A A A A A

ජෙරමියා 17:1-27
1. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ජුදා වැසියෙනි, නුඹලාගේ පාපය යකඩ පෑනකින් ලියා තිබේ. වජ්‍ර තුඩකින් එය නුඹලාගේ සිත නමැති පුවරුවේ ද පූජාසනයේ නෙරා ඇති අං වැනි කොන්වල ද කොටා තිබේ.
2. නුඹලාගේ දරුවෝ අතුපතර ඇති ගස් ළඟ ද උස් හෙල් උඩ ද
3. ගම්බද පළාත්වල ගිරිකුළු මත ද අෂේරා දේවතාවිය උදෙසා තනාගත් ඔවුන්ගේ පූජාසන සිහි කරති. දේශයේ සෑම තැන ම නුඹලා කර ඇති පාප නිසා නුඹලාගේ සම්පත ද සකල වස්තුව ද සතුරන් විසින් පැහැරගෙන යනු ලබන්නට සලස්වන්නෙමි.
4. මා නුඹලාට දුන් දේශය අත්හරින්නට නුඹලාට සිදුවන්නේ ය; නුඹලා නොදන්න දේශයක දී නුඹලාගේ සතුරන්ට සේවය කරන්නට නුඹලාට සලස්වන්නෙමි. මන්ද, මාගේ කෝපය කරණකොටගෙන සදහට ම ඇවිලෙන ගින්නක් දැල්වී තිබේ.”
5. සමිඳාණෝ මෙසේ වදාරන සේක: “මිනිසුන් කෙරෙහි විශ්වාසය තබන, මියයන සුලු සිරුර ශක්තිය කරගෙන, සමිඳුන් කෙරෙන් හැරී ඉවත් ව යන මිනිසා සාප ලද්දෙකි.
6. ඔහු පාළුකරයෙහි ඇති පඳුරකට සමාන වේ. යහපත පැමිණි විට එය ඔහුට නොපෙනේ. පාළුකරයෙහි වියළි තැන්හි, මිනිසුන් නොවසන ලුණු බිම්හි ඔහු වාසය කරයි.
7. සමිඳුන් කෙරෙහි විශ්වාසය තබන, සමිඳුන් තරයේ විශ්වාස කරන මිනිසා භාග්‍යවන්තයෙකි.
8. ඔහු, ගං ඉවුරේ සිටුවා ඇති, ගඟට ම මුල් ඇද ඇති; ගිම්හානයට කිසි බියක් නැති; කොළ පර වී යාමක් නැති; නියඟ කාලය ගැන කරදර නැති; නොනැවතී දිගට ම පලදාවක් ඇති ගසක් හා සමාන වේ.
9. අන් කිසිවකට වඩා සිත කපටි ය, හැම අතින් ම එය දූෂණය වී ඇත; එය තේරුම්ගත හැක්කේ කාට ද?
10. සමිඳුන් වන මම, මිනිසාගේ සිත සෝදිසි කර බලමි; මිනිසාගේ හදවත පරීක්ෂා කර බලමි. එසේ කරන්නේ, මිනිසාගේ හැසිරීම අනුව ඔහු ජීවත් වන පිළිවෙළ ලෙස ඔහුට විපාක දෙන පිණිස ය.”
11. වංචාවෙන් මුදල් උපයන මිනිසා, ඈ නොදැමූ බිජු රකින කපුටියක වැනි ය; පසු ව පැටවුන් ඇගෙන් ඉගිලී යන ලෙස ජීවිතයේ ඉර මුදුන් වේලේ ඒ සම්පත ඔහුගෙන් නැති වී යයි. මෙසේ ඔහු අන්තිමයේ දී මෝඩයෙකු බවට පත් වෙයි.
12. කන්දක් මත මුල සිට ම පිහිටා ඇති අපේ දේව මාලිගය තේජාන්විත සිහසුනකි.
13. ඉශ්රායෙල්වරුන්ගේ බලාපොරොත්තුව වන සමිඳුනි, ඔබ අත්හරින සියල්ලෝ ලජ්ජාවට පැමිණෙති. ඔබ ජීවමාන උල්පත වන බැවින් ඔබ අත්හැර යන සියල්ලන් ධූලි මත ලියූ නම් ලෙසින් නියතින් පහ වී යනු ඇත.
