැනත්, අපේ පවුල ගැනත් දිගට ම අසන විට අපි ද ඒ ප්‍රශ්න අනුව උත්තර දුනිමු. ‘නුඹලාගේ සහෝදරයා ගෙන ආ යුතු’යි කියන්න යන බව අප දන්නේ කෙසේ දැ”යි ඇසූ හ.
8. ජුදා තම පියා වන ඉශ්රායෙල්ට කතා කොට, “ළමයා මා සමඟ යවන්න, එවිට අපත්, ඔබත්, අපේ කුඩා දරුවනුත් නොමැරී ජීවත් වන පිණිස අපි නැඟිට පිටත් ව යන්නෙමු.
9. මම ඔහු ගැන ඇපකාරයෙක් වෙමි. ඔහු ගැන වගකීම මා පිට පවරන්න. මම ඔබ වෙත ඔහු ගෙනවුත් ඔබ ඉදිරියෙහි ඔහු නොසිටුවන්නෙම් නම්, සදහට ම ඒ ගැන මම වරදකරු වන්නෙමි.
10. අපි මෙහි නළංගු වී නොසිටියෙමු නම් ඇත්තෙන් ම දෙ වන වරටත් ගොස් ආපසු එන්න තිබුණි”යි කී ය.
11. එවිට ඔවුන්ගේ පියා වන ඉශ්රායෙල්, එනම් ජාකොබ්, ඔවුන් අමතමින්, “දැන් ඉතින් එලෙස විය යුතු ම නම්, මෙය ද කරන්න; අපේ රටේ ඇති ඉස්තරම් දේවල් වන ගුගුල් ටිකක් හා මී පැණි ටිකක් ද කුළු බඩු හා ගන්ධරස ද ඇට වර්ග හා කොට්ටම්බා ද ඔබේ පොදිවල දමාගෙන ඒ මිනිසාට තෑග්ගක් වශයෙන් ගෙන යන්න.
12. තවද, මුදල් දෙගුණයක් අතේ ගෙන යන්න; නුඹලාගේ ගෝණිවල කටේ තිබුණු මුදල් ද අතේ රැගෙන යන්න; ඇතැම් විට එය ප්‍රමාද දෝෂයකින් වූවක් වෙන්න පුළුවන.
13. නුඹලාගේ සොහොයුරු රැගෙන, නැඟිට ඒ මිනිසා වෙත ආපසු යන්න;
14. තවද, ඒ මිනිසා නුඹලාගේ අනෙක් සහෝදරයා ද බෙන්ජමින් ද ආපසු එවන ලෙස, සියලු බලැති දෙවියන් වහන්සේ ඔහු හමුවෙහි නුඹලා හට ප්‍රසාදය ලැබෙන්නට සලසන සේක් වා! මාගේ දරුවන් නැතිවෙනවා නම් ඔව්හු නැතිවෙත් වා!”යි කීවේ ය.
15. ඔව්හු තෑගි ගෙන, තමන්ගේ පසුම්බිවල මුදල් දෙගුණයක් ලාගෙන, බෙන්ජමින් ද රැගෙන, නැඟිට, මිසරය බලා ගොස් ජෝසෙප් ඉදිරියෙහි සිටගත්හ.
16. ජෝසෙප් ඔවුන් සමඟ බෙන්ජමින් සිටිනු දුටු විට, තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මේ මිනිසුන් මාගේ ගෘහයට ගෙන යන්න; සතෙකු මරා පිළියෙළ කරන්න; මාගේ ගෘහයේ ඔවුන් මා සමඟ දිවා භෝජනය වළඳනු ඇතැ”යි කීවේ ය.
17. ඔහු ජෝසෙප් කී ප්‍රකාර කර ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් කැඳවාගෙන ආවේ ය.
