English
A A A A A

යෙසායා 65:1-25
1. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මාගේ සෙනඟට පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, ඔව්හු මට යාච්ඤා නොකළහ. ඔවුන් හමුවීමට මා සූදානම් ව සිටි නමුත් ඔව්හු මා නොසෙවූ හ. ‘මම මෙහි ය, මම මෙහි ය’ කියා පිළිතුරු දෙන්න මා සූදානම් ව සිටි නමුත්, මේ ජාතිය මට යාච්ඤා නොකළහ.
2. කැරලිකාරයන් වන, හිතු මනාපේ අයහපත් මාර්ගයක ගමන් කරන සෙනඟක් දෙසට දවස මුළුල්ලේ ම මාගේ අත් විදහාගෙන සිටියෙමි.
3. ඒ සෙනඟ මා ඉදිරියෙහි දී නිතරම මා කෝප කරති; උයන්වල පූජා ඔප්පු කරති; ගඩොල් පිට සුවඳ දුම් ඔප්පු කරති. රහස් ස්ථානවල රාත්‍රිය ගත කරති;
4. ඔව්හු සොහොන්වල වාසය කරති; ඔව්හු ඌරු මස් කති; පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.
5. ‘මා ශුද්ධ බැවින් මට ළං නොවී ඈතින් සිටින්නැ’යි ඔව්හු කියති. ඔවුන් කෙරෙහි මාගේ කෝපය නාසයට වැදෙන දුමක් ද නොනිවෙන ගින්නක් ද හා සමාන ය.
6. ඔවුන්ට දෙන දඬුවම් මා දැනට ම කෙටුම්පත් කර ඇත. ඔවුන් කර ඇති දේ ගැන නිහඬ ව නොසිටියෙමි.
7. ඔවුන්ගේත්, ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේත් අයුතුකම්වලට මම ප්‍රතිවිපාක දෙන්නෙමි. ඔවුන් කඳු උඩ සුවඳ දුම් පූජා ඔප්පු කර, මට අපහාස කර ඇත. ඒ නිසා මම නිසි ලෙස මැන ඔවුන්ට දඬුවම් දෙන්නෙමි.”
8. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිදි වල්ලෙහි යුස තිබෙන බව දැක, ‘එහි ආශීර්වාදයක් තිබෙන බැවින් එය විනාශ නොකරන්නැ’යි යමෙකු කියන සේ, මාගේ සෙනඟ මම විනාශ නොකරන්නෙමි: මට සේවය කරන්නන් මම ගළවන්නෙමි.
9. ජුදාගේ වංශයට අයත් ඉශ්රායෙල්වරුන් මම කැඳවන්නෙමි. ඔවුන්ගේ පරම්පරාව මාගේ දේශයත්, කඳුත් උරුම කරගන්නෝ ය. මට සේවය කරන්නන් එහි වාසය කරනු ඇත.
10. මා නමදින මාගේ සෙනඟ උදෙසා ෂාරොන් පෙදෙස, එළු බැටළු රැළවලට තණ බිමක් ද ආකොර් මිටියාවත, ගව රැළවලට ලැගුම් පළක් ද වන්නේ ය.
11. එහෙත්, සමිඳාණන් වන මා අත්හැර, මාගේ ශුද්ධ කන්ද අමතක කර, වාසනාවේ දේවතාවී වන ගාද්ට මේසයක් පිළියෙළ කර, දෛවයේ දේවතාවී වන මේනීට බඳුන් පුරවා, මිදියුස ඔප්පු කරන නුඹලා,
12. මම කඩුවෙන් මරණයට පත් වීමේ ඉරණමට නියම කරන්නෙමි. නුඹලා සියල්ලෝ ම ඝාතනයට අවනත වන්නහු ය. මන්ද, හඬගැසූ විට නුඹලා උත්තර නුදුන්නහු ය. මා කතා කළ විට නුඹලා සවන් නුදුන්නහු ය. මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කර, මා ප්‍රිය නොකරන දේ තෝරාගත්තහු ය.”
13. එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක: “මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය; ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය; ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.
14. ඔවුන් සිතේ ප්‍රීතියෙන් ගී ගයද්දී නුඹලා වේදනාවෙන් හා අධික ශෝකයෙන් කෑමොරගසමින් ළතෝනි කියන්නහු ය.