14. සමිඳුනි, මා සුව කළ මැනව. එවිට මම සුවපත් වන්නෙමි. මා ගළවාගත මැනව. එවිට මම ගැළවෙන්නෙමි. මම ඔබ පමණක් පසසන්නෙමි.
15. “සමිඳුන් කළ ප්‍රකාශනය කොහේ ද? ඒවා ඉටු නොවන්නෙ මන් දැ”යි සෙනඟ මට කියති.
16. එහෙත් සමිඳුනි, ඔබ දන්න පරිදි ඔවුන් පිට විනාශය පමුණුවන්නට වත්, නපුරු කාලයක් ඔවුන්ට ගෙනදෙන්නට වත් මම ඔබෙන් නොඉල්ලුවෙමි. මා මුවින් නික්මුණු වචන ඔබ දන්න සේක.
17. ඔබ මට බියට කරුණක් නොවන සේක. විපත්ති දවසේ දී ඔබ මාගේ රැකවරණය වන සේක.
18. මට පීඩා කරන්නෝ ලජ්ජාවට පැමිණෙත් වා! මම ලජ්ජාවට නොපැමිණෙම් වා! ඔව්හු භීතියට පැමිණෙත් වා! මම භීතියට නොපැමිණෙම් වා! විපත් දවස ඔවුන් පිට පමුණුවා ඔවුන් සහමුලින් ම වනසාලුව මැනව.
19. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් ජුදාහි රජවරුන් යන එන බෙන්ජමින්ගේ දොරටුවේ ද ජෙරුසලමේ සියලු දොරටුවල ද සිට මෙසේ කියන්න.
20. ජුදාහි රජවරුන්ටත්, ජුදා ජනයාටත්, මේ දොරටුවලින් ඇතුළු වන ජෙරුසලමේ සියලු වැසියන්ටත් සමිඳාණන් වහන්සේගේ වචනයට සවන් දෙන ලෙස දන්වා සිටින්න.
21. නුඹලාගේ ප්‍රාණයට නුඹලා ආදරේ නම්, සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන නොයා යුතු ය. ජෙරුසලමේ දොරටුවලින් නුඹලා කිසි බරක් උසුලාගෙන නොගෙනා යුතු ය.
22. සබත් දවසේ දී නුඹලාගේ ගෙවලින් බරක් ගෙන නොගිය යුතු ය. කිසි ම බර වැඩක් නොකළ යුතු ය. නුඹලාගේ පියවරුන්ට මා අණ කළ ප්‍රකාරයට නුඹලා සබත් දවස ශුද්ධ ලෙස පැවැත්විය යුතු ය.
23. නුඹලාගේ පියවරු මා දෙසට කන් යොමු කර මට සවන් නුදුන්නෝ ය. ඒ වෙනුවට නුඹලා සිත් දැඩි කරගෙන, මට කීකරු වුණේ වත්, මාගේ අවවාද පිළිගත්තේ වත් නැත.
24. මේ සෙනඟ මට සහමුලින් ම කීකරු විය යුතු ය. සබත් දවසේ දී නුඹලා කිසි බරක් උසුලාගෙන දොරටුවලින් නොයා යුතු ය. නුඹලා සබත් දවස ශුද්ධ දවසක් ලෙස පවත්වා, එදින කිසි බර වැඩක් නොකළ යුතු ය.
25. නුඹලා මෙසේ කළොත්, දාවිත්ගේ සිංහාසනයේ වැඩ හිඳින, රථවල හා අශ්වයන් පිට නැඟී යන රජවරුන් සහ ඔවුන්ගේ අධිපතීහු ද ජුදාහි ජනයා ද ජෙරුසලමේ වැසියෝ ද මේ නගරයේ දොරටුවලින් ඇතුළු වන්නෝ ය. මේ නගරය සදහට ම පවතිනු ඇත.