18. ජෝසෙප්ගේ ගෘහයට ඔවුන් ගෙනා බැවින්, ඔව්හු බිය වී, “අප මෙහි ගෙනාවේ පළමු වර අප ගෝණිවල ආපසු දමා තිබූ මුදල් නිසා ය, ඔහු අපට අඩන්තේට්ටම් කොට පහර දී, අප වහලුන් කොට, අපේ කොටළුවන් ද ගන්නට යන්නේ ය”යි කී හ.
19. පසුව ඔව්හු ජෝසෙප්ගේ ගෘහයේ කළමනාකරු වෙත පැමිණ, ගෙදර දොර අසල ඔහු සමඟ කතා කරමින්,
20. “මහතාණෙනි, පළමු වරක් ද ආහාර මිලට ගැනීම සඳහා අපි ඇත්තෙන් ම පැමිණියෙමු.
21. අප නැවතුම් පොළට පැමිණ අපේ ගෝණි ඇරිය විට සෑම මිනිසෙකුගේ ම මුදල්, හරි කිරුම් බරට ගෝණි කටේ තිබෙනු අපි දුටුවෙමු. අපි ද එය නැවත ගෙනාවෙමු.
22. ඇරත් ආහාර මිලට ගැනීම සඳහා තවත් මුදල් ද අප අතේ ගෙනාවෙමු. අපගේ ගෝණිවල මුදල් දැමුවේ කවුද කියා නොදනිමු”යි කී හ.
23. එවිට ඔහු උත්තර දෙමින්, “ඔබට ආසිරි වේ වා! බිය නොවන්න, ඔබේ දෙවියන් වහන්සේ ද, ඔබේ පියාගේ දෙවියන් වහන්සේ ද, ඔබේ ගෝණිවල ඔබට නිධානයක් දුන් සේක. ඔබේ මුදල් මට ලැබුණේ ය”යි කී ය. ඉන්පසු ඔහු සිමියොන් ඔවුන් වෙත කැඳවාගෙන ආවේ ය.
24. පසුව ඔහු, ඔවුන් ජෝසෙප්ගේ ගෘහයට ගෙනැවිත්, ඔවුන්ට වතුර දුන් විට ඔව්හු තමන් පාද සෝදාගත්හ. ඉන්පසු ඔහු ඔවුන්ගේ කොටළුවන්ට ආහාර දුනි.
25. එම ගෘහයෙහි තමන් ආහාර වැළඳිය යුතු බව ඔවුන් අසා තිබුණෙන්, මද්දහනේ දී ජෝසෙප් එන විට තෑග්ග දීමට ඔව්හු සූදානම් වූ හ.
26. ජෝසෙප් ගෘහයට පැමිණි විට ඔව්හු තමන් ළඟ තිබූ තෑග්ග ඔහුට පිරිනමමින් බිමට නැමී වැන්දා හ.
27. ඔහු ඔවුන්ගේ සුවදුක් අසමින්, “නුඹලා කී මහලු පියාගේ සැපසනීප කොහොම ද? ඔහු තව ම ජීවත් ව සිටී දැ”යි විමසී ය.
28. ඔව්හු ද පිළිතුරු දෙමින්, “ඔබේ දාසයා වූ අපේ පියා හොඳ සනීපයෙන් සිටී; ඔහු තව ම ජීවත් ව සිටින්නේ ය”යි කියා හිස පහත් කොට නමස්කාර කළහ.
29. ජෝසෙප් හිස ඔසවා බැලූ කල තම මවගේ පුත්‍රයා වන, තම සහෝදර බෙන්ජමින් දැක, “නුඹලා මට කී නුඹලාගේ බාල ම සහෝදරයා මොහු දැ”යි අසා, “මා පුත, ඔබට දෙවි සරණ ලැබේ වා!”යි කීවේ ය.
30. තම සහෝදරයා කෙරෙහි ජෝසෙප්ගේ සිත කම්පා වී, තම නෙත් කඳුළින් පිරී ගියනේ, ඔහු වහා පිටත ගොස්, තම කාමරයට ඇතුළු වී, හඬන්නට විය.
