A A A A A

එස්රා 9:1-15
1. “මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත.
2. ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝ‍්හිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය.
3. මේ පුවත මා ඇසූ විට, මම බලාපොරොත්තු රහිත ව මාගේ වස්ත්‍රයත්, සළුවත් ඉරාගෙන, මාගේ හිසකෙස් ද රැවුල ද උදුරාගෙන, තුෂ්ණීම්භූත ව හිඳගතිමි.
4. එවිට විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ ද්‍රෝ‍්හිකම ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ කී දෙයින් කම්පා වූ හැම දෙන ම මා ළඟට රැස් වූ හ. මම වනාහි සවස පූජාව ඔප්පු කරන තෙක් තුෂ්ණීම්භූත ව එහි ම උන්නෙමි.”
5. “සවස පූජාව පවත්වන වේලාව පැමිණි විට, මම මාගේ සිහි නැති භාවයෙන් නැඟිට, ඉරාගත් මාගේ වස්ත්‍රය ද මාගේ සළුව ද ඇති ව දණින් වැටී, මාගේ දෙවි සමිඳාණන් වහන්සේ දෙසට මාගේ අත් විදහාගෙන කතා කොට,
6. ‘මාගේ දෙවියන් වහන්ස, මම ලජ්ජාවට පත් වී, මාගේ දෙවි වන ඔබ දෙසට මාගේ මුහුණ ඔසවන්නට බියෙන් සිටිමි. මන්ද, අපේ ද්‍රෝහිකම අපේ හිස්වලටත් ඉහළින් නැඟී ගොස් ඇත. අපේ පාප ස්වර්ගය දක්වා නැඟී තිබේ.
7. අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි.
8. එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය.
9. මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක.
10. “ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.
11. ඔවුන් කී දේ මෙසේ ය: ඔබ හිමි කරගන්නට යන දේශය, එහි ජනයන්ගේ පිළිකුල් ක්‍රියාවලින් ද කිලුටුකම්වලින් ද එක් කොණක සිට අනික් කොණ දක්වා පිරී තිබේ. ඔවුන්ගේ අපවිත්‍රකම නිසා එය අපවිත්‍ර දේශයක් ව තිබේ.
12. ඒ නිසා, ඔබේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට පෙළවහට දීම වත්, ඔවුන්ගේ දූවරුන් ඔබේ පුත්‍රයන්ට පෙළවහට ගැනීම වත්, ඔවුන්ගේ සාමය හා ශුභසිද්ධිය සෙවීම වත් නොකළ යුතු ය. මෙසේ ඔබ බලවත් ව සිට, දේශයේ සරු පලදාව භුක්ති විඳ, එය සදහට ම ඔබේ දරුවන්ට උරුම කර දෙන්නහු ය.
13. ඉතින් අපේ නපුරු ක්‍රියා හා අපරාධකාරකම ද නිසා අපට පැමිණි සියල්ලට පසුව, අපේ දෙවි වන ඔබ, අපේ අයුතුකම්වල තරමට අපට දඬුවම් නොකර, මෙලෙස ගැළවී සිටින්නට අපට ඉඩ සලසා දී තිබිය දී,
14. අපි නැවතත් ඔබේ ආඥා කඩ කර, මේ පිළිකුල් දේ කරන ජනයන් හා සමඟ ආවාහ විවාහ කර ගනිමු ද? එසේ කළොත්, එක් කෙනෙකු වත් ගැළවී ඉතුරු නොවන ලෙස අප නැති කර දමන තුරු, ඔබ අප කෙරෙහි උදහස් නොවන සේක් ද?
15. ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ ධර්මිෂ්ඨ ය. මන්ද, අද තිබෙන ලෙස අපි කුඩා පිරිසක් ඉතිරි ව සිටිමු. මෙන්න, අපි ඔබ ඉදිරියේ අපේ අපරාධවල ගැලී සිටිමු. මන්ද, මේ කාරණය නිසා ඔබට මූණ දී සිටින්නට අපට නොහැකි ය.’ “

එස්රා 10:1-44
1. මෙසේ එස්රා අඬමින් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියේ මුණින්තළා වී යාච්ඤා කර පාපෝච්චාරණය කරමින් සිටිය දී, පුරුෂයන්ගෙන් ද ස්ත්‍රීන්ගෙන් ද ළමයින්ගෙන් ද යුත් ඉශ්රායෙල්වරු ඉතා විශාල සමූහයක් ඔහු වෙත රැස්වුණෝ ය. ඔව්හු මහා දුකින් හැඬූ හ.
2. එවිට ඒලාම්ගේ පුත්‍රයෙකු වූ ජෙහියෙල්ගේ පුත් ෂෙකනියා එස්රාට කතා කරමින්, “අපි විදේශවලින් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීම හේතුකොටගෙන, අපේ දෙවියන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමු. එසේ වුවත්, ඉශ්රායෙල්වරුන්ට තවමත් බලාපොරොත්තු තිබේ.
3. ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.
4. නැඟිටින්න, මේ ගැන වගකීම ඔබට අයිති ය; අපිත් ඔබට සහාය දෙමු. නිර්භීත ව ක්‍රියා කරන්නැ”යි එස්රාට කීවේ ය.
5. එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ.
6. එවිට එස්රා දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරියෙන් නික්ම එලියාෂිබ්ගේ පුත් ජොහෝහානාන්ගේ කාමරයට ගියේ ය. ඔහු එහි ගොස් කෑම නොකා, වතුර නොබී සිටියේ ය. මන්ද, විප්‍රවාසයෙන් මිදී පැමිණි අයගේ අපරාධය ගැන ඔහු වැළපුණ බැවිනි.
7. එවිට විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි සියලු දෙන ම ජෙරුසලමට රැස් වන්නට කියා ප්‍රකාශනයක් ජුදා හා ජෙරුසලම මුළුල්ලේ පළ කරන ලදී.
8. තවද, අධිපතීන්ගේ ද ප්‍රජා මූලිකයන්ගේ ද නියමය අනුව තුන් දවසක් ඇතුළත දී යමෙකු නොපැමිණියොත්, ඔහුගේ සියලු දේපළ පවරා ගනු ලබන බවත්, විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අයගේ සමාගමෙන් ඔහු නෙරපනු ලබන බවත් පළ කරන ලදී.
9. එවිට ජුදාහි ද බෙන්ජමින්හි ද සියලු මනුෂ්‍යයෝ තුන් දවසක් ඇතුළත ජෙරුසලමට රැස් වූ හ. ඒ දවස නව වන මාසයේ විසි වන දා ය. මුළු සෙනඟ මේ කාරණය නිසාත්, තද වර්ෂාව නිසාත් දෙවියන් වහන්සේගේ මාලිගාව ඉදිරිපිට එළිමහනේ වෙවුලමින් ඉඳගෙන සිටියෝ ය.
10. පූජක එස්රා නැඟිට සිට, ඔවුන්ට කතා කොට, “ඔබ හැම අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගැනීමෙන් මහා ද්‍රෝහිකමක් කර ඉශ්රායෙල්වරුන්ගේ පාප තවත් වැඩි කර ඇත.
11. එබැවින් දැන් ඔබේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට පාපෝච්චාරණය කර, උන් වහන්සේගේ කැමැත්ත කරමින්, දේශයේ වැසියන්ගෙනුත්, අන්‍ය ජාතික ස්ත්‍රීන්ගෙනුත් වෙන් වන්නැ”යි කී ය.
12. එවිට මුළු සභාව මහා හඬකින් පිළිතුරු දෙමින්, “එසේ ය, ඔබ කී ලෙස අප කළ යුතු ය.