26. තවද, ජුදා නගරවලින් ද ජෙරුසලම අවට පෙදෙස්වලින් ද බෙන්ජමින්ගේ දේශයෙන් ද පාත රටින් ද කඳුකරයෙන් ද දකුණු දෙසින් ද මනුෂ්‍යයෝ දවන පූජා ද යාග පූජා ද ආහාර පූජා ද කට්ටකුමංජල් ද ස්තුති පූජා ද රැගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට පැමිණෙන්නෝ ය.
27. එහෙත්, සබත් දවස ශුද්ධ ලෙස පවත්වන හැටියටත්, සබත් දවසේ දී බරක් උසුලාගෙන ජෙරුසලමේ දොරටුවලින් ඇතුළු නොවන හැටියටත් මා කී දේට ඔවුන් සවන් නුදුන්නොත්, මම එහි දොරටුවල ගින්නක් අවුළුවන්නෙමි; ඒ ගින්න ජෙරුසලමේ මාලිගා දවාලන්නේ ය. එය කිසි සේත් නොනිවිය හැකි ය.”

ජෙරමියා 18:1-23
1. සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක:
2. “නුඹ නැඟී කුම්භකාරයාගේ ගෙට යන්න; එහි දී මාගේ පණිවුඩය නුඹට ප්‍රකාශ කරන්නෙමි.”
3. එකල මම කුම්භකාරයාගේ ගෙදරට ගියෙමි; ඔහු සකපෝරුවෙන් වැඩ කරමින් සිටියේ ය.
4. යම්කිසි විටක ඔහු අඹමින් සිටි මැටි බඳුනක් නරක් වූ කල, ඔහු යළිත් ඒ මැටි ගෙන එයින් වෙන බඳුනක් තමා රිසි සේ සෑදුවේ ය.
5. එකල සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක:
6. “එම්බා ඉශ්රායෙල් ජනයෙනි, මේ කුම්භකාරයා කරන ලෙස නුඹලාට කරන්නට මටත් බැරි ද? මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය. ඉශ්රායෙල් ජනයෙනි, කුම්භකාරයාගේ අතේ තිබෙන මැටි පිඬක් මෙන් නුඹලා මාගේ අතේ සිටින්නහු ය.
7. යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන, ‘මම එය උදුරා කඩාදමා නැති කරන්නෙමි’යි කී කල,
8. ඒ ජාතිය තමන්ගේ අදමිටුකමින් හැරුණොත්, මා එයට කරන්නට අදහස් කළ විපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.
9. එමෙන් ම, යම්කිසි ජාතියක් හෝ රාජ්‍යයක් හෝ ගැන ‘මම එය ගොඩනඟා වර්ධනය කරන්නෙමි’යි කී කල,
10. ඒ ජාතිය මාගේ හඬට කීකරු නොවී, මාගේ ඇස් හමුයෙහි නපුරු දේ කළහොත්, මා එයට කරන්න අදහස් කළ යහපත ගැන මාගේ සිත වෙනස් කරගන්නෙමි.
11. එබැවින් නුඹ ජුදා ජනයාටත්, ජෙරුසලම් වැසියන්ටත් කතා කොට, මා ඔවුන්ට විරුද්ධ ව යම් යම් යෝජනා කරන බවත්, ඔවුන්ට දඬුවම් කරන්නට යන බවත් කියන්න. ඔවුන්ගේ පාප මාර්ගයෙන් හැරී එන්න කියා ඔවුන්ට කියන්න. ඔවුන්ගේ හැසිරීම ද ක්‍රියා මාර්ගය ද ඔවුන්ට කියන්න.
12. එහෙත් ඔවුන්, ‘එයින් වැඩක් නැත; අපේ ම අභිප්‍රායයන් ලෙස අපි හැසිරෙමු, අපි එකිනෙකා අපේ නපුරු සිත්වල මුරණ්ඩුකම ලෙස ක්‍රියා කරන්නෙමු’යි පිළිතුරු දෙනු ඇත.
13. “එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.
14. ලෙබනොන්හි උස් කඳුවල හිම නැති වන කලක් ඇද් ද? කඳුකරේ ගලා එන සිසිල් දිය දහර සිඳී යන කලක් ඇද් ද?