15. මා තෝරා ගත්තවුන්ට නුඹලාගේ නාමය සාපයක් මෙන් වන්නේ ය. එහෙත්, එතුමන්ගේ දාසයෝ නව නාමයකින් අමතනු ලබති. මහෝත්තම ස්වාමීන් වන දෙවිඳාණෝ නුඹලා වනසන සේක.
16. දේශයේ යම් කිසිවෙක් තමාට ආශීර්වාදයක් අයැදින්නේ ද, සත්‍යතාවේ දෙවිඳුන්ගෙන් එය අයැදින්නේ ය. දේශයේ යම් කිසිවෙක් දිවුරන්නේ ද, ඔහු සත්‍යතාවේ දෙවිඳුන්ගේ නමින් දිවුරන්නේ ය. පසුගිය දුක් කරදර අමතක කරනු ලබන්නේ ය. ඒවා මාගේ ඇස් ඉදිරියෙන් පහකරනු ලබන්නේ ය.”
17. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම අලුත් අහසක් ද අලුත් පොළොවක් ද මවමි; පසුගිය දේ මතක් කරන්නේ වත්, සිහි කරනු ලබන්නේ වත් නැත.
18. මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති.
19. මම ජෙරුසලම කෙරෙහිත්, මාගේ සෙනඟ කෙරෙහිත් ප්‍රසන්න වෙමි. ඇඬීමේ ශබ්දයක් වත්, පීඩිත වේදනාවේ ශබ්දයක් වත් එහි තවත් නොඇසෙන්නේ ය.
20. ස්වල්ප දවසකින් මැරෙන බිළින්දෝ තවත් එහි නොවෙති; පූර්ණ ආයු නොවළඳා මැරෙන මහල්ලෝ නොසිටිති. සිය වසක් ජීවත් වන්නා ‘තරුණයෙකැ’යි ගණන් ගනු ලැබේ. ඒ වයසට පෙර නැසී යන්නා ‘සාප ලද්දෙකැ’යි ගණන් ගනු ලැබේ.
21. ඔව්හු ගෙවල් ගොඩනඟාගෙන එහි වාසය කරන්නෝ ය. මිදි වතු වවාගෙන එහි පලදාව කන්නෝ ය.
22. ඔවුන් ගෙවල් ගොඩනඟා ගත් විට, අන් අය ඒවායේ වාසය කරන්නේ වත්, මිදි වතු වවා ගත් විට, අන් අය ඒවායේ පලදාව භුක්ති විඳින්නේ වත් නැත. වෘක්ෂයන් බොහෝ කල් පවතින්නාක් මෙන් මාගේ සෙනඟ බොහෝ කල් ජීවත් වෙති. මාගේ තෝරාගත් සෙනඟ තමන්ගේ අත්වලින් උපයාගත් දේ භුක්ති විඳින්නෝ ය.
23. ඔවුන්ගේ වැඩ නිරර්ථක නොවන්නේ ය. ඔවුන්ගේ දරුවෝ විපත්තියට පත් නොවන්නෝ ය. මන්ද, ඔව්හු සමිඳුන්ගෙන් ආශීර්වාද ලත් වංශය වෙති. ඔවුන්ගේ දරුවෝ ද එසේ ම වෙති.
24. ඔවුන් අයැදින්න පෙර මම උත්තර දෙමි; ඔවුන් කතා කරද්දී ම මම සවන් දෙන්නෙමි.
25. වෘකයා ද බැටළු පැටවා ද එකට තණ බුදිති; හරකා මෙන් සිංහයා පිදුරු කයි; ධූලි සර්පයාට කෑම වෙයි. මාගේ ශුද්ධ කන්දේ සීමා ඇතුළත කිසි අනතුරක් වත්, විනාශයක් වත් නොවන්නේ ය.”

යෙසායා 66:1-24
1. සමිඳාණෝ මෙසේ වදාරන සේක; “අහස මාගේ සිංහාසනය ය; පොළොව මාගේ පා පුටුව ය. මා සඳහා නුඹලාට කෙබඳු ගෘහයක් සෑදිය හැකි ද? මාගේ වාසස්ථානය කොතැන විය හැකි ද?
2. මුළු විශ්වය මැව්වේ මම ය. එබැවින් සියලු දේ මාගේ ය. යටහත්, තැළුණු සිත් ඇති මාගේ වචනයට කීකරු වන මිනිසා මට ප්‍රිය මනාප වේ.
3. සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.
4. එබැවින් මම ඔවුන්ට නිසි විපත්ති නියම කොට, ඔවුන් බිය වන දේ ඔවුන් පිට පමුණුවන්නෙමි. මන්ද, මා අඬගැසූ විට කිසිවෙකු පිළිතුරු දුන්නේ නැත. මා කතා කළ විට කිසිවෙකු සවන් දුන්නේ නැත. ඔව්හු මා ඇස් හමුයෙහි නපුරු දේ කර, මට අප්‍රසන්න දේ තෝරාගත්හ.”
5. සමිඳුන්ගේ වචනයට කීකරු වන අය එතුමන් කියන දේට සවන් දෙන්න: “මා නිසා සමහර අය නුඹලාට වෛර කොට, නුඹලා කොන් කර ඇත. ‘සමිඳු සිය මහිමය ප්‍රකාශ කළා වේ. එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දැක හැකි ය’යි ඔව්හු කියති. එහෙත්, ලජ්ජාවට පමුණුවනු ලබන්නෝ ඔව්හු ම ය.
6. අන්න, සවන් දෙන්න; ඝෝෂාව නුවරින් පැමිණෙන්නේ ය. දේව මාලිගාවෙන් හඬක් නික්මෙන්නේ ය. ඒ වනාහි, සමිඳුන් සතුරන්ට දඬුවම් දීමේ හඬ ය.”
7. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මාගේ ශුද්ධ නගරය වනාහි, ප්‍රසව වේදනාව ඇති වන්න පෙර පිරිමි දරුවෙකු බිහි කළ මාතාවක වැනි ය.
8. මෙබඳු දෙයක් ඇසූ දුටු කෙනෙක් සිටිත් ද? කිසි කලක එක දවසකින් රටක් බිහි වී ඇද් ද? එක මොහොතකින් ජාතියක් බිහි වේ ද? සියොන් අඟන, ප්‍රසව වේදනාව වින්ද ඇසිල්ලෙහි ම ඇගේ දරුවා බිහි කළා ය.
9. බිහි වීම ළං කරන මම ඉපදීම නොසලස්වන්නෙම් ද? නොහොත් ඉපදීම සලස්වන මම ගර්භය පියවන්නෙම් ද? මෙසේ පවසන්නේ සමිඳාණන් වන මම ය.”
10. ජෙරුසලමට ප්‍රේම කරන සියල්ලෙනි, ඈ උදෙසා ප්‍රීති සන්තෝෂ වන්න. ඈ ගැන වැලපෙන සියල්ලෙනි, ප්‍රීතියෙන් ඈ සමඟ ප්‍රීති වන්න.
11. මෙසේ නුඹලා ඇගේ සැනසිලි ගෙන දෙන පියයුරු උරා, තෘප්තියට පැමිණෙන්නහු ය. ඇගේ බහුල ව ඇති කිරිවලින් ප්‍රීති වන්නහු ය. ඇගේ මහිමය පූර්ණතාවෙන් නොමඳ සොම්නසින් පානය කරන්න.
12. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මම සෞභාග්‍යය ගංගාවක් මෙන් ද ජාතීන්ගේ යසඉසුරු දෙගොඩ තළා යන ඔයක් මෙන් ද ඈ වෙත හරවමි. නුඹලා එයින් උරා බොන්නහු ය. මවකගේ මෙන් ඇගේ උකුලේ නුඹලා ගෙනයනු ලබන්නහු ය. ඇගේ දෙදණ පිට සුරතල් කරනු ලබන්නහු ය.
13. මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. නුඹලා ජෙරුසලම තුළ සනසනු ලබන්නහු ය.
14. මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”
15. සමිඳාණෝ ගිනිදලු සහිත ව වඩින සේක. එතුමන්ගේ රථ වාහන සුළිසුළඟ මෙන් වන්නේ ය. සතුරන් වෙත එතුමන්ගේ ඉමහත් කෝපය විදහා පාන සේක. ගිනිදැල් මෙන් චෝදනා නඟන සේක.
16. එසේ ය, එතුමාණෝ පොළෝ වැසි සියලු දෙන ගින්නෙන් ද කඩුවෙන් ද විනිශ්චය කරන සේක. මරණු ලබන්නෝ බොහෝ වෙති.
17. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “උයන්වල පුද පූජා ඔප්පු කරන පිණිස තමන් ම පිරිසිදු කරගනිමින්, පෙළට ගමන් කරමින්, ඌරු මස් ද උරගයන් ද මීයන් ද කන අයගේ අවසානය ළඟ ය.
18. ඔවුන්ගේ ක්‍රියා හා සිතුවිලි මම දනිමි. විවිධ භාෂා කතා කරන සියලු ජාතීන් එක් රැස් කිරීමට මම පැමිණෙන්නෙමි. ඔවුන් රැස් වූ කල මාගේ තේජාලංකාරය කුමක් දැ යි ඔවුන්ට පෙනෙනු ඇත.
19. මම ඔවුන් අතරේ සලකුණක් තබන්නෙමි. ඔවුන් අතරෙන් ගැළවී සිටින අය, මාගේ කීර්තිය ගැන නොඇසූ, මාගේ තේජස නොදුටු දුර බැහැර ද්වීපයන් වන තර්ෂිෂ්හි ද පුල්හි ද දුනුවායන් සිටින ලුද්හි ද තුබල්හි ද ජාවාන්හි ද සිටින ජාතීන් වෙත යවන්නෙමි. ඔවුන් ජාතීන් අතරෙහි මාගේ තේජස ප්‍රකාශ කරනු ඇත.
20. ඔව්හු ඉශ්රායෙල් පුත්‍රයන් සියලු දෙනා ජාතීන් අතරෙන් මට පඬුරක් මෙන් ගෙනෙන්නෝ ය. ඔව්හු, අශ්වයන් පිටින් ද රථවලින් දෝලාවලින් ද අශ්වතරයන් පිටින් ද ඔටුවන් පිටින් ද මාගේ ශුද්ධ කන්ද වන ජෙරුසලමට පිරිසිදු භාජනයක ධාන්‍ය පූජා ගෙනෙනු ලබන සේ ගෙනෙන්නෝ ය.
21. ඔවුන්ගෙන් සමහරු පූජකයන් ද ලෙවීවරුන් ද වශයෙන් මම පත් කරමි.
22. “මා විසින් සාදනු ලබන අලුත් අහසත්, අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේ ය.
23. හැම අමාවක් දිනක් හා සබත් දිනක් පාසා ම මට නමස්කාර කරන්න සියලු මනුෂ්‍යයෝ පැමිණෙන්නෝ ය.
24. ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”

ගීතාවලිය 116:1-4
1. සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක.
2. එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි.
3. මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය.
4. එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; “සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි.

හිතෝපදේශ 26:28-28
28. මුසා බස් දොඩන්නා ඉන් හානි වූවන්ට වෛර කරයි, ඉච්චා බස් දොඩන්නා විනාශය ගෙන දෙයි.

පිලිප්පි 2:1-30
1. ක්‍රිස්තුන් වහන්සේට අයිති වීමෙන් ඔබට යම් ශක්තියක් තිබේ ද? ප්‍රේමයෙහි යම් අස්වැසිල්ලක් තිබේ ද? ආත්මයාණන් වහන්සේ සමඟ යම් සහභාගිකමක් තිබේ ද? එකිනෙකා කෙරෙහි ආදරයක් හා දයාබරකමක් තිබේ ද?
2. එසේ නම්, ඔබ එක සමාන චේතනා ඇති ව, එක ම ප්‍රේමයෙන් බැඳී, එක ම අරමුණකින් එක්සිත් ව සිටීමෙන් මාගේ ප්‍රීතිය සම්පූර්ණ කරන්න.
3. පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.
4. සැමදෙන තම තමාගේ ම යහපත පමණක් නොසොයා, අනුන්ගේ යහපත ගැන ද සලකන්න.
5. ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පැවති ජීවිතාකල්පය ම ඔබ තුළත් පවතී වා!
6. උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා,
7. තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක.
8. මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක.
9. එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක.
10. එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්,
11. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
12. සැබැවින් මාගේ ප්‍රේමවන්තයෙනි, මා ඔබ වෙත සිටිය දී, ඔබ කීකරු ව සිටියාක් මෙන් ම, දැන් මා ඔබෙන් ඈත් ව සිටින විටත්, ඊටත් වඩා කීකරු ව සිටිය යුතු ය. ඔබ බියෙන් හා වෙව්ලීමෙන් යුතු ව ඔබේ විමුක්තිය සලසාගන්න.
13. මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක.
14. ඔබ කුමන දෙයක් කළත්, මැසිවිලි කීමක් වත් විවාදයක් වත් නැති ව එය කරන්න.
15. එවිට ඔබ නිදොස් හා අහිංසක වන්නහු ය. ඔබ වංක, හිතුවක්කාර පරම්පරාවක් මධ්‍යයෙහි, දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන් ව,
16. ඔවුන් අතර ජීවන පණිවුඩය ප්‍රදානය කරමින්, අඳුරු ලෝකයක දීප්තිමත් තාරකා මෙන් බබළන්නහු ය. ඔබ එසේ කළොත්, ‘මම නිෂ්ඵල ලෙස නොදිව්වෙමි, නිෂ්ඵල ලෙස වීර්ය නොකෙළෙමි’යි ක්‍රිස්තුන් වහන්සේගේ දවසේ දී ඔබ ගැන මට පාරට්ටු කරගත හැකි වේ.
17. ඔබගේ ඇදහිල්ල නමැති පූජාවත් සේවයත් මත මා ද පූජාවක් ලෙස ඔප්පු කරනු ලැබුවත් සන්තෝෂ වෙමි. ඔබ හැම සමඟ ප්‍රීති වෙමි.
18. එලෙස ම ඔබත් සන්තෝෂ වන්න, මා සමඟ ප්‍රීති වන්න.
19. ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි.
20. ඔබගේ යහපත ගැන අවංක සැලකිල්ලක් දක්වන, ඔහු වැනි වෙන තැනැත්තෙක් මට නැත.
21. සියල්ලෝම තම තමන්ගේ ම කාරිය ගැන මිස, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ කාරණා ගැන නොවෙහෙසෙති.
22. ඔහු නම්, පුත්‍රයෙකු සිය පියා හා සමඟ සේවය කරන්නාක් මෙන්, සුබ අස්නේ අභිවෘද්ධිය සඳහා මා සමඟ සේවය කළ බවට ඔහුගේ සාක්ෂිය ඔබ දන්නහු ය.
23. එබැවින් මාගේ කාරණා කොයි අතට හැරේ දැ යි දුටු කෙණෙහි ම ඔහු ඔබ වෙත එවීමට මම බලාපොරොත්තු වෙමි.
24. සමිඳාණන් වහන්සේ කැමැති සේක් නම් නොබෝ කලකින් මටත් ඔබ වෙතට එන්න ලැබෙනු ඇතැ යි මම විශ්වාස කරමි.
25. මා සොහොයුරු එපප්‍රොදිතස් ද ආපසු ඔබ වෙත එවීම මැනවැ යි මට කල්පනා වී ඇත. ඔහු වනාහි මට ආධාරෝපකාර කිරීමට ඔබ මා වෙත එවූ ඔබේ දුතයෙකු වන මාගේ සේවකයෙකු ද හවුල් හේවායෙකු ද වේ.
26. ඔහු ඔබ හැම දෙනා දැකීමට තද ආශාවක් ඇති ව සිටියේ ය, තමා රෝගාතුර ව සිටිය බව ඔබට සැළ වූ බැවින් ඉතා කණගාටු විය.
27. ඔහු සැබැවින් ම මරණාසන්න වන තරමට රෝගාතුර ව සිටියේ ය. එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කරුණා කළ සේක. ඔහුට පමණක් නොව, දුක පිට දුක මා වෙත නොඑන පිණිස මටත් කරුණා කළ සේක.
28. එබැවින් ඔබ ඔහු නැවත දැක ප්‍රීති වන පිණිසත්, මාගේ ශෝකය අඩු වන පිණිසත් ඔහු එවීමට වඩාත් ආශාවෙන් සිටිමි.
29. කිතුනු සහෝදර ප්‍රීතියෙන් ඔහු පිළිගන්න. එබඳු අය ගෞරවයෙන් සලකන්න.
30. මන්ද, ඔහු ක්‍රිස්තුන් වහන්සේගේ සේවය සඳහා දිවි පිදීමට පවා සූදානම් ව මරුමුවට ළඟා වූයේ ඔබ විසින් දීමට නොහැකි වූ සහාය මට දීමට යි.