13. එහෙත්, සෙනඟ බොහෝ ය. මෙය ඉතා තද වර්ෂා කාලයකි. අපට ද එළිමහනේ හිටගෙන සිටින්නට නුපුළුවන. තවද, අප මේ කාරණය සම්බන්ධයෙන් තදබල වරදක් කර ඇති බැවින්, මෙය දවසකින් වත්, දෙදවසකින් වත් නිම කළ හැකි කාර්යයක් නොවේ.
14. දැන් අපේ අධිපතියෝ මුළු සභාව වෙනුවෙන් ක්‍රියා කරත්වා. මේ කාරණය නිසා, අපේ දෙවියන් වහන්සේගේ බලවත් උදහස අප කෙරෙන් පහ ව යන තුරු, අපේ නගරවල අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටින සියල්ලෝ ද ඔවුන් සමඟ එක එක නුවර ප්‍රජා මූලිකයෝ ද විනිශ්චයකරුවෝ ද නියමිත කාලවල දී පැමිණෙත්වා”යි කීවෝ ය.
15. මීට විරුද්ධ වූයේ, අසාහෙල්ගේ පුත් ජොනතන් ද තික්වාගේ පුත් ජාසෙයා ද පමණක් ය. මෙෂුල්ලාම් ද ලෙවීය වූ ෂබ්බෙතයි ද ඔවුන්ට සහාය දුන්හ.
16. විප්‍රවාසයෙන් මිදී ආපසු පැමිණි අය එසේ කළෝ ය. පූජක එස්රා ද තමන්ගේ පිය වංශවල හැටියට පිය වංශවල ප්‍රධානීන් එකිනෙකා නම් වශයෙන් පත් කෙළේ ය. ඔව්හු මේ කාරණය විභාග කරන්නට දස වන මාසයේ පළමු වන දා ආරම්භ කළෝ ය.
17. අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගෙන සිටි සියලු දෙනා සම්බන්ධ කරුණු ඔව්හු පළමු වන මාසයේ පළමු වන දා තීන්දු කළෝ ය.
18. පූජකයන්ගේ පුත්‍රයන් අතරෙන් අන්‍ය ජාතික ස්ත්‍රීන් සරණ පාවාගත් සමහර දෙනෙක් සම්බ වූ හ. එනම්: ජෝශාදාක්ගේ පුත් ජේෂුවාගේ පුත්‍රයන්ගෙන් ද ඔහුගේ සහෝදරයන්ගෙන් ද මයසේයා, එලියෙසෙර්, ජාරීබ් සහ ගෙදලියා ය.
19. ඔව්හු තමන්ගේ භාර්යාවන් අත්හරින බවට පොරොන්දු දුන්හ. තවද, ඔව්හු පාප පූජාවක් වශයෙන් රැළෙන් බැටළුවෙකු බැගින් ඔප්පු කළෝ ය.
20. ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියා ය.
21. හාරීම්ගේ පුත්‍රයන්ගෙන් මයසේයා, එලියා, ෂෙමායා, ජෙහියෙල් සහ උශ්ශියා ය.
22. පෂ්හුර්ගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, මයසේයා, ඉෂ්මායෙල්, නෙතනෙල්, ජෝසාබාද් සහ එලාසා ය.
23. ලෙවීවරුන්ගෙන් ජෝසාබාද්, ෂිමෙයි, කේලායා එනම්, කෙලීටා, පෙතහියා, ජුදා සහ එලියෙසෙර් ය.
24. ගීතිකාකාරයන්ගෙන් එලියාෂිබ් ය. දොරටු පාලකයන්ගෙන් ෂල්ලුම්, ටෙලෙම් සහ උරී ය.
25. ඉශ්රායෙල්වරුන් අතරෙන් පරොෂ්ගේ පුත්‍රයන්ගෙන් රමියා, ඉස්සියා, මල්කියා, මියාමින්, එලෙයාසර්, මල්කියා සහ බෙනායා ය.
26. ඒලාම්ගේ පුත්‍රයන්ගෙන් මත්තනියා, ශෙකරියා, ජෙහියෙල්, අබ්දි, ජෙරේමොත් සහ එලියා ය.