15. එහෙත්, මාගේ සෙනඟ මා අමතක කර ඇත. ඔව්හු දේව රූපවලට සුවඳ දුම් අල්ලති; ඔවුන්ගේ පැරණි ගමන් මාර්ගයෙහි ඔව්හු පැකිළී වැටෙති; මහ මඟ නොව, අතු පාරවල ගමන් කරති.
16. මෙසේ ඔවුන් මේ දේශය මහා භීතියට කරුණක් ද සදහට ම පිළිකුලක් ද කර ඇත. ඒ ළඟින් යන අය බියෙන් බියට පත් ව විස්මයෙන් හිස වන වනා යති.
17. පෙරදිග සුළඟකින් මෙන් සතුරන් ඉදිරියෙහි මම ඔවුන් විසුරුවා හරින්නෙමි. මාගේ මුහුණ හරවාගෙන ඔවුන්ගේ විපත් සමයෙහි ඔවුන්ට පිටුපා යන්නෙමි.”
18. එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.
19. එවිට ජෙරමියා සමිඳාණන් වහන්සේට මෙසේ යාච්ඤා කෙළේ ය: “සමිඳුනි, මාගේ සතුරන්ට විරුද්ධ ව කියන දේට සවන් දෙන්න. මාගේ පැමිණිල්ල අසන්න;
20. යහපතට පල විපාකය අයහපත ද? මාගේ සතුරන් මා නසන්නට බොරු වළක් හාරා ඇත. ඔවුන් වෙනුවෙන් ඔබේ කෝපය පහකරන පිණිස ඔවුන්ගේ යහපත උදෙසා කතා කරන්නට මා ඔබ ඉදිරියෙහි සිටි බව සිහි කළ මැනව.
21. එහෙත්, දැන් ඔවුන්ගේ දරුවන් හාමතේ මැරෙන්නට හැරිය මැනව. යුද්ධයෙන් මැරෙන්නට සැලසුව මැනව; ඔවුන්ගේ භාර්යාවන්ගේ දරුවෝ ද පුරුෂයෝ ද නැති වෙත් වා! ඔවුන්ගේ පුරුෂයෝ වසංගතයෙන් මැරෙත් වා! ඔවුන්ගේ තරුණයෝ යුද්ධයේ දී කඩුවෙන් මැරුම්කත් වා!
22. ඔබ හදිසියෙන් සතුරු සේනාවක් ඔවුන්ට විරුද්ධ ව පමුණුවන කල ඔවුන්ගේ නිවෙස්වලින් කෑගැසීමක් ඇසේ වා! මන්ද, ඔවුන් මා අසුකරන්නට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තබා ඇත.
23. එහෙත්, සමිඳුනි, මා මරන පිණිස මට විරුද්ධ ව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබ ම දන්න සේක. ඔවුන්ගේ දුෂ්ටකම් කමා නොකළ මැනව. ඔවුන්ගේ පාපය ද ඔබේ දර්ශනයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිළ වැටෙත් වා! ඔබේ උදහසේ කාලයේ දී ඔවුන්ට ප්‍රතිවිපාක දුන මැනව.”

ගීතාවලිය 118:25-29
25. සමිඳුනි, දැන් අප ගැළෙවුව මැනව. සමිඳුනි, දැන් අපට ජය අත්කර දුන මැනව.
26. සමිඳුන්ගේ නාමයෙන් වඩින තැනැත්තේ ආසිරි ලද්දෙකි. සමිඳුන්ගේ මාලිගාවේ සිට අපි ඔබට ආසිරි පතමු.
27. සමිඳාණෝ දෙවිඳාණෝ ය; එතුමාණෝ අපට එළිය දුන් සේක; අතු ගත් අත් ඇති ව පූජාසනය වටා පෙරහරින් ගමන් කරන්න.
28. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට ස්තුති කරන්නෙමි. ඔබ මාගේ දෙවිඳාණෝ ය; මම ඔබට උස් හඬින් පැසසුම් ගී ගයන්නෙමි.