31. පසුව ඔහු මුහුණ සෝදාගෙන, පිටතට අවුත් තමා ම හික්මවා ගනිමින්, “කෑම මේසය පිළියෙළ කරන්නැ”යි කී ය.
32. සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.
33. ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.
34. පසුව ජෝසෙප් තම මේසයෙන් ඔවුන් එකිනෙකාට ආහාර යැව්වේ ය. එහෙත්, බෙන්ජමින්ගේ කොටස අනික් අයගේ කොටස් මෙන් පස් ගුණයක් විය. ඔව්හු ද ඔහු සමඟ බීම පානය කොට ප්‍රීති ප්‍රමෝද වූ හ.

උත්පත්ති 44:1-34
1. ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න.
2. තවද, මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන, බාලයාට අයිති ගෝණියේ කටේ ඔහු ධාන්‍යවලට ගෙවූ මුදලත් සමඟ දමන්නැ”යි අණ කෙළේ ය. ඔහු ද ජෝසෙප් කී හැටියට ම ඉටු කෙළේ ය.
3. උදය පහන් වූ කල ජෝසෙප්ගේ සහෝදරයෝ ඔවුන්ගේ කොටළුවන් සමඟ පිටත් කර හරින ලදහ.
4. මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, “නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි?
5. මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.
6. කළමනාකරු ඔවුන් හමු වූ විට එසේ ම කී ය.
7. එවිට ඔව්හු ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන් වත් සිතන්නේ නැත.
8. බලන්න, අපේ ගෝණි කටේ තිබී සම්බ වූ මුදල් ද කානාන් දේශයේ සිට නැවත ඔබ වෙත අපි ගෙනාවෙමු. එසේ නම් ඔබ ස්වාමියාගේ ගෘහයෙන් රිදී හෝ රත්රන් හෝ අප සොරකම් කරන්නේ කොහොම ද?
9. ඔබගේ දාසයන් අතර යම් කෙනෙකු ළඟ තිබී එය සොයාගතහොත් ඔහු මැරුණා වේ! අපි ද අප ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කී හ.
10. ඔහු පිළිතුරු දෙමින්, “හොඳයි, නුඹලා කී ලෙස ඉටු වේ වා! කවුරුන් හෝ ළඟ තිබී එය සම්බවුවහොත් ඔහු මාගේ වහලා වන්නේ ය; නුඹලා නිදහස් වන්නහු ය”යි කීවේ ය.
11. එවිට ඔව්හු කඩිනම් කොට එකිනෙකා තම තමාගේ ගෝණි බිමට බා, තම තමාගේ ගෝණි ඇරියෝ ය.
12. ඔහු ද වැඩිමලාගෙන් පටන්ගෙන බාලයා දක්වා ඒවා අවුස්සා බැලූ විට බෙන්ජමින්ගේ ගෝණියේ තිබී කුසලාන සම්බ විය.
13. එවිට ඔව්හු දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම තමන් කොටළුවන් පිට බඩු පටවාගෙන ආපසු නගරය බලා පැමිණියෝ ය.
14. මෙසේ ජුදා සහ ඔහුගේ සහෝදරයන් ජෝසෙප්ගේ ගෘහයට ආපසු පැමිණි විට ජෝසෙප් එතෙක් එහි සිටියෙන්, ඔව්හු ඔහු ඉදිරියෙහි බිම වැටී වැන්දා හ.
15. ඔහු ඔවුන් අමතමින්, “නුඹලා කළ මේ දේ කුමක් ද? මා වැනි කෙනෙකුට ඇත්තෙන් ම දිවැස් කීමට හැකි බව නුඹලා නොදන්නහු දැ”යි ඇසී ය.