27. සට්ටුගේ පුත්‍රයන්ගෙන් එලියෝයේනයි, එලියාෂිබ්, මත්තනියා, ජෙරේමොත්, සාබාද් සහ අසීසා ය.
28. බේබයිගේ පුත්‍රයන්ගෙන් ජෙහෝහානාන්, හනනියා, සබ්බයි සහ අත්ලයි ය.
29. බානීගේ පුත්‍රයන්ගෙන් මෙෂුල්ලාම්, මල්ලුක්, අදායා, ජාෂුබ්, ෂෙයාල් සහ ජෙරේමොත් ය.
30. පාහත්-මෝවබ්ගේ පුත්‍රයන්ගෙන් අද්නා, කෙලාල්, බෙනායා, මයසේයා, මත්තනියා, බෙසලෙල්, බින්නුයි සහ මනස්සේ ය.
31. හාරීම්ගේ පුත්‍රයන්ගෙන් එලියෙසෙර්, ඉෂ්ෂියා, මල්කියා, ෂෙමායා, ෂිමෙයොන්;
32. බෙන්ජමින්, මල්ලුක් සහ ෂෙමරියා ය.
33. හාෂුම්ගේ පුත්‍රයන්ගෙන් මත්තෙනයි, මත්තත්තා, සාබාද්, එලිපෙලෙත්, ජෙරේමයි, මනස්සේ සහ ෂිමෙයි ය.
34. බානීගේ පුත්‍රයන්ගෙන් මයදයි, අම්රාම් සහ ඌයෙල් ය;
35. බෙනායා, බේදෙයා, කෙලූහී;
36. වනියා, මෙරේමොත්, එලියාෂිබ්,
37. මත්තනියා, මත්තෙනයි සහ ජාසු ය;
38. බානී, බින්නුයි සහ ෂිමෙයි ය.
39. ෂෙලමියා, නාතාන් සහ අදායා ය;
40. මක්නදෙබයි, ෂාෂයි, ෂාරයි;
41. අසරේල්, ෂෙලෙමියා, ෂෙමරියා;
42. ෂල්ලුම්, අමරියා සහ ජෝසෙප් ය.
43. නෙබෝගේ පුත්‍රයන්ගෙන් ජෙයීයෙල්, මත්තිතියා, සාබාද්, සෙබීනා, ඉද්දෝ, ජෝවෙල් සහ බෙනායා ය.
44. මේ හැම දෙන ම අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටියෝ ය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන් ද ලැබ සිටියෝ ය.

ගීතාවලිය 88:6-10
6. ඔබ මා පාතාලයේ පතුලට හෙළූ සේක. අඳුරු ගැඹුරු පෙදෙසට මා දැමූ සේක.
7. ඔබේ උදහස මට මහ බරකි; ඔබේ කෝපාග්නිය මට පීඩා කරන්නේ ය.
8. ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.
9. කරදර නිසා මාගේ නෙත් අඳුරු වී ඇත්තේ ය. සමිඳුනි, මම දිනපතා ඔබ අයැදිමි; ඔබ වෙත මාගේ අත් ඔසවන්නෙමි.
10. ඔබ වහන්සේ මළවුන් උදෙසා අසිරිමත් දේ කරන සේක් ද? ඔව්හු නැඟිට ඔබ පසසන්නෝ ද?

හිතෝපදේශ 21:23-24
23. විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.
24. ගර්විත උඩඟු මිනිසාගේ නම ‘ගරහන්නා’ යනුයි. ඔහු උද්ධච්ඡ ව අහංකාරයෙන් ක්‍රියා කරයි.

ක්‍රියා 24:1-27
1. පස් දවසකට පසු උත්තම පූජක අනනියස්, සමහර ප්‍රජා මූලිකයන් ද තෙර්තුලස් නම් එක්තරා අධි නීතිඥයෙකු සමඟ අවුත් පාවුලුට විරුද්ධ ව ආණ්ඩුකාරයාට පැමිණිලි කෙළේ ය.