29. සමිඳුන්ට ස්තුති කරන්න; මන්ද, එතුමාණෝ යහපත් ය; එතුමන්ගේ තිර පෙම සදා පවත්නේ ය.

හිතෝපදේශ 27:11-12
11. මාගේ පුත්‍රය, මට ගරහන අයට උත්තර දෙන පිණිස නැණවත් ව ම සිතට සතුට දෙන්න.
12. නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි; අනුවණයා එය ඉදිරියට ගොස් දුක් විඳියි.

1 තෙසලෝනික 3:1-13
1. අපට එය තවත් ඉවසාගන්නට නොහැකි වූ බැවින් ඇතන්ස්හි නතර වීමට තීරණය කරගෙන,
2. අපි තිමෝතියස් එවීමු. ඔහු වනාහි අපගේ සහෝදරයා ද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න ප්‍රකාශ කිරීමේ දෙවියන් වහන්සේගේ හවුල් සේවකයා ද වේ. අප ඔහු එවූයේ මේ පීඩාවලින් කිසිවෙකු චංචල නොවන ලෙස, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථිර ව සිටීමට ඔබට ධෛර්ය දෙන පිණිස ය.
3. දුක් විඳීම අපට නියම දෙයක් බව ඔබ ම දන්නහු ය.
4. අපට දුක් විඳින්නට සිදු වන බව අපි ඔබ සමඟ සිටිය දී කල්තියා ඔබට කීවෙමු. එලෙස ම සිදු වූ බව ඔබ දන්නහු ය.
5. මේ කරුණ තවදුරටත් ඉවසාගත නොහැකි ව, පරීක්ෂාකාරයා සමහර විට ඔබ පරීක්ෂා කර, අපගේ සේවය නිෂ්ප්‍රභා කර ඇද්දැ යි බිය වී ඔබගේ ඇදහිල්ල ගැන සොයා බැලීමට ඔහු ඔබ වෙත එවීමි.
6. එහෙත් දැන් තිමෝතියස් පෙරළා අප වෙත පැමිණ ඔබගේ ඇදහිල්ලත් ප්‍රේමයත් ගැන හොඳ ආරංචියක් අපට සැළ කෙළේ ය. ඇරත්, අප ඔබ දැකීමට ආශාවෙන් සිටින්නාක් මෙන් ම ඔබත් අප දැකීමට ආශාවෙන් සිටින බව ද, ඔබ නිතර ම අප ගැන කරුණාවෙන් සිහි කරන බව ද ඔහු අපට දැන්වී ය.
7. සහෝදරවරුනි, අපගේ සියලු අමාරුකම්වලදීත් පීඩාවලදීත් ඔබගේ ඇදහිල්ල ගැන අසා අපි ධෛර්යවත් වීමු.
8. ඔබ සමිඳාණන් වහන්සේ තුළ ස්ථීර ව සිටින්නහු නම්, එය අපේ ජීවිතයේ පණ නළ වේ.
9. ඔබ නිසා අපට ලැබී ඇති සකල ප්‍රීතිය ගැන දෙවියන් වහන්සේ ඉදිරියෙහි අපි කෙසේ ස්තුති කර සෑහීමකට පත් වෙමු ද?
10. ඔබගේ මුහුණ දක්නා පිණිස ද, ඇදහිල්ලේ ඌනතා සම්පූර්ණ කරන පිණිස ද, දිවා රෑ දෙක්හි අපි අධික ලෙස යාච්ඤා කරමු.
11. අපගේ පිය වූ දෙවියන් වහන්සේ ම ද අපගේ ස්වාමීන් වූ ජේසුස් සමිඳාණන් වහන්සේ ද ඔබලා වෙතට එන්න අපට මාර්ගය සලස්වා දෙන සේක් වා!
12. අප ඔබට ප්‍රේම කරන්නාක් මෙන් සමිඳාණන් වහන්සේත් ඔබ එකිනෙකා කෙරෙහිත්, අන් සියල්ලන් කෙරෙහිත්, ඔබගේ ප්‍රේමය පිරී ඉතිරී යන්නට සලස්වන සේක් වා!
13. අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!