16. එවිට ජුදා කතා කොට, “මාගේ ස්වාමීන් හට අප කුමන පිළිතුරක් දෙන්න ද? අප කුමක් කියන්න ද? අපි කෙසේ නම් මේ ගැන නිදොස් වමු ද? දෙවියන් වහන්සේ ඔබේ දාසයන්ගේ දුෂ්ටකම මතුකර පෙනෙන්නට සැලැසූ සේක. මෙන්න, තමා ළඟ කුසලාන තිබී සම්බ වූ තැනැත්තාත් අපිත්, මාගේ ස්වාමීන්ගේ වහල්ලු වන්නෙමු”යි කීවේ ය.
17. ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.
18. එවිට ජුදා ජෝසෙප් ළඟට පැමිණ, “මාගේ ස්වාමීනි, කරුණාකර, ඔබට පොද්ගලික ව වචනයක් කීමට ඔබේ දාසයාට අවසර දෙනු මැනව. ඔබේ දාසයාට විරුද්ධ ව ඔබේ කෝපය නොඇවිලේ වා! ඔබ ඇත්තෙන් ම පාරාවෝ හා සමාන ය.
19. ‘නුඹලාට පියෙක් හෝ සහෝදරයෙක් හෝ සිටී දැ’යි මාගේ ස්වාමීන් වන ඔබ දාසයන් වන අපෙන් ඇසුවෙහි ය.
20. අපි මාගේ ස්වාමීන් අමතා, ‘මහලු වියේ සිටින පියෙක් ද මහලු වියේ ඔහු ලැබූ කුඩා ළමයෙක් ද අපට ඇත. ඔහුගේ සහෝදරයා මළේ ය. මවගේ දරුවන්ගෙන් ඉතිරි ව ඇත්තේ ඔහු පමණ යි, ඔහුගේ පියා ද ඔහුට ප්‍රේම කරයි’ කියා කීවෙමු.
21. එවිට ඔබ ඔබේ දාසයන් අමතා, ‘මට ඔහු බලා දැකගන්න පිණිස ඔහු ගෙනෙන්නැ’යි කීවෙහි ය.
22. අපි එවිට, ‘ළමයාට නම් පියා අත්හැර එන්න බැරි ය; පියාගෙන් ඔහු වියෝ වී ආවොත් පියා මැරේවි’ කියා කීවෙමු.
23. ඔබ එවිට ඔබේ දාසයන් අමතා, ‘නුඹලාගේ බාල සහෝදරයා නුඹලා සමඟ ආවොත් මිස මින්පසු නුඹලා මා ඉදිරියට නො ආ යුතුය’යි කීවෙහි ය.
24. “තවද, අපි ඔබේ දාසයා වන මාගේ පියා වෙත පැමිණි විට, මාගේ ස්වාමියා කී දේ ඔහුට සැළ කෙළෙමු.
25. අපගේ පියා, ‘නැවත ගොස් කෑම ටිකක් අපට මිලයට ගන්න ය’යි කීවේ ය.
26. එවිට අපි, ‘අපට නම් යන්න බැරි ය; අපේ බාල ම සහෝදරයා අප සමඟ යතොත් නම් අපි යමු; මන්ද, අපේ බාල ම සහෝදරයා අප සමඟ නැත්නම් අප අධිපති තැන ඉදිරියට නොයා යුතු ය’යි කීවෙමු.
27. එවිට ඔබේ දාසයා වන මාගේ පියා අපට කතා කොට, ‘මාගේ බිරිඳ මට දාව පුත්‍රයන් දෙදෙනෙකු බිහි කළ බව නුඹලා දන්නහු ය.
28. එක් කෙනෙකු මාගෙන් වියෝ වී ගිය විට, ඇත්තෙන් ම සතෙකු ඔහු කෑලි කෑලිවලට ඉරාදමා ඇතැ යි මම කීවෙමි. මන්ද, එවක් පටන් මම ඔහු නුදුටිමි.
29. ඔබ මොහු වත් මාගෙන් රැගෙන ගොස් මොහුට අනතුරක් වූයේ නම්, නුඹලා මා පැසුණු හිසකේ එක්ක වළපල්ලට අරින්නට හදන්නහු දැ’යි කී ය.