2. ඔහු කැඳවනු ලැබූ කල, තෙර්තුලස් පාවුලුට විරුද්ධ ව පැමිණිලි දේශනය මෙසේ අරඹමින්: “ශ්‍රීමත් ෆීලික්ස් තුමෙනි, ඔබ තුමන් නිසා අපට ස්ථිරසාර සාම යුගයක් ද ඔබගේ දුරදර්ශී පාලනයෙන් මේ ජාතිය උදෙසා ප්‍රතිසංස්කරණ යුගයක් ද පහළ වී ඇති බව,
3. සැම විට ම, සැම තැන්හි ම, සියලු අයුරින් කෘතඥතාපූර්වක ව අපි පිළිගනිමු.
4. එහෙත් ඔබ තවදුරටත් පමා නොකර, මා ලුහුඬින් කියන දේ කරුණාවෙන් අසන ලෙස අයැදිමි.
5. මන්ද, මේ මිනිසා කරදරකාරයෙකු බව ද ලොව පුරා සියලු ජුදෙව්වරුන් අතර කැරලි උපදවන්නෙකු බව ද නාසරියයන්ගේ නිකායේ කැරලිනායකයෙකු බව ද දැනගතිමු.
6. මොහු දේව මාලිගාව කෙලෙසන්නටත් උත්සාහ කෙළේ ය. එහෙත් අපි ඔහු අල්ලා ගතිමු. අපගේ ම ව්‍යවස්ථාව අනුව ඔහු විනිශ්චය කිරීම අපගේ තීරණය විය.
7. එහෙත් ප්‍රධාන සේනාධිපතියා වන ලිසියස් අවුත් මහත් බලහත්කාරයෙන් ඔහු පැහැර ගෙන,
8. ඔහුට වරද තබන පිණිස ඔබ වෙතට ඒමට අණ කෙළේ ය. අප මොහුට විරුද්ධ ව ගෙනෙන පැමිණිලි සියල්ල ගැන මොහුගෙන් ම විචාරා දැනගන්නට ඔබට පුළුවනැ”යි කී ය.
9. ජුදෙව්වරු ද ඊට එකඟ ව පැමිණිලි කරමින්, “ඒ සියල්ල සැබෑ ය”යි සම්මත කළහ.
10. කතා කරන පිණිස ආණ්ඩුකාරයා පාවුලුට සංඥා කළ කල්හි ඔහු මෙසේ පිළිතුරු දුනි: “ඔබ බොහෝ අවුරුදු ගණනක් මේ ජනතාවට විනිශ්චයකාරයෙකු ව සිටින බව මම දනිමි. එබැවින් මාගේ නිදහස ගැන මා උත්තර දෙන්නේ ඉතා සතුටිනි.
11. නමස්කාරය පිණිස මා ජෙරුසලමට ගොස් දැනට දොළොස් දවසකට වඩා නැති බව ඔබට ම දැන ගත හැකි ය.
12. දේව මාලිගාවේ දී වත්, ධර්මශාලාවල දී වත්, නගරයේ දී වත්, කිසි කෙනෙකු සමඟ මා වාද කරනවා හෝ සෙනඟ කලබල කරනවා හෝ ඔව්හු නුදුටුවෝ ය.
13. ඔවුන් දැන් මා පිට තබන වරද ඔප්පු කරන්නට ඔවුන්ට නොහැකි ය.
14. එහෙත් ඔබ ඉදිරියෙහි දැන් මා කියන්නට යන මේ දේ එනම්, නිකායක් යයි ඔවුන් සලකන ධර්ම මාර්ගය මම තරයේ පිළිගනිමි: ව්‍යවස්ථාවලියේ හා දිවැසාවලියේ ලියා තිබෙන සියල්ල විශ්වාස කරමින් අපේ පියවරුන්ගේ දෙවියන් වහන්සේට සේවය කරමි.