30. දැන් ඉතින් ඔබේ දාසයා වන මාගේ පියා වෙත මා පැමිණි විට අප සමඟ ළමයා නැත්නම්, ඔහුගේ පණ කෙන්ද ළමයාගේ පණ කෙන්ද සමඟ වෙළී පවතින බව මට පෙනෙන නිසා,
31. අප සමඟ ළමයා නැති බව ඔහු දැක ඔහු නසින්නේ ය. මෙලෙස ඔබේ දාසයෝ ද ඔබ දාසයා වන අපේ මහලු පියාට දුක් දී, මරණයට පත් කරන්නෝ ය.
32. ඔබේ දාසයා වන මම, ‘ඔහු ඔබ වෙත නො ගෙනාවොත් ඒ වරද, මාගේ පියා ඉදිරියෙහි මම සදහට ම බාර ගන්නෙමි’ කියා මාගේ පියාට ළමයාගේ ඇපකරු වූයෙමි.
33. දැන් ඉතින්, මාගේ ස්වාමීන් වෙත ළමයා වෙනුවට මේ ඔබේ දාසයා වහලෙකු මෙන් සිටින්නේ ය. කරුණාකර, ළමයාට ඔහුගේ සහෝදරයන් සමඟ යන්න ඉඩ හරිනු මැනවි.
34. ළමයා මා සමඟ නැති ව මම කෙසේ නම් මාගේ පියා වෙතට යන්නෙම් ද? මාගේ පියාට පැමිණෙන්නට යන විපත මාගේ ඇස්වලින් බලන්න බැරි ය”යි කීවේ ය.

ගීතාවලිය 11:1-7
1. දාවිත්ගේ ගීතයකි. හිමි තුමන් වෙත රැකවරණය මට ඇත. එබැවින්, “පක්ෂියෙකු මෙන් කඳු යායට පියාඹන්නැ”යි ඔබ මට කියන්නේ කුමට ද?
2. අන්න බලන්න, නපුරු දනෝ දුන්න තැත්කවති; අඳුරේ සිට සුදනන් හට විදින පිණිස ඊතල දුනු දියෙහි යොදති.
3. පදනම් දෙදරා බිඳ වැටුණොත් දැහැමි අයට කර ගත හැකි දෙයක් වේ ද?
4. හිමි තුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමි තුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.
5. සමිඳාණෝ සුදනන් හා දුදනන් හැම විමසා බලන සේක; එතුමාණෝ සැහැසිකම් කරන්නාට වෙර බඳින සේක;
6. දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.
7. හිමි තුමාණෝ දැහැමි ය, ගුණ දහමට ප්‍රිය ඇත්තෙකි. දැහැමි අය එතුමන්ගේ මුහුණ දකින්නෝ ය.

හිතෝපදේශ 4:10-13
10. මාගේ පුත්‍රය, සවන් දී, මේ මාගේ අවවාද මුළු සිතින් පිළිගන්න. එවිට ඔබ දිගායු වළඳනු ඇත.
11. ප්‍රඥාවේ මාර්ගය මම ඔබට උගන්වමි; හරි මාවත්වල මම ඔබ ගෙන යමි.
12. එවිට ඔබ ඇවිදින කල ඔබට අවහිරයක් නොවනු ඇත; ඔබ දුවන කල පැකිළීමක් නොවනු ඇත.
13. මාගේ උපදෙස් තරයේ පිළිගෙන, ඉවත නොලා, රැකගන්න. ඒවා ඔබට ජීවන සම්පත වේ.

ශුද්ධවර මතෙව් 14:22-36
22. ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක.
23. උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක.
24. සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි.
25. අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක.
26. ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, “ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ.
27. එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, “ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක.
28. පේදුරු උත්තර දෙමින්, “ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය.
29. “එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය.
30. එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, “ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය.
31. ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, “ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක.
32. ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි.
33. එවිට ඔරුවේ උන් අය, “ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ.
34. ඔව්හු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණියහ.
35. ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා,
36. උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.