15. මා මෙසේ විශ්වාස කරන බැවින් දමිටුන්ගේ ද අදමිටුන්ගේ ද පුනරුජ්ජීවනයක් ඇතැ යි මොවුන් බලාසිටින්නාක් මෙන්, මමත් බලාපොරොත්තුවෙන් සිටිමි.
16. ඒ නිසා මමත් ඔවුන් මෙන් ම දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් ඉදිරියෙහි නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්නට ද නිතර ම උත්සහ කරමි.
17. “අවුරුදු කීපයකට පසු මාගේ සෙනඟට සම්මාදම් බාර දී පූජා පවත්වනු සඳහා මෙහි ආවෙමි.
18. මේ සම්බන්ධයෙන් ඔවුන් දේව මාලිගාවේ දී මා දුටුවේ මා පවිත්‍ර කිරීමේ පිළිවෙත ඉටු කළායින් පසුව ය. එහි මා සමඟ සෙනඟක් සිටියේ නැත; කලබලයක් ද නොතිබිණි. එහෙත් ආසියාවෙන් පැමිණි සමහර ජුදෙව්වරු එහි සිටියෝ ය.
19. මට විරුද්ධ ව යමක් තිබුණා නම්, මට දෝෂාරෝපණය කරන පිණිස මෙහි ඔබ ඉදිරියට ඒම ඔවුන්ගේ යුතුකම ය.
20. නැතහොත්, මා මන්ත්‍රණ සභාව ඉදිරියේ කුමන අපරාධයක් කෙළේ දැ යි මෙහි සිටින මොවුහු කියත් වා. ඔවුන් ඉදිරියේ මා කියා ඇත්තේ එක ම එක දෙයයි. එනම්, ‘මළවුන්ගේ උත්ථාන වීම මා අදහන නිසා අද ඔබ විසින් විනිශ්චය කරනු ලබමි’ “යි යනු යි.
21. ***
22. එහෙත් ෆීලික්ස් ඒ ධර්ම මාර්ගය ගැන කාරණා මැනවින් දැන සිටි බැවින්, “ලිසියස් නම් සේනාධිපතියා ආ කල ඔබගේ නඩුව තීන්දු කරන්නෙමි”යි කියා නඩුව කල් දැමී ය.
23. තවද පාවුලු රැකවලෙහි තබන්නටත් ඔහුට තරමක නිදහසක් දෙන්නටත්, ඔහුගේ මිත්‍රයන් ඔහුට උපස්ථාන කිරීම තහනම් නොකරන්නටත් ශතාධිපතියාට ඔහු අණ කෙළේ ය.
24. කීප දවසකට පසු ෆීලික්ස් ජුදෙව් ස්ත්‍රියක වූ ඩෘසිල්ලා නම් තම භාර්යාව සමඟ අවුත් පාවුලු ගෙන්වා, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල ගැන ඔහු කතා කරනු ඇසී ය.
25. පාවුලු, සුචරිතය ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද කතා කරද්දී ෆීලික්ස් බියපත් ව, “දැනට යන්න, මට ඉඩ ප්‍රස්ථාවක් ලැබුණු විට ඔබ නැවත කැඳවන්නෙමි”යි කී ය.
26. ඒ ඇරත් තමාට පාවුලු මුදල් දෙනවා ඇතැ යි ඔහු බලාපොරොත්තුවෙන් සිටියේ ය. ඒ නිසා පාවුලු නැවත නැවත කැඳවා ඔහු සමඟ කතා කෙළේ ය.
27. එහෙත් දෑවුරුද්දක් ගත වූ පසු, ෆීලික්ස්ගේ නිලයට පොර්කියුස් ෆෙස්තුස් පත් කරන ලදී. ෆීලික්ස් වනාහි ජුදෙව්වරුන් සතුටු කරන්නට කැමැති ව, පාවුලු හිරබාරයෙහි තබා ගියේ